මේ වෙනකොට පාර්ලිමේන්තුව විසින් පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ – වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් කියන තුන්දෙනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ, දින 90 ක් රඳවා තබා ගන්න අවසර දීලා තියෙනවා.
ලංකාවේ ඉන්න සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදියා කියලා බොහෝ දෙනෙක් නම් කරන රනිල් වික්‍රමසිංහ ට මෙහෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන්න පුලුවන්ද? කියන සදාචාරය ගැන ප්‍රශ්නයක් තමයි මුලින්ම එන්නේ.
දෙවෙනි එක තමයි මේ අරගලය නොවෙන්නට රනිල් වික්‍රමසිංහ ට ලංකාවේ ජනාධිපති වෙන්න වෙන්නේ නෑ. එහෙනම් ඔහු කරන්න ඕනෑ මේ පුද්ගලයන් සිරගත කරන්න රඳවාගන්නට නියෝග නිකුත් කරන එක නෙවෙයි මේ මිනිස්සුන්ට හොඳට සලකන එක.
මේ වෙනකොට මේ රඳවා ගැනීමේ නියෝග ගැන ලෝකයෙන් බරපතළ විරෝධයක් එන්න පටන් අරගෙන තිබෙනවා. ජිනීවා වලත් මේ තත්ත්වය ගැන සාකච්ඡා කෙරෙමින් තිබෙනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ඉතිහාසය ගත්තොත් මේක භාවිතා වෙලා තියෙන්නේම පුද්ගලයන් ඉලක්ක කරලා.
සහරාන් හසීම්ලට වර්ධනය වෙන්න පෝර වතුර දාපු රාජපක්ෂවරුන්ට සහා ඔවුන්ගේ හෙන්චයියන්ට ක්‍රියාත්මක නොවුණ මේ පනත දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ කාට විරුද්ධවද? මෑතකදීම මේ පනත යටතේ හිංසාවට සහ පළිගැනීමට ලක්කළේ නීතීඥ හිජාස් හිස්බුල්ලා.
ආණ්ඩුවට එරෙහිව කතාකරන අය ත්‍රස්තයන්ද?
ගෝඨා ගෝ හෝම් කියලා පෙළපාලි ගිය, ඒවා සංවිධානය කරපු කිසි කෙනෙක්ට මේ රාජ්‍ය පෙරළලා අලුත් රාජ්‍යක් අටවාගන්න කිසිඳු උවමනාවක් තිබුණේ නෑ.
එහෙම උවමාවක් එන්න නම් මේ අරගයට නිසි දේශපාලන නායකත්වයක් තියෙන්න ඕනෑ. ඒත් මේ අරගලය පුරාවට එහෙම නායකත්වයක් තිබුණේ නෑ. මේක විසිරුණු අරගලයක්. මේ විසිරුණු අරගලය, අවිදිමත් අරගලය, ගෝල්ෆේස් කියන ක්‍රියාකාරී භූමිය වටේට එකතුවුණා.
මේ අරගලයට තියුණු මධ්‍යගත දේශපාලන නායකත්වයක් තිබුණේ නෑ. මේ ලියුම්කරු මුල ඉදලාම ඒක අරගලයේ දුර්වලතාවයක් විදිහට තමයි දැක්කේ. ඉතිං එහෙම තැනක රාජ්‍ය පෙරළන්න කුමන්ත්‍රණයක් තිබුණා කියලා රනිල් වික්‍රමසිංහ කියනවා නම් ඔහුට ටොක්කක් ඇනගෙන මතක් කරගන්න තියෙන්නේ 2015 මහින්ද රාජපක්ෂ පැරදුනාම අරලියගහා මන්දිරයේ මොකද වුණේ කියන දේ.
තමන්ම මැදිහත් වෙලා සුමට බල හෝමාරුවකට අවකාශ හදලා මෛත්‍රීපාල උන්නැහේ ජනාධිපති කරපු ඒ දුෂ්කර පැය කිහිපය ගැන රනිල් වික්‍රමසිංහට මතක නම් ඔහු මේ අරගලය රාජ්‍ය පෙරළා දැමීමේ අරගලයක් කියලා දකින එකක් නෑ.
රනිල් වික්‍රමසිංහට ඕනී නම් එදා වෙච්ච ඒ කුමන්ත්‍රණය ගැන දැන්වත් වහාම සොයා බලලා, ඒ අවශ්‍ය පුද්ගලයෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න කියලා සීඅයිඩීයට උපදෙස් දෙන්න පුලුවන්. ඒත් රනිල් වික්‍රමසිංහ ගේ නමේ අගකෑල්ලට වැහුණ රාජපක්ෂ කියන කෑල්ල නිසා ඔහු ඒක නොකරන බව මේ ලියුම්කරුට විශ්වාසයි.
ක්‍රමය පෙරළමු
බලය දියවන්නාවෙන් එළියට කියලා ක්‍රමය පෙරළමු කියලා අන්තරය කොළඹට පාගමන් ආවාට අන්තරයට මේ රාජ්‍ය පෙරළලා සමාජවාදී ලංකාණ්ඩුවක් හදනවා කියලා සැළැස්මක් තිබුණා කියලා රනිල් වික්‍රමසිංහ හෝ ලංකාවේ බුද්ධි අංශ කියනවා නම් ඒ හැවෝටම මඤ්ඤං කියලා තමයි අපිට නම් කියන්න වෙන්නේ.
ඒනිසා මේ පුද්ගලයින් තුන් දෙනාට මාස තුනක රැඳවුම් නියෝග දෙනවා කියන්නේ පිස්සුවක් සහ ඒක මානව හිමිකම් කෙළෙසීමක්. මේක කන්න තැතුව තෙල් නැතුව ලයිට් නැතුව රට තුළ පැන නැඟ්ග අරගලයක්. ඒක ත්‍රස්තවාදය කියලා රනිල් වික්‍රමසිංහ අර්ථදක්වනවා නම් ආයෙත් මේ රටේ කිසිඳු අරගලයකට ඉඩ නැහැ.
2015 අරලිය ගහේ වුණ කුමන්ත්‍රණයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගන්න හිතුවෙවත් නැති රනිල් වික්‍රමසිංහ කිසිඳු ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රශ්නයක් නැති මේ වෙලාවේ මේක ආයුධයක් විදිහට භාවිතා කිරීම පුරවැසියෝ විදිහට දැවැන්ත විරෝධයක් දක්වන්න ඕනී අවස්ථාවක්.
ත්‍රස්තවාදය මැඬීමට කියලා අපි කාලයක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වගේම මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනත පාවිච්චියට ගන්නවා. ඒත් සහරාන් හසීම් දැවැන්ත මිනිස් සංහාරයක් කරලා යනකම් ඒ ගැන සොයාබලන්න බැරිවුණා. ඒකට හේතුව ගෝඨාභය රාජපක්ෂ යටතේ හිටි හමුදා බුද්ධි අංශය සහරාන් ට උදව් කිරීම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමේ ව්‍යාපෘතිය තමයි මේ ත්‍රස්තවාදය හරහාත් ඒ කාලේ ක්‍රියාත්මක වුණේ. ඒත් කෝ අද මහා මොළකරු හොයාගන්න පුලුවන් වුණාද? අඩුම සහරාන්ලාට කිරිපොවලා හදාවඩා ගත්ත ඊට අනුබල දුන්න අයට හෝ මේ පනත් ප්‍රකාරව දඬුවම් දෙන්න පුලුවන් වුණාද? නෑ.
මේ නීති හැදුවේ දෙමළට ගහන්න. දෙමළට ගහන්න මේ නීති සම්මත කරගන්නකොට දකුණේ සිංහලයෝ හුරේ දැම්මා. සතුට ප්‍රකාශ කළා. කිරිබත් කෑවා. අන්තරයට එදා දේශපාලන නායකත්වය සපයපු ජවිපේ පවා මේ නීතී ආරක්ෂා කරන්න කාලයක් කැපවුණා. ඒ වාර්ගික සංහාරය වෙනුවෙන්. දැන් තමන් කවාපොවා පෝෂණය කරපු යකා තමන් ඉස්සරහට ඇවිත්..
අපි පුරවැසියෝ විදිහට දැන්වත් මේ මර්දන නීතීන් ඉවත් කරන්නට පාලකයන් ට බලකරන්න අවශ්‍යයි. මේ නීති ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අංශභාග තත්ත්වයට පත් කරනවා. මිනිස් ජීවිත අනතුරේ හෙළන මිනිසුන්ගේ නිදහසේ ජීවිත් වීමේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතීන්‍ට බාධාකරන මේ නීති වහාම ඉවත් කිරීම සඳහා පුරවැසියෝ පෙරමුණ ගන්න ඕනෑ.
———–
මොකක්ද මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත? – මේ ඒගැන බීබීසී සන්දේශයේ ගිය හැඳින්වීමක්.
මෙය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම, ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ඕනෑම පුද්ගලයෙකුගේ, පුද්ගල කණ්ඩායමක, සංගමයක, සංවිධානයක හෝ පුද්ගල මණ්ඩලයක නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා තාවකාලික ප්‍රතිපාදන සැලසීමේ පනතකි.
මෙම පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ලෙස හඳුන්වයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)1978 වර්ෂයේදී තාවකාලික විධිවිධානයක් වශයෙන් බලාත්මක කරන ලද අතර 1982 වර්ෂයේ ස්ථීර කරන ලදී.
එය ක්‍රියාත්මක කර ඇති වසර 40 ක කාලසීමාවේ සාමාන්‍යය නීතියෙන් ආවරණය නොවූ අපරාධ සහ බරපතල මූලික අයිතිවාසිකම් උල්ලංඝණයන් යටතට නොගැනෙන ක්‍රියා සඳහා මෙම නීතිය හඳුන්වා දී ඇති බවට රජය පවසයි.
නීත්‍යානුකූල විරෝධතා මැඩ පැවැත්වීම සහ මානව හිමිකම් ක්‍රියාධරයින්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් ඉලක්ක කර ගනිමින් පනතේ ඇතැම් වගන්තිය පීඩාකාරී ලෙස යොදාගෙන ඇති බවට මානව හිමිකම් සංවිධාන වෝදනා නඟයි.
මෙම පනත යටතේ වැරදි සහ දඬුවම්.
(අ) දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ මරණ දණ්ඩනයට හෝ සිරදඬුවම් ලැබිය හැකි යම් නිශ්චිත පුද්ගලයෙකුගේ මරණයට හේතු වීම, හෝ නිශ්චිත පුද්ගලයෙකු පැහැරගෙන යාම හෝ පැහැර ගැනීම හෝ එවැනි ඕනෑම පුද්ගලයෙකුට වෙනත් ප්‍රහාරයක් එල්ල කිරීම වරදක් වන අතර ඒ වෙනුවෙන් අවුරුදු හතකට නොඅඩු දඬුවමක් ලැබීය හැකිය.
(ආ) මෙම පනත යටතේ කිසියම් වරදකට සාක්ෂිකරුවෙකු වන ඕනෑම පුද්ගලයෙකුගේ මරණයට හේතු වන, එවැනි ඕනෑම පුද්ගලයෙකු පැහැරගෙන යාම හෝ වෙනත් ප්‍රහාරයක් සිදු කිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ වසර හතකට නොඅඩු සිර දඬුවමක් හෝ මරණීය දණ්ඩනය ලැබිය හැකි ක්‍රියාවකි.
(ඇ) (ආ) ඡේදයේ සඳහන් ඕනෑම නිශ්චිත පුද්ගලයෙකුට හෝ සාක්ෂිකරුවෙකුට සාපරාධී බිය ගැන්වීම් සිදු කරයි; හෝ රජයේ, ඕනෑම දෙපාර්තමේන්තුවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, රාජ්‍ය සංස්ථාවක, බැංකුවක, සමුපකාර සංගමයක හෝ සමුපකාර සමිතියක දේපළ මංකොල්ලකෑමේ වරද සිදු කරයි; හෝ
(ඈ) රජයේ, කිසියම් දෙපාර්තමේන්තුවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, රාජ්‍ය සංස්ථාවක, බැංකුවක, සමුපකාර සංගමයක හෝ සමුපකාර සමිතියක හෝ වෙනත් පොදු දේපළකට අනර්ථකාරී වරදක් සිදු කරයි; හෝ
(ඉ) පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලද හෝ භාවිතා කිරීමට අදහස් කරන ඕනෑම ගිනි අවි, ප්‍රහාරාත්මක ආයුධ, පතොරම් හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ කිසියම් භාණ්ඩයක් හෝ දෙයක් නීත්‍යානුකූල අධිකාරියකින් තොරව ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම හෝ එකතු කිරීම; හෝ
(ඊ) නීත්‍යානුකූල අධිකාරියකින් තොරව, කිසියම් ආරක්ෂක ප්‍රදේශයක් තුළ, කිසියම් ගිනි අවියක් හෝ කිසියම් ප්‍රහාරාත්මක ආයුධයක්, පතොරම් හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලද හෝ භාවිතා කිරීමට අදහස් කරන කිසියම් භාණ්ඩයක් හෝ දෙයක් තිබීම; හෝ
(ඌ) කථා කරන ලද හෝ කියවීමට අදහස් කරන වචන මඟින් හෝ සංඥා මඟින් හෝ දෘශ්‍යමාන නිරූපණයන් මඟින් හෝ වෙනත් ආකාරයකින් ප්‍රචණ්ඩ ක්‍රියා හෝ ආගමික, වාර්ගික හෝ වාර්ගික අසමගිය හෝ විවිධ ප්‍රජාවන් අතර අමනාප හෝ සතුරුකම් ඇති කිරීම හෝ ඇති කිරීමට අදහස් කරයි වාර්ගික හෝ ආගමික කණ්ඩායම්; හෝ
(එ) නීත්‍යානුකූල අධිකාරියකින් තොරව, කිසියම් මහා මාර්ගයක, වීථියක, මාර්ගයක හෝ වෙනත් පොදු ස්ථානයක, ඕනෑම පුවරුවක හෝ වෙනත් සවිකිරීමක ඇති වචන, ශිලා ලේඛන හෝ අකුරු මකා දැමීම, විකෘති කිරීම, විකෘති කිරීම හෝ වෙනත් ආකාරයකින් බාධා කිරීම; හෝ
(ඒ) මෙම පනත යටතේ එවැනි තැනැත්තෙකු වරදක් කර ඇති බව දැන හෝ විශ්වාස කිරීමට හේතු ඇතිව, ප්‍රකාශිත පුද්ගලයෙකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු බිය වැළක්වීම, බාධා කිරීම හෝ බාධා කිරීම වැළැක්වීම, සඟවා තැබීම හෝ වෙනත් ආකාරයකින්, මෙම පනත යටතේ වරදකට වැරදිකරු වෙයි.
රඳවා තබා ගැනීමේ සහ සීමා කිරීමේ නියෝග
කිසියම් පුද්ගලයෙකු කිසියම් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී හෝ සම්බන්ධ බවට විශ්වාස කිරීමට හෝ සැක කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාට හේතු තිබේ නම්, එවැනි ස්ථානයක සහ ඊට යටත්ව, පළමු අවස්ථාවේ දී එම පුද්ගලයා මාස තුනකට නොවැඩි කාලයක් රඳවා තබා ගැනීමට අමාත්‍යවරයාට නියෝග කළ හැකිය.
ආරක්ෂක අමාත්‍යවරයා විසින් තීරණය කළ හැකි කොන්දේසි සහ එවැනි ඕනෑම නියෝගයක් වරින් වර මාස තුනකට නොවැඩි කාලයක් සඳහා දීර්ඝ කළ හැක.
කෙසේ වෙතත්, එසේ රඳවා තබා ගැනීමේ සමස්ත කාලය මාස දහඅටක කාලයක් නොඉක්මවිය යුතුය.
මෙහි 9 වැනි වගන්තිය යටතේ කරන ලද නියෝගයක් අවසන් නියෝගයක් විය යුතු අතර එය රිට් මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයකින් කිසිදු අධිකරණයක හෝ විනිශ්චය සභාවක ප්‍රශ්න කළ නොහැක.
හදිසි අවස්ථා තත්ත්වය යනු කුමක්ද?
හදිසි අවස්ථාව යන්න මහජන ආරක්ෂක පනතේ විස්තර කරන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සාමාන්‍ය තත්ත්වයන්හිදී ලබා දෙනු නොලබන බලතල, රජයට ලබාදිය හැකි සුවිශේෂී තර්ජනයක්, අනතුරක් වූ ව්‍යසනයක් පැහැදිලි ලෙසම පවතින තත්වයක් ලෙසය.
මෙවැනි තත්ත්වයකදී ජාතික ආරක්ෂාව, මහජන සාමය හා අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සහතික කිරීම පිණිස හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත් කිරීම පිණිස ජනාධිපතිවරයාට ඉඩ ලැබේ.
නිවේදනයක් මඟින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තනිකර වූ අභිමතානුසාරී බලය ජනාධිපතිවරයා සතුව පවතී.
එම නිවේදනය පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවීම ද කළ යුතු වෙයි.
හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම අධිකරණයකදී අභියෝගයකට ලක් කළ නොහැකි වේ. ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙගුලාසි සකස් කිරීමට ඇති බලය ඇතුලු මහජන ආරක්ෂක පනත ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක බවට පත් වීම හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම මගින් සිදුවෙයි. මෙම රෙගුලාසි මඟින් අනෙක් ඕනෑම නීතියක් අක්‍රිය කළ හැකි වන නමුත් ආණ්ඩුකම ව්‍යවස්ථාව අක්‍රිය කිරීමට ඒවාට නොහැකි වෙයි.
හදිසි අවස්ථා තත්වයක් කොපමණ කාලයක් පැවතිය හැකිද?
මාසයක කාලයක් වලංගුවන නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට හැකිය. (මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ඔහුට හැකියාව ඇති නමුත් දින 14ක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු වේ) එසේ සිදු නොවුණහොත් නිවේදනය අවලංගු වේ. සෑම දින 30කට වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකිය. නමුත් එසේ කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතියකිනි.
හදිසි අවස්ථා රෙගුලාසි වලින් පුරවැසි අයිතිවාසිකම් වලට ඇතිවන බලපෑම කුමක්ද ?
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික දරු ලද ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීන් වලින් පැන නගින අයිතීන් ගණනාවක් හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කිරීම් පැනවේ.
සීමා කරනු ලැබිය හැකි මූලික අයිතිවාසිකම් වනුයේ,
නිර්දෝෂි බවට වන පූර්ව නිගමනය
ඔප්පු කිරීමේ භාරය සහ ප්‍රතිරෝධය දණ්ඩනය
නීතිය ඉදිරියේ සමානත්වය සහ වෙනස්කම් නොකිරීම
අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා වන සාමාන්‍ය නෛතික ක්‍රියාවලිය
අදහස් ප්‍රකාශනයේ, රැස්වීමේ , සමාගම් පැවැත්වීමේ, ගමන් කිරීමේ, රැකියාවේ, ආගමේ, සංස්කෘතියේ සහ භාෂාවේ නිදහස කෙරෙහි අදාල වන මූලික අයිතිවාසිකම්.
හදිසි නීති රෙගුලාසි සාමාන්‍ය පුරවැසියන්ට බලපාන්නේ කෙසේද?
ජාතික ආරක්ෂාවේ යහපත පිණිස මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හෝ ප්‍රජාවේ ජන ජීවිතය සඳහා වන අත්‍යවශ්‍ය සේවාවන් හා සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, අවශ්‍ය හෝ යෝග්‍ය යැයි නිසි බලධරයෙකුට ශ්‍රී ලංකාවේ ඕනම වාහනයක් එවැනි සේවාවන් සඳහා ලබාදෙන ලෙස නියෝග කළ හැකිය.
යම් පුද්ගලයකු වාසය කරන ගොඩනැගිල්ලක් හෝ පරිශ්‍රයක් මෙම රෙගුලාසි අතරට වැටෙන යම් වරදක් කිරීමට හෝ ඒ සම්බන්ධ යම් කටයුත්තකට භාවිත කරනු ලැබ තිබේ යැයි චෝදනා එල්ල වී ඇති විටෙක එම ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාට ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කළ හැකිය. එම ගොඩනැගිල්ල නිදහස් කර ගැනීම සඳහා මහාධිකරණය වෙතින් නියෝගයක් ඉල්ලා සිටීමේ හිමිකම පවතී. කුමන තත්ත්වයක් යටතේ දී හෝ මාස හයක් ඇතුළත එම පරිශ්‍රය අයිතිකරු වෙත නැවත ලබා දිය යුතු වේ.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම පිණිස හෝ යම් පුද්ගලයකුට යම් කාර්යයක් ඉටු කරන ලෙස හෝ යම් පුද්ගලික සේවාවක් ලබා දෙන ලෙස හෝ ඉල්ලීම් කිරීමට ජනාධිපතිවරයාට හෝ ඔහු විසින් බලය පවරනු ලැබූ බලධාරියෙකු ට හැකිය. එසේ කිරීමට අසමත් වීම වරදක් වනු ඇත.
යම් සීමා කරන ලද ප්‍රදේශයන්ට, ස්ථානයකට හෝ පරිසරයන්ට ඇතුලුවීමට බලයක් නොමැති පුද්ගලයින් ඇතුලුවීම වැළැක්වීමට වැනි විශේෂ ආරක්ෂක පියවරයන් ගැනීම අවශ්‍යයයි යන්න නිසි බලධාරියෙකුගේ අදහස වන විට දී පුද්ගලයින් එසේ ඇතුලුවීම වැළැක්වීමට ක්‍රියා කළ හැකිය.
ප්‍රසිද්ධ පෙළපාලි හෝ රැස්වීම් පැවැත්වීම තහනම් කිරීමට ජනාධිපතිවරයාට හැකි හැකිය. මහජන සාමය අවුල් කිරීමට හෝ අසහනකාරී තත්ත්වයක් ප්‍රවර්ධනය කිරීමට ඉඩ ඇතැයි තමාට හැඟී යන විටකදී පෙළපාලි, රැස්වීම් තහනම් කිරීමට නියෝග කිරීමට ද ජනාධිපතිවරයාට හැකිය.
යම් ප්‍රසිද්ධ මාර්ගයක, දුම්රිය මාර්ගයක, විනෝද උයනක හෝ යම් වෙනත් පිට්ටනියක හෝ නිශ්චිත කොට දක්වන වෙනත් ගොඩනැගිල්ලක හෝ පරිශ්‍රයක මිනිසුන් ගැවසිය යුතු නැතැයි නියෝග කරමින් ඇඳිරි නීති නියෝග නිකුත් කිරීමට ද ජනාධිපතිවරයාට හැකිය.
මුළු රටේම හෝ රටේ යම් ප්‍රදේශවල යම් කරුණු පළකිරීම හෝ ශ්‍රී ලංකාවේ සිට යම් බාහිර රටවලට සම්ප්‍රේෂණය කිරීම සීමා කිරීමට නිසි බලධරයෙකු හට බලය පවරනු ලැබිය හැකිය.
හදිසි නියෝග යටතේ පුද්ගලයකු රඳවා තබාගත හැක්කේ කෙසේද?
රාජ්‍ය ආරක්ෂාවට හෝ මහජන සාමය පැවැත්වීමට හෝ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට හානි පමුණුවන යම් ආකාරයකින් ක්‍රියා කිරීමෙන් හෝ විධිවිධානයකට පටහැනිව ක්‍රියා කිරීමෙන් යම් තැනැත්තෙකු වැළැක්වීමේ අදහසින් ඒ තැනැත්තා සම්බන්ධයෙන් එලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය යැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මතය වන අවස්ථාවක ඒ තැනැත්තා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට නියම කරනු ලැබිය හැකිය.එවැනි නියෝගයක් කිසිම හේතුවක් නිසා යම් අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකිය.
රඳවා ගනු ලබන ඕනෑම පුද්ගලයකුට එසේ රඳවා ගනු ලබන්නේ පොලිස්පතිවරයා විසින් අවසර දෙනු ලබන ස්ථානයක සහ ඔහු විසින් දෙනු ලබන උපදෙස් ප්‍රකාරව හෝ බන්ධනාගාර ආඥා පනත යටතේ ස්ථාපිත කරන ලද බන්ධනාගාරයක ය.
ඕනෑම පොලිස් නිලධාරියකු හෝ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙකුට මෙම රෙගුලාසි යටතේ පුද්ගලයෙකු රඳවා තබා ගත හැකිය.
මෙම රෙගුලාසි යටතේ යම් පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබූ දින සිට දින 90ක් නොඉක්මවන කාල පරිච්ඡේදයක් රඳවා තබා ගනු ලැබිය හැකිය. එම කාල පරිච්ඡේදය අවසාන වීමට පෙර එම පුද්ගලයා අදාළ බලතල සහිත අධිකරණයක් හමුවට පමුණුවා බන්ධනාගාර ආඥා පනත අනුව ස්ථාපිත කරන ලද බන්ධනාගාරයක රඳවනු නොලැබුවහොත් දින අනුව 90 අවසානයේ ඔහු රඳවනු ලබන ස්ථානයෙහි ස්ථානාධිපතිවරයා විසින් ඔවුන් නිදහස් කළ යුතු වෙයි.
යම් පුද්ගලයෙකු උපරිම වශයෙන් වසරක කාලයක් සඳහා රඳවා තබාගත හැකිය.
හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා පටිපාටියේ දී අත්අඩංගුවට ගැනීම සිදු කරන නිලධාරියා පොලිස් නිලධාරියකු වන විටදී; එම අත්අඩංගුවට ගැනීම සිදු වූ කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වෙත ද , එම නිලධාරියා සන්නද්ධ හමුදාවක සාමාජිකයෙකු වන විටදී; අත්අඩංගුවට ගැනීම සිදු වූ ප්‍රදේශයේ එම හමුදාවේ අණදෙන නිලධාරියා වෙත ද අත්අඩංගුවට ගත් වේලාවේ සිට පැය 24ක් ඇතුළත අත්අඩංගුවට ගැනීම වාර්තා කළ යුතුය.
-කේ. සංජීව-