NPPයට ගියොත් මේ රට, ඉතියෝපියාවක් වෙනවා – රාජිත සේනාරත්න

import the Rapid Antigen Test Kits to Sri Lanka

– කේ. සංජීව –

දැන් පළාත් පාලන ඡන්දය සඳහා දින නියම කරලා තිබෙනවා. ඇත්තටම මැතිවරණය තියයිද?

රජය පැත්තෙන් ගෙනත් තියෙන කරුණු කාරණා අනුව පෙනෙන්නේ ඔවුන්ට අවශ්‍ය මැතිවරණය නොපවත්වා සිටීම. ඒ සඳහා ඔවුන් එක එක පියවරයන් ගනිමින් ඉන්න බව පෙනෙනවා. එක පැත්තකින් භාණ්ඩාගාරයේ ලේකම්වරයා අධිකරණයට පැහැදිලිව කියලා තියෙනවා මේකට අවශ්‍ය මුදල් ලබාදෙන්න බැහැ කියලා. දෙන්න හැකි මුදල් වුණත් කොටස් වශයෙන් තමයි දෙන්න වෙන්නේ. එතකොට ඛනිජ තෙල් අමාත්‍යාංශය කියනවා කිව් ආර් එකට වැඩිය අපිට තෙල් දෙන්න බැහැ කියලා. ඒ වගේම විදුලිය ප්‍රශ්නයක් තිබෙනවා ඒ තෙල් ප්‍රශ්නයත් එක්ක. තෙල් දුන්නොත් විදුලිය දෙන්න විදිහක් නැහැ. ඊළඟට පොලිස්පතිවරයා කොමිෂමට කියලා තියෙනවා ඔයාලා තවමත් මට ගිය මැතිවරණයට අදාළ ගෙවීම් පවා කරලා නෑ කියලා. ඒවා ගෙවන්නේ නැතිව තවත් මැතිවරණයකට අපේ සහාය ඉල්ලුවාට අපිට දෙන්න විදිහක් නැහැ කියලා, ඔහු කියනවා. මෙන්න මෙවැනි උභතෝකෝටික තත්ත්වයක තමයි මේ මැතිවරණ ක්‍රියාවලිය ඉස්සරහට යමින් තිබෙන්නේ.

ඇත්තටම මේ වේලාවේ දේශපාලනය කරන අපි ඉල්ලන්නේ මැතිවරණ. දේශපාලනය සමග කරකැවෙන මාධ්‍යත් මැතිවරණය ගැන කතා කරනවා. සාමාන්‍ය ජනතාව මැතිවරණයක් ගැන කතාකරනවා කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද ඔවුන් අන්ත දුක්ඛිත තත්ත්වයක අද ඉන්නේ. දුප්පත් මිනිස්සු විතරක් නෙවෙයි මධ්‍යම පන්තිය පවා අන්තිම අඩියට වැටිලා ඉන්නේ. එතකොට දරුවන්ට හරියට කෑම වේලක් දෙන්න අද බැහැ. මන්දපෝෂණය හැමතැනම. මෙහෙම තත්ත්වයක් අස්සේ මම හිතන්නේ නෑ රැකියාව පාඩුකරගෙන මිනිස්සු ඡන්ද පොළට ඒවි කියලා ඡන්දය දාන්න. මිනිස්සුන්ට ඕනී දැන් තුන්වේල කන්න. මධ්‍යම පන්තියට බදු ප්‍රශ්න, බැංකු පොලී ප්‍රශ්න, ඒ නිසා ඔවුන් අඩියටම වැටිලා. ඔවුන් අන්ත අසරණයි. මේ නිසා මටනම් පේන්නේ නෑ මිනිස්සු අතරේ ඡන්දය ගැන උද්‍යෝගයක්.

ඔබ ඔහොම උද්‍යෝගයක් නැහැ කීවට. බලන්නකෝ සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ජනහමු. බලන්න අනුර කුමාර දිසානායක සහභාගී වෙන ජනහමු. මේවෑ මිනිස්සු පිරිලා ඉතිරිලා. ඉතිං උද්‍යෝගයක් නෑ කියන්නේ කොහොමද?

දැන් මෙතනින් බලන්න ඕනෑ ඔය ජනහමුවලට කී දෙනෙක් ස්වාර්ථයෙන් පැමිණියා ද කියන දේ. ඒක තමයි වැදගත්. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ජනහමු වලට විජේවීර නායකත්වයේ ඉන්න කාලේ ඉඳලා සෙනඟ අඩුවක් තිබුණේ නෑ. ඒක එයාලගේ ක්‍රමය. දැන් ඊට වඩා පිරිසක් එනවා. ඒ ගැන තර්කයක් නෑ. වර්තමාන තත්ත්වය ගැන කළකිරුණු මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණ පැත්තට එනවා. ඒක හරී. මතක තියාගන්න මේ ඡන්දයේදී හැම ග්‍රාම සේවා කොට්ඨාශයකටම එක්කෙනෙක් ඡන්දය ඉල්ලනවා. ඒ හැම කෙනාටම මිනිස්සු ටිකක් අරගෙන එන්න කියලා පක්ෂය කියනවා නම් ඔවුන් එනවා. එන්න ඕනෑ. ඒක තමයි යථාර්ථය. එක පක්ෂයකින් 8000ක් විතර ඡන්දය ඉල්ලනවා. අනෙක් පැත්තෙන් ගමේ දේශපාලනය කරන අය ගමේ රැස්වීම් තියනවා. ඔවුන් දේශපාලනය කරන අය. හැබැයි මෙහෙම නැති පිරිසකුත් ඉන්නවා.

ඔබ සජබ නියෝජනය කළාට, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කැමති බවක් තමයි පෙනෙන්න තියෙන්නේ..

මගේ කැමැත්තක් අකමැත්තක් නෙවෙයි තියෙන්නේ. 2002-2004 දී අපි එල්ටීටීඊ එකත් එක්ක සාම සාකච්ඡාවලට ගියා මේ ප්‍රශ්නය සාමකාමීව විසඳන්න. නමුත් මොකද වුණේ? මම දැක්කා වේළුපිල්ලෙයි ප්‍රභාකරන් මහින්ද රාජපක්ෂ එක්ක ගිවිසුම්ගත වෙලා සාමය ගේන අපේක්ෂකයා පරාද කරලා යුද්ධය ගේන අපේක්ෂකයා දිනවන්න කටයුතු කළා. ඒකෙන් මම තේරුන් ගත්තා වෙනම කෑල්ලක් කඩනවා ඇරෙන්න ප්‍රභා එක්කනම් කිසි දෙයක් කරන්න බැහැ කියලා. ඒ අතරේ මහින්ද රාජපක්ෂ යුද්ධයක් ප්‍රකාශයට පත් කරනවා. එහෙම ප්‍රකාශ කරලා යුද්ධය යනකොට හරි හෝ වැරදි අපි එදා ගත්ත තීන්දුව මොකද්ද? අපි ඔක්කොම දෙනා එකතුවෙන්න ඕනෑ කියන එක තමයි එදත් අපේ තීරණය වුණේ. අපි එදා එකතුවෙලා ත්‍රස්තවාදය පරාජය කරනවා. එතනින් එහාට දෙමළ ජනතාවගේ අයිතීන් ඉටු කරන්න බැරිවෙනකොට අපි එතනින් එළියට බහිනවා. ඒක වෙනම කරණයක්.

එදා යුද්ධය වෙලාවේ තිබුණ තීරණාත්මක තත්ත්වය වගේ තත්ත්වයක් තමයි අදත් මේ කඩාගෙන වැටුණ ආර්ථිකයත් එක්ක රටේ තිබෙන්නේ. රාජපක්ෂවරු මේ රට සම්පූර්ණයෙන්ම ආර්ථික ආගාධයකට ඇඳලා දැම්මා. දැන් අපිට රුපියලුත් නෑ. ඩොලරුත් නෑ. අපිට ප්‍රකාශ කරන්න උනා අපි බංකොළොත් කියලා. එතකොට දැන් කවුරු ගත්තත් අපිට සල්ලි එන ක්‍රමයක් නෑ. ඒක තමයි ඇත්ත. කිසිම කෙනෙක් අපිට ණය ආධාර දෙන්නේ නෑ. කිසිම කෙනෙක් මේ රටේ ආයෝජනය කරන්නේ නෑ. දැන් අපිට වෙලා තියෙන්නේ කොහෙන් හරි කීය කීය හරි සොයාගෙන මේක රෝල් කරගෙන යන්න. අපිට ඩොලර් ටික හදාගන්න තියෙන්නේ ශ්‍රමිකයන් ගෙන් සංචාරක ව්‍යාපාරයෙන් සහ අපනයන වලින්. වෙන අපි කිසි දෙයක් නෑ. රුපියල් සොයා ගන්න නම් මුද්‍රනය කරන්න ඕනෑ. නමුත් මූල්‍ය අරමුදලේ එකඟතා මත දැන් සල්ලි අච්චු ගහන එකත් නතර කරලා තිබෙන්නේ. එතකොට දැන් රුපියල් සොයාගන්න නම් බදු ගහන්න ඕනෑ. ඒකයි මම කියන්නේ දැන් අපි තීරණාත්මක මොහොතක ඉන්නේ. මෙතනින් අපිට දේශපාලන වාසි ගන්න පුලුවන්. දේශපාලනය හොඳට කරන්න පුලුවන්. හොද්ද හොඳටම බොර වෙලා තිබෙන්නේ. මේකට අතගහන හැවෝම යම් කාලයකට අසාර්ථක වෙනවා. එතකොට අපිට පුලුවන් ඒකත් මාකට් කරලා දේශපාලන වාසි ලබාගන්න.

හරි දැන් අපි මෙහෙම කියමු. අපි හිතමු අපි මේ මොහොතේ බලය ගත්තා කියලා. අපි මේක ගත්තා කියලා අපිට ධන නිධානයක් පහළ වෙනවද? නෑනේ. අපි බලයට ආවා කියලා ලෝකේ මිනිස්සු ණය දෙන්නේ නෑ නේ. ඒත් අර මූල්‍ය අරමුදලේ වැඩසටහනට තමයි යන්න වෙන්නේ. එතකොට මූල්‍ය අරමුදල කියනවා ප්‍රථිව්‍යුහගත කරන්න කියලා, එතකොට මේක එක පක්ෂයකට තනියෙන් කරන්න පුලුවන්ද? මම නම් හිතන්නේ නෑ එහෙම කරන්න පුලුවන් කියලා. මොකද ලංකාවේ හැමදාම වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ෂය තීන්දුවක් අරගෙන මේවගේ දෙයක් කරන්න යනකොට විපක්ෂය ජනතාව පාරට ගේන එක. ඒකම අනික් පැත්තෙන් ආවාම මේ පැත්තෙන් නවත්වනවා. ඕක තමයි ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනය. එතකොට මේ තත්ත්වය යටතේ මම කියන්නේ තාවකාලිකව මේ තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා අපි හැම පක්ෂයක්ම තාවකාලිකව එකඟතාවයකට පැමිණිය යුතුයි. ඒ එකඟතාවයට එන්න ඕනෑ පක්ෂය වෙනුවෙන් නෙවෙයි, රට වෙනුවෙන්. දුක් විඳින මිනිස්සු වෙනුවෙන් තමයි අපි ඒ එකඟතාවයට එන්න ඕනෑ.

දැන් අද බලන්න ලෙඩ්ඩු කී දෙනෙක් පිළිකා රෝහලේ මිය යනවද බෙහෙත් නැතුව. දරුවන්ට කිරි පිටි ටික නෑ. ඔපරේෂන් එක කළාට පස්සේ ඒ ලෙඩාට එන වේදනාව සමනය කරන වේදනා නාශක ටික අද රෝහල්වල නෑ. එතකොට අද රෝහල් තුළ තිබෙන්නේ මහා තිරිසන් තත්ත්වයක්. අමුවෙන් කපලා කොටලා ලෙඩ්ඩු මරලතෝනි දෙන වාට්ටු තමයි අද ඉස්පිරිතාලවල තිබෙන්නේ. මම අහන්නේ මේවා ඇස් දෙකෙන් දැක දැක ලාභ දේශපාලනය කරන්න පුලුවන්ද? අපි මේ වෙලාවෙත් පක්ෂ කණ්ණාඩි දාගෙන කතා කළොත් අපි කතා කරන මානව දයාව කොහේද තියෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණත් ඇතුලුව හැවෝම ඉන්නේ සාම්ප්‍රදායික දේශපාලනය අස්සේ. අරගලයට ආපු තරුණයෝ ඒකට ආවේ මෙන්න මේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදෙන්න. නමුත් අද ඔවුන්ට යන්න තැනක් නෑ. එතකොට ඒ තරුණයෝ හිතනවා මේ තුන් කට්ටුවගෙන් අඩුවෙන් සාම්ප්‍රදායික දේශපාලනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. ඉතිං ඔවුන් එතනට යමින් ඉන්නවා. මෙන්න මේකයි අද තත්ත්වය. මේ වෙලාවෙ මම නම් හිතන්නේ පක්ෂ දේශපාලනය කරනවා ද මිනිස්සු වෙනුවෙන් දේශපාලනය කරනවාද කියන එක. එතනදී මම ඉන්නේ මිනිස්සුන්ගේ පැත්තේ.

ඡන්දය තියන්න මුදල් නෑ කියනවා. ඔබතුමාම කියනවා ඖෂධ නැතිව පිළිකා රෝහලේ ලෙඩ්ඩු මියැදෙනවා කියලා. මේ සියල්ල හරි කියමු. ඇයි එහෙමනම් විශාල මුදලක් වියදම් කරලා නිදහස සමරන්නේ? ජනාධිපතිවරයාට වඟකීමක් නැද්ද මේවා නවත්තලා තමන්ගේ පැත්තෙනුත් කැපවීම ප්‍රදර්ශනය කරන්න..

ජනාධිපතිවරයා කියන්නේ ඒකට යන්නේ මිලියන 200යි ඡන්දයට වගේ මිලියන 10000ක් යන්නේ නෑ කියලා. අනික මේ 75 වෙනි නිදහස් දිනය. නිදහස් උත්සවය සමරණවා ද නැද්ද කියන එක ජාතික මට්ටමින් ගන්න ඕනෑ තීන්දුවක්. මොකද සාම්ප්‍රදායට අනුව මේ රටේ විතරක් නෙවෙයි හැම රටකම කෙරෙන දෙයක් මේක. ඇත්තටම සංදර්ශන නැතිව මේක කරන්න පුලුවන් නම් ඒක ඉතාමත් හොඳයි. එවැනි මනසකට රට ගෙනියන්න පුලුවන් නම් හොඳයි. නමුත් නිදහස් උත්සවේ වියදමත් මැතිවරණය සඳහා යන වියදමත් කියන මේ වියදම් දෙක අපිට සංසන්ඳනය කරන්න බෑ.

මැතිවරණයට යන වියදම අපි පැත්තකින් තියමු මේ මැතිවරණය නිසා සමාජය තුළ තිබෙන දේශපාලන විරසකභාවය තවත් වැඩිවෙනවා. මේ රට ගොඩගන්න යම් එකඟතාවයකට පක්ෂ එන්න පොඩි හෝ ඉඩක් තිබෙනවා නම් මේ මැතිවරණයෙන් පස්සේ ඒකත් නැතිවෙනවා. ඇත්තටම දැන් ඕනෑ මැතිවරණයක් නෙවෙයි අපි හැවෝම එක තැනක වාඩිවෙලා අපි වහාම සාකච්ඡා කරන්න ඕනෑ අපි කොහොමද මෙතනින් ගොඩ එන්නේ කියන දේ. එහෙම එකතුවෙලා ගොඩ අරගත්තොත් කීර්තිය හැවෝටම එනවා. මම අදත් කියනවා මම ත්‍රස්තවාදය පරාජය කරන්න දායක වුණා කියලා. ඒ මම ඒ වෙලාවේ එතන හිටපු නිසා. එදා එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මොකද හිතුවේ? ඔවුන් හිතුවේ යුද්ධය පරාජයට පත් වෙයි ඒක පරාජයට පත්වුණාම අපි ඒ වාසිය අරගෙන ආණ්ඩුව පිහිටුවනවා කියලා. ඒක තමයි එදා රනිල් වික්‍රමසිංහ හිතුවේ.

අද මේ අයත් එහෙම තමයි හිතන්නේ. මේක රනිල් වික්‍රමසිංහ පරාද වෙනවා අපි මේකෙන් දිනනවා කියලා. ඇත්තටම අපි දිනලා මොකද කරන්නේ? අපි ගත්තත් අපිටත් මේ ආර්ථික තර්ජනයට මූන දෙන්න වෙනවා. අපේ පැත්තේ ඉන්න ආර්ථික විශේෂඥයෝ මොකද කියන්නේ? ඔවුනුත් මේකට පස්ස ගහනවා. එහෙම නම් අපි විපක්ෂ‍යේ ඉන්න එක හොඳයිනේ. කකුලෙන් අදින්නේ නැතිව මේක කරගෙන යන්න දෙන එක හොඳයිනේ. අපිට මේක අරගෙන මිනිස්සුන්ට තුන්වේල කන්න දෙන්න පුලුවන් නම් ආශ්චර්‍යයක් කරන්න පුලුවන් නම් ආන්න ගන්න ඕනෑ. එහෙම බැරිනම් කකුලෙන් නොඇද විපක්ෂයේ ඉන්න ඕනෑ.


ඔබ ඔය විග්‍රහය කරන්නේ සජබ ගැන හිතලා. මේ වෙනකොට ජාතික ජන බලවේගයට රට අස්සේ විශාල රැල්ලක් තිබෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද ඔවුන්ට මේක හරි අතට ගන්න පුලුවන් වැඩපිළිවෙලක් තිබෙනවා කියලා..

මම නම් කියන්නේ ජාතික ජන බලවේගයට කිසිම වැඩපිළිවෙලක් නෑ. ඔවුන්ට මේ රට ගියොත් මේ රට ඉතියෝපියාවක් වෙනවා ආයෙත් කතා කරන්න දෙයක් නෑ. ලස්සන සුන්දර කතාවලට සටන් පාඨවලට තවදුරටත් මේ රට ගොඩනැඟීමේ හැකියාවක් නෑ. මේකට තියෙන්නේ එකම තිත්ත කසායයි. ඒ තිත්ත කසාය දෙන්න වෙනවා. ඒ නිසා මම කියන්නේ මේ රට මෙතනිනුත් පහළට වැටුණොත් මේ දේශපාලන නායකයෝ ඒකට වඟකියන්න ඕනෑ. ජාතික ජන බලවේගයට මේ රට ගියොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය එතනින් අහවරයි.

ඇයි ජනතා විමුක්ති පෙරමුණට මෙතරම් රැල්ලක් තිබෙන්නේ? ඒක තමයි ජනතා විරෝධය. මේ ආර්ථික දුර්භික්ෂය තුළ විඳවන මිනිස්සු ඒ වෛරය ප්‍රකාශ කරන මාධ්‍ය තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒකයි මම කියන්නේ මේ දූර්භීක්ෂය තියාගෙන හිඳීමේ වාසිය ලැබෙන්නේ අපි කිසි කෙනෙක්ට නෙවෙයි කියලා. ඒ නිසා වහාම මුල්‍ය අරමුදල එක්ක එකතුවෙලා මේ ආර්ථික ගැටලුවට අපි පිළිතුරු සොයාගන්න ඕනෑ. ඒක එහෙම නැතිවුණොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල අනතුරක තිබෙන්නේ.

දැන් මිනිස්සු කියන්නේ ‘අවුරුදු 74ක් උබලා කළා. මොකද්ද කළේ? දැන් හරියන්න හරි වරදින්න හරි මුන්ටත් දෙන්න ඕනෑ’ කියලා. මිනිස්සුන්ගේ ඒ සිතුවිල්ල වැරදියි ද?

දැන් ඔය අසාර්ථකයි කියන අරගලයේ නායකයෝම කියනවානේ 2019 හොඳයි කියලා. ඒ කියන්නේ අපේ කාලේ හොඳයි කියලනේ මේ කියන්නේ. ඇත්තටම ගෝඨාභය ඇතුලු රාජපක්ෂලා එකපාරට මේ රට මෙතනට ඇදලා දැම්මට, ඇත්තටම මෙහෙම තත්ත්වයක් මේ රටේ තිබුණේ නෑ නේ. මිනිස්සු සාමාන්‍ය තරමින් කාලා බීලා සතුටින් හිටියා. එදා 2019 අපි භාර දෙනකොට මේ රටේ මිනිස්සුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමක තිබුණා. මොකද 2017 සහ 2018 දී අපේ ප්‍රාථමික ගිණුම අවුරුදු 63කට පස්සේ පළවෙනි වතාවට ධනාත්මක වුණා. ඇත්තටම ඒවගේ ප්‍රගතියක් තිබුණා. ඒ අතරේ තමයි ඔය පාස්කු ප්‍රහාරය ඇවිත්, මෛත්‍රීපාල ආණ්ඩුව පෙරළන්න හදලා ඒ සේරම දේවල් වුණේ ඔය අස්සේ.

ජනතා විමුක්ති පෙරමුණ සාම්ප්‍රදායික අර්ථයෙන් ගත්තොත් වාමාංසික පක්ෂයක්. අනෙක් පක්ෂ දෙකම අපි ධනපති පක්ෂ කියලා තමයි හඳුනා ගන්නේ. දැන් මේ රැල්ලත් එක්ක ඔය ධනපති පක්ෂවලට තේරෙන්නේ නැද්ද මෙන්න දැන් සමාජවාදීන් බලය ගන්න යනවා අපේ ක්‍රමයට තමයි මේ කෙළවෙන්න යන්නේ කියලා.

මුලින්ම කියන්න ඕනෑ සමාජවාදී පක්ෂයක් බලයට එනවා නම් මම කොයිපැත්තේ හිටියත් ඒකට එකපයින් කැමතියි. නමුත් මේ එන්නේ සමාජවාදය නෙවෙයි නේ. සමාජවාදීන් ඉතිහාසයේ කවදාවත් ජාතිවාදයෙන් ආගම්වාදයෙන් ජනතාව අතරට ගිහිං නෑ නේ. සමාජවාදීන් කියන්නේ ජාත්‍යාන්ත්‍රවාදීන්. සමාජවාදීන්ට තියෙන්නේ මානව භක්තියත් පන්ති වෛරයත් විතරයි. කවදාවත් අපේ වමේ අතීත නායකයෝ මේ බැරිකමට වමට ආපු මිනිස්සු නෙවෙයි නේ. ලොකු ලොකු විශ්ව විද්‍යාලවල ඉඳලා ඒ මිනිස්සු ආවේ අනෙක් මිනිස්සුන්ගේ දුක ගැන හිතලා. මාක්ස්, මාවෝ, ලෙනින් මේ සේරම නායකයෝ එහෙම අය. ඒ නිසා එයාලට තිබුණ මූලිකම දේ තමයි පන්ති වෛරය. එයාලා කවුරුවත් ලස්සනට අඳිනවට වෛර කළේ නෑ. කවුරු හරි හොඳට කනවානම් ඒකට වෛර කළේ නෑ. කාර් එකක යනවට හොඳ ගෙයක් හැදුවට වෛර කළේ නෑ. මොකද ඒ ගොල්ලොත් හිටියේ එතන. අද මේ දේශපාලන ව්‍යාපාරයේ තියෙන්නේ ඒක නෙවෙයි. අද මේකේ තිබෙන්නේ පුද්ගලික වෛරය. ඔය ජනතා විමුක්ති පෙරමුණට වැඩකරපු කට්ටිය ඇමතිකමක් අරගෙන දේශපාලනයේ උඩට ගිහිං සල්ලි හම්බකලාම ජීවත්වෙන විඳිහ අපි දැකලා තිබෙනවානේ. ඊටපස්සේ එයාලගේ ජීවිත වෙනස් වෙන විදිහ අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ එයාලට මෙච්චර කල් තිබුණ ප්‍රශ්නය තමයි නැතිකම. වෙන මොකවත් නෙවෙයි. නැතිවුණාම ජේවිපී ඇති වුණාම යූඑන්පී එහෙමත් නැත්තං මහින්ද පස්සේ යනවා ඔන්න ඕකයි තත්ත්වය.

මේක හොඳ සමාජවාදී ව්‍යාපාරයක් නම් කමක් නෑ. හොඳ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් නම් ඒත් කමක් නෑ. මම නම් කියන්නේ මේක එහෙම එකක් නෙවෙයි. මේකේ ඉතිහාසය බැලුවොත් මේක එහෙම ව්‍යාපාරයක් නෙවෙයි. ඒකයි මටනම් තිබෙන ප්‍රශ්නය.

වර්තමාන ජනාධිපතිවරයා 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහයක් ගනිමින් ඉන්නවා. ඒකටත් යම් විරෝධතාවයක් පාර්ලිමේන්තුව තුළින්ම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා නේද?

ඇත්තටම කී දෙනාද විරුද්ධ වුණේ? ඔවුන් හැමදාම විරුද්ධ වෙන අය. ඒ විරෝධය එතරම් සළකුණු වුණේ නෑ. පාර්ලිමේන්තුවේ 13 ගැන කතාකරනකොට ගෙවිඳු විතරයි විරුද්ධ වුණේ. මහින්ද රාජපක්ෂත් කීවා ඔව් මම සහාය දෙනවා කියලා. ඒ කියන්නේ පොහොට්ටුව සහාය දෙනවා කියන එක. අපේ පැත්ත කොහොමත් මේකට විරුද්ධ නෑ. එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම 1994 ඉඳලා රනිල් ගේ නායකත්වයෙන් දිගටම ජාතිවාදයට විරුද්ධව තමයි හිටියේ. ඒනිසා ඔය පොඩි පොඩි හඬවල් ගැන ඒතරම් හිතන්න දෙයක් නෑ. ඔවුන් හැමදාම අන්තවාදීන්. වීරසේකර ගන්නකෝ මිනිහා 19ටත් විරුද්ධ වුණානේ. එදා ගෙවිඳු කතාකරනවා ජනවරම ගැන, මිනිහටත් ජනවරමක් නෑ නේ ඇත්ත කතාව. ඉතිං මම නම් හිතන්නේ මේ ප්‍රශ්නය මේ වෙලාවේ සදාකාලිකව අවසන් කළ යුතුයි. අනික 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඒක ඉතාමත් සරළ දෙයක්. පාර්ලිමේන්තුව හරහා කරන්න පුලුවන් දෙයක්. මගේ ජීවිතේ 1984 ඉඳලා මම මේ වෙනුවෙන් පෙනී හිටියා. ඔය ජනතා විමුක්ති පෙරමුණ මරණවා කපනවා කොටනවා කියනකොටත් අපි මේ වෙනුවෙන් හිටියා. අපේ මිත්‍රයෝ නායකයෝ (විජේ වගේ) මරලා දැම්මා මේ වෙනුවෙන් පෙනී සිටියා කියලා. ඒත් අපි මේක අතෑරියේ නෑ.

ඉඩම් බලතල දෙනවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. පොලිස් බලතල දෙනවා කියන එකත් මහා ලොකු දෙයක් නෙවෙයි. එහෙම දුන්නා කියලා මේ ජනාධිපති ක්‍රමය අස්සේ රට කෑලිවලට කැඩෙන්නේ නෑ. මොකද ආණ්ඩුකාරවරුන් ඉඩම් කොමසමේ ලොක්කා මේ හැවෝම පත් කරන්නේ ජනාධිපති. ඒනිසා අනවශ්‍ය බියක් මේ ගැන හදන්න හොඳ නෑ.

දැන් ද්‍රවිඩ සන්ධානය පෙඩරල් ඉල්ලනවා. මම නම් කියන්නේ පෙඩරල් ඉල්ලන්න කලින් මේ 13න සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න ජනාධිපති ගන්න උත්සාහයට පූර්ණ සහාය දෙන්න. මේ ජනාධිපති දිගටම ජාතිවාදයට විරුද්ධව දේශපාලනය කළ මනුස්සයෙක්, ඒනිසා මේ වෙලාවේ ඔහුට සහාය දුන්නොත් මේ ජාතික ප්‍රශ්නයට අපිට විසඳුමක් දෙන්න පුලුවන්. 13 වැනි සංශෝධනය කියන්නේ එල්ටීටීඊ එකත් ඇතුලුව සියලු දමිල දේශපාලන පක්ෂ, කණ්ඩායම් එකඟවුණ ලියවිල්ලක්. ඒනිසා කාටවත් ඒක බලාත්මක කරනකොට ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නෑ. අනික පුර්ණ වශයෙන් 13 ක්‍රියාත්මක කරන්න ලොකු ලොකු දේවල් කරන්න නෑ. මේක ඉතා ඉක්මනින් කරන්න පුලුවන් දෙයක්. ඒනිසා මේ වෙලාවේ අපි හැවෝම මේකට සහාය දිය යුතුයි.

මොකද මේ රට ඉතිහාසයේ රජවරු 3 දෙනෙක්ගේ කාලේ ඇරෙන්න ඒකීයව තිබුණද? නෑ. කන්ද උඩරට මිනිස්සුත් එදා වෙනම පාලනයක් ඉල්ලුවා. එදා යාපනේ නායකයෝ විතරයි ඒකීය රාජ්‍යය ගැන කතා කළේ. දැන් ඔය පළාත් සභාවල මහා ඇමතිවරු පහුගිය කාලේ මොනාද ඉල්ලුවේ? ඔවුනුත් ඉල්ලන්නේ පූර්ණ බලය. ඉඩම් අයිතිය. පොලිස් බලතල. ඒ නිසා මම නම් කියන්නේ මේක වහාම ක්‍රියාත්මක කරන්න ඕනෑ.

Social Sharing
නවතම සාකච්ඡා