– නලීන් ද සිල්වා –
අප මේ දිනවල ඉන්නේ සිලිකන් මිටියාවතේ (valley) . ලෝකයේ බොහෝ ඉහළ තාක්‍ෂණ සමාගම් ඇත්තේ මෙහි. සිලිකන් මිටියාවත ඇත්තේ ඇමරිකා එක්සත් රාජ්‍යවල (ජනපදවල) කැලිෆෝනියා රාජ්‍යයේ. එක්සත් රාජ්‍ය යන්නෙහි තේරුම ම රාජ්‍ය කිහිපයක් එකතු වී තනාගත් රාජ්‍යයක් කියන එක. එය සන්ධීය රාජ්‍යයක්. සන්ධීය රාජ්‍ය හැදිල තියෙන්නෙ එහෙම රාජ්‍ය එකතු වීමෙන්. අප වැනි කුඩා රටක් බෙදල සන්ධීය රාජ්‍ය හදන ප්‍රවණතාවක් නැහැ.
අද වන විට ඇමරිකන් රාජ්‍ය පනහක් තිබුණත් මුල දි තිබුණෙ රාජ්‍ය දහතුනක් පමණයි. ඒ බ්‍රිතාන්‍ය යටත් විජිත. ඒ විජිත බ්‍රිතාන්‍යට විරුද්ධ ව කරන ලද සටනකින් (1775-1783) පස්සෙ නිදහස දිනාගෙන සන්ධීය රාජ්‍යයක් පිහිටෙවුව. අමෙරිකාවෙ පාසල්වල ඒ ඉතිහාසය උගන්වනවා. ඔවුන් කියන්නෙ බ්‍රිතාන්‍යට විරුද්ධ ව සටන් කරල නිදහස දිනගත් එක ම රට ඇමරිකාව කියලා. අනෙක් රටවල් යම් යම් ගිවිසුම් මාර්ගයෙන් නිදහස දිනාගත් බවයි කීියන්නෙ.
ඒ පළමු රාජ්‍යය දහතුන ඔවුන්ගෙ ජාතික ධජයෙ නිරූපණය වෙනවා තීරු දහතුනක් ලෙස. ඒ ධජයෙ කොටුවෙ තියෙන තරු පනහෙන් නිරූපණය වෙන්නෙ වත්මන් රාජ්‍ය පනහ. මෙයින් පැහැදිලි වෙන කරුණක් තියෙනවා. ධජයෙ රාජ්‍ය පනහට ම එක වගේ සැලකෙන්නෙ නැහැ. අර මුල් දහතුනට විශේෂ තැනක් හිමි වෙනවා. අපේ ධජයෙ සිංහයාටයි බෝපත් හතරටයි ඇතැමුන් විරුද්ධ වන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂ තැනක් දෙන්න එපා කියලා. ඇමරිකාවට අවසානයට එකතු වුණෙ හවායි රාජ්‍යය. කැලිෆෝනියාව එකතු වෙලා තියෙන්නෙ 1850 දි 31 වැනි රාජ්‍යය හැටියට.
කැලිෆෝනියාව මුලින් ම යටත් වෙලා තියෙන්නෙ ස්පාඤ්ඤයට. 1821 දි ස්පාඤ්ඤයට විරුද්ධව කරන ලද නිදහස් සටනකින් පස්සෙ මෙක්සිකෝ රාජ්‍යයෙ කොටසක් බවට පත්වෙලා. පසුව 1846 දි පිරිසක් මෙක්සිකෝ රාජ්‍යයට විරුද්ධ ව සටන් කරල කැලිෆෝනියා ජනරජය පිහිටුවල. එහෙත් වැඩිකල් යන්න පෙර ඇමරිකන් මෙක්සිකෝ (1846-48) යුද්ධෙන් පස්සෙ කැලිෆෝනියාව ඇමරිකන් එක්සත් රාජ්‍යවලට අයත් වෙලා. මෙහි කැලිෆේනියාව ලෙස 1821 සිට දිගින් දිගට ම හැඳින්නුවත් ඒ එක ප්‍රදේශයක් ලෙස පැවතුණෙ නැහැ. දේශසීමා වෙනස් වෙලා.
කැලිෆෝනියාවෙ ස්පාඤ්ඤ බලපැම් දකින්න පුළුවන්. නගරවල කෝරළවල (counties) ස්පාඤ්ඤ නම් තියෙනව. සාන්තුවරයන්ගෙ සාන්තුවරියන්ගෙ නම් දැක ගන්න පුළුවන්. සැන් ෆ්‍රැන්සිස්කො, සැන් හොසෙ (San Jose – J හ ලෙස ශබ්ද කෙරෙන්නෙ) සැන් ඩියගො, සැන්ටා ක්ලාරා, සැන්ටා ක්‍රෑස් ආදී නම් තියෙනවා.
අප ගියා සිලිකන් මිටියාවතේ පියකු හිටිය ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය බලන්න. ඒ විශ්ව විද්‍යාලය පටන් අරන් තියෙන්නෙ ලෙලන්ඩ් ස්ටැන්ෆර්ඩ් හා ජේන් ස්ටැන්ෆර්ඩ් විසින් තම මුදල් වියදම් කර. අකාලයේ මියගිය පුතා සිහිවෙන්න. ජේන් ස්ටැන්ෆර්ඩ්ගෙ ඉල්ලීමට විශ්ව විද්‍යාලයෙ ගොඩනැගිලි හදල තියෙන්නෙ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල අනුව නොවෙයි. එහි ස්පාඤ්ඤ ගෘහ නිර්මාණ ලක්‍ෂණ තියෙනවා. ඇතැම් ගොඩනැගිලිවල වහළ සෙවිලි කරළ තියෙන්නෙ සිංහල උළුවලින්. අර රවුම් උළුවලින්.
කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සිංහල උළු කොහොම ද ස්ටැන්ෆර්ඩ් වහළට ආවෙ කියල. ඒත් මගේ දැනීම හැටියට අපි සිංහල උළු කියන්නෙ පෘතුගීසි උළුවලට. ස්පාඤ්ඤ හා පෘතුගීසි සංස්කෘතින් සමීපයි. පෘතුගීසීන් තමයි ඒ උළු ලංකාවට හඳුන්නල දීල තියෙන්නෙ. පස්සෙ කාලෙක දි අපි ඒ උළුවලට සිංහල උළු කියන්න පටන් අරන්. අර රට උළු ආවට පස්සෙ. අපි සමාන්‍යයෙන් තත්වයෙන් බාල එකට සිංහල කියනවා තත්වයෙන් උසස් එකට රට කියනවා. ඒත් සිංහල උළුත් රට උළු වර්ගයක්.
විලියම් ෂොක්ලි, ජේම්ස් බාර්ඩීන් හා වෝල්ටර් බ්‍රැටේන් බෙල් පරීක්‍ෂණාගාරවල වැඩ කළ ඇමරිකන් භෞතික විද්‍යාඥයන් තිදෙනෙක්. ඔවුන්ට සෙමිකන්ඩක්ටර් හා ට්‍රාන්සිස්ටර් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවලට භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය 1956 දි ලැබුණා. 1950 -60 කාලයේ ෂොක්ලිගේ උනන්දුව මත ට්‍රාන්සිස්ටරය වානිජකරණයට ලක් කෙරුණා. සිලිකන් මිටියාවතත් ඒ සමග ප්‍රසිද්ධ වුණා. ෂොක්ලි පසු කලෙක ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය වුණා. බාර්ඩීනට දෙවරක් භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තැග්ග ලැබුණා. 1972 දි ලැබුණෙ සුපර්කන්ඩක්ටිවිටි පරයේෂණ සඳහා.
පෙන්ටගනයේ වැඩ කළ ලික්ලිඩර් 1963 දී පරිගණක ජාල පිළිබඳ ඔහුගේ අදහස් ඉදිරිපත කළා. ඔහු තොරතුරු තාක්‍ෂණය පිළිබඳ මූලික අදහස් ඉදිරිපත් කර විශ්වවිද්‍යාල කිහිපයක ම පරිගණක විද්‍යා උපාධි පාඨමාලා ආරම්භ කිරීමට දායක වුණා. 1969 දී ස්ටැන්ෆර්ඩ් පරයේෂණ ආයතනය අන්තර්ජාලයෙ පෙරගමන්කාර ජාල මෙහෙයුම් කළා. අද ලෝකයේ පරිගණක සංස්කෘතියක් තියෙනවා. වයසට ගිය මටත් ඒක බලපානවා. මට වඩා මගේ මුණුබුරන්ට ඒ තාක්‍ෂණය සමීපයි.
අප කැමති වුණත් නැති වුණත් මුහුණු පොත පරිහරණය කරන්න වෙලා. මුහුණු පොත දැන් තම නම වෙනස් කරලා මෙටා කියා. මෙටා කියන ග්‍රීක වචනයෙ තේරුම ‘තමා ගැන ම සිතීම’ වැන්නක්. එය සිංහලට පාර කියා පරිවර්තනය වෙනවා. භෞතික වාද රාශියක් තියෙනවා. ඒ භෞතික වාද ගැන වෙන වෙන හිතන්නෙ නැතුව භෞතිකය ගැන හිතන විට එය පාරභෞතිකය වෙනවා.
මුහුණු පොත සියළු අන්තර්ජාලවල පාර තත්වයකට යන්න සැලසුම් කරනවා. එය මෙටා වන්නේ එබැවිනුයි. අප මුහුණු පොතේ ප්‍රධාන කාර්යාලයට ගියා. එහි දී ගත් ඡායාරූපයක් මේ සමග පළවෙනවා. මා නිතර මා ගැන හිතා නිරවුල් වෙන්න හදනවා. එහි දී අපට සකර්බර්ග් මුණගැහුණා. ඔහු අනාථකඳවුර ගැන විමසුවා. මා කීවා පරංගි පරගලයෙන් පසු අනාථයන් පාරඅනාථයන් බවට පත්වෙලා කියා.
උපුටාගැනීම : ෆේස්බුක්