ජෝර්දානය සංචාරයට කියාපු ලස්සන රටක්. රතු මුහුද, ජෝර්දාන් නදිය, වඩිරම් කාන්තාරය, මල මුහුද සහ පෙට්රා කියද්දි ජෝර්දානය මතක් වෙනවටත් වඩා අමතක වෙනවා.
ප්රෙට්රා නගරය අද ලෝක පුදුම හතෙන් එකක් විදිහට සැලකෙනවා. පෙට්රා කිව්වම කවුරුත් හිතන්නෙ ගලක කොටපු විශාල දේවස්ථානයක් විදිහට. ඒක වැරදිමත් නෑ. නමුත් පෙට්රා කියන්නෙ ජෝර්දානයේ කාන්තාරය මැද්දෙ ගල් කැටයම් මගින් නිර්මානය කරන ලද අංග සම්පූර්ණ නගරයක්.
ක්‍රිස්තු පූර්ව 7000 දී පමණ සිට මේ ප්‍රදේශයේ ජනාවාස තිබුනු බවට පැහැදිලි සාක්ශි තියෙනවා. ඒ කාලෙ සිටම මේ ප්‍රදේශය නබතියන් වරුන්ගේ කලාපයක්. නබතියන් යනු වෙළඳාම. සත්ව පාලනය සහ කෘශිකර්මය ප්‍රධාන කොට ගෙන මේ ප්‍රදේශයේ විසූ කාන්තාර ජන කොට්ඨාශයක්.
මට මතක විදිහට බයිබලයේ පරණ ගිවිසුමේ නබතියන්වරු ගැන කෙලිමන්ම සඳහන් නොවුනත් ඒ හා සම්බන්ධ කථාවලට අනුව මෝසෙස් තම සෙනග සමග පොරොන්දු දේශය කරා යද්දි නබතියන් වරුන්ගෙන් අවසර අරගෙන තියනවා, මේ කලාපය හරහා යන්න.
කොහොම වුනත් පෙට්රා නගරය අංග සම්පූර්ණ ලෙස ඉදිවන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන හා හතරවන සියවස් කාලය අතර තුර. ඒ කියන්නෙ ලංකාවෙ අනුරාධපුර රාජධානියට සමගාමීවයි.
මේ නබතියන්වරු තමා ආසියාවේ සිට යුරෝපය දක්වා දිවෙන වෙළඳ මාර්ගය පාලනය කලේ. සමහර විට ලංකාවෙ මුතු මැණික් හා කුළු බඩු වුණත් මේ නගරය හරහා යන්න ඇති. නගරයේ ජනගහනය විසි දාහක් දක්වා වූ බවට සාක්ෂි තියනවා. ඒ වගේම පෙට්රා සේද මාවතේ කේන්ද්‍රස්ථානයක්.
ඉතා විශාල පරාසයක විවිධ දෙවියන් ඇදහූ සටනේ හා වෙළඳාමේ දක්ෂ මේ මිනිසුන් අයිසිස්, බලාශිශ් වැනි දේව ඇදහිලි සඳහා ප්‍රසිද්ධයි.
වැදගත්ම දේ මේ නගරය කාන්තාරය මැද්දේ සොයා ගැනීමට ඉතාම අපහසු නිම්න අතරේ සැඟවී තිබීමයි. නගරයට පිවිසෙන මාර්ගය ඉතාම පටු කිලෝමීටර දෙක තුනක් පමන දිවෙන පර්වත නිම්න තුල සැඟවී තියන ආකාරය පුදුමාකාරයි. කාන්තාරයේ ඉහළ සිට බැලූවිට සොයා ගැනීමට අපහසු තරමටම සැඟවිලා තියෙන මේ නගරය සතුරු ආක්‍රමණයකට ඉතාම හොඳින් ඔරොත්තු දෙන්නක්.
ඒ වගේම නගරය තුලට ජලය ගෙන ඒමේ පද්ධති ඉතා ඉහළ තාක්ෂණයකින් යුක්තව නිර්මාණය කිරීම නිසා සනීපාරක්ෂක හා කෘෂිකාර්මික කටයුතු ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට නගර වැසියන්ට හැකිවෙලා තියනවා. අද වුණත් මේ ජල පද්ධතියේ නටඹුන් වගේම ජලය ගෙන යන කුඩා ඇල මාර්ගද පැහැදිලිව දකින්න පුළුවන්. නීති හා විධිමත් පාලන ක්‍රමයක් මෙන්ම නබතියන්වරුන්ට අයත් වෙනම මුදල් වර්ගයක්ද භාවිතා කරපු බවට පැහැදිලි සාක්ෂි තියනවා.
මේ නගරය පන්සල් රෝහල් නිවෙස් වගේම විශාල එලිමහන් රඟමඩල වලින්ද පෝසත්. ඒ හැම ගොඩනැගිල්ලක්ම ගල් කැටයමක්. ඒ කියන්නෙ ගල් හාරල ඒ තුල තමා ගොඩනැගිලි නිර්මාණය කරල තියෙන්නෙ. කාන්තාරයේ රස්නෙන් ඉර එළියෙන් හෙම්බත් වෙලා මේ නගරයට ඇතුල්වෙන පටු මාර්ගයට ඇතුල් උනාම දැනෙන්නෙ පුදුමාකාර සිසිලක්. මේ පටු නිම්න මාර්ගයේ ඒ කාලෙ අශ්වයන් හා ඔටුවන් පිටින් ගිය හැටි හිතා ගන්න අපහසු නෑ.
ඒත් අද සාමාන්‍ය සංචාරකයන් නම් පයින් ඇවිදගෙන තමා යා යුත්තෙ. මට මතක් වුනේ අලිබාබා සහ හොරු හතලිහට අයිති ගුහාව. මේ පටු මාර්ගය ඉවර වෙන්නෙ උමග කෙලවර වගේ පේන ඉතාම ලස්සන ඔවුන්ගේ පන්සලේ දර්ශණයෙන්. රතු දුඹුරු පාට පර්වත් හරහා එබෙන හිරු එලිය පුදුමාකාර දර්ශණ මවනවා.
කොහොම වුණත් ක්‍රිස්තු පූරව106 දී ඉතා බලවත් රෝම රාජධානියේ බලය හමුවේ නබතියන්වරු පරාජය වුනත් පෙට්රා වෙළඳ මද්යස්ථානයක් විදිහටත්, ආරක්ශක බලකොටුවක් විදිහටත් රෝමන්වරුන් විසින් තව දුරටත් පවත්වාගෙන ගිහින් තියනවා. මේ සඳහා නබතියන්වරුන්ගේ දැනුමත් සහයත් ලබාගැනීමට රෝමන්වරු උපායශීලී වෙලා තියනවා.
නමුත් හතරවන ශත වර්ශයේදී නබතියන්වරු ඉතාම සංවිධානාකාරීව මේ නගරය අත්හැර ගොස් ඇති බවට සාක්ෂි තිබුනත් ඔවුන් කුමන කලාපයකට සංක්‍රමණය වුනාදැයි තවමත් තොරතුරු හොයාගෙන නැහැ.
රාත්‍රී කාලයේදී මේ නගරය තෙල් පහන් වලින් අලංකාර කරාම බලන්න වටින තරමට ලස්සනයි. ඉන්දියානා ජෝන්ස් හා ලාස්ට් කෲසේඩ් චිත්‍රපටිය බලපු කෙනෙක්ට නම්, පෙට්රා අමතක වෙන්න විදිහක් නෑ.
උපුටා ගැනීම : Malcolm sang ෆේස්බුක් පිටුවෙන්