බුරුමයත් ලංකාවත් සමාන බව මතක තබා ගන්න..!

පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත සැම එකකම පාහේ රථ වාහන පදවන්නේ පාරේ වම් පැත්තෙනි. නමුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ බුරුමයේ පමණක් වාහන දකුණු පසින් පැදවෙයි. එරට ඉතිහාසයේ මුල සිටම වාහන පැදවුනේ පාරේ වම් පසින් වුවද 1970 දී හිටිවනම එවකට තිබුණු හමුදා පාලනය විසින් එය දකුණු පසට මාරු කරනු ලැබෙයි. සියලු දෙනා අන්දුන් කුන්දුන් කරවමින් එක් රැයකින් බලාත්මක වුණු මේ නීතිය ක්‍රියාත්මක කරවීමට ඇත්ත වශයෙන්ම තීන්දු කොට තිබුනේ එරට රථ වාහන නියාමනය සම්බන්ධ ආයතනයක් විසින් නොව, එවකට එරට හමුදා පාලකයා වුනු නේ වින් ට පෞද්ගලිකව උපදෙස් දුන් මන්තරකාරියක වූ ගුප්ත විශාරද  කාන්තාවක විසිනි.

බුරුම හමුදා පාලනේ පළමු වසර අට අතිශයින්ම වාමාංශික ස්වරූපයක් ගත්තේ යයි කියනු ලැබේ. උක්ත කී ගුප්ත විද්‍යා කාන්තාවට අනුව එය පාලකයාට අහිතකර විය. ඇයගේ අදහස් වූයේ රටේ සියලු දේ හැකි පමණ “වම් පැත්තෙන්” ඈතට ගත යුතු බවය. මේ සඳහා ඇයගේ පළමු නිර්දේශය වූයේ ඒ වන විට වමෙන් පැදවෙමින් තිබුණු වාහන එතැන් පටන් දකුණෙන් පැදවිය යුතු බවය. ඇයගේ තීන්දුව එකිනෙහිම ක්‍රියාත්මක විය !
වාහන වම් පැත්තට මාරු වුවද රටට ආනයනය කෙරෙන මෝටර් රථ සියල්ල ඊට සරිලන ලෙස වෙනස් වූයේ නැත. අදටත් බුරුමයේ දෙවර්ගයේම වාහන තිබේ. එරට සැලකෙන්නේ රියදුරකුට පිස්සු හැදෙන රටක් ලෙසය !

රටක පාලකයකුට පමණක් නොව ඕනෑම මනුෂ්‍යකුට තම තමන්ගේ විශ්වාස සහ ඇදහිලි තිබෙයි. අතිශය භෞතිකවාදී ස්ථාවරයන්ගේ සිට මේවා විභාග කිරීමද, විනිශ්චය කිරීමද අනුවණ වැඩකි. එමෙන්ම බුරුමය වැනි ඓතිහාසික ථෙරවාදී රටක ජෝතිෂ්‍ය, නැකත් ශාස්ත්‍ර වැනි දෑ පැතිර පැවතීමද ඒවා රාජ්‍ය පාලනයට මැදිහත්වීමද පුදුමයක් නොවේ. නමුත් මේ සියල්ල “සාමාන්‍ය බුද්ධියේ” සීමාවෙන් කෙලවර විය යුතුය. යම් රටක එසේ නොවන්නේ නම් එයින් කාරණා දෙකක් පැහැදිලි වේ. පළමු වැන්න නම් එරට පාලකයා ඉතා තැතිගත් සහ චංචල ස්වභාවයෙන් සිටින බවය. දෙවැන්න නම් එරට ඉතා සීග්‍රයෙන් අවුලෙන් අවුලට පත් වන බවය. 1970 වන විට බුරුමය සම්බන්ධයෙන් මේ කාරණා දෙකම සත්‍ය විය. එතනින් පසුව  එළැඹි කාලය තුලදී බුරුමයේ ආර්ථික සමාජ දර්ශක අති සීග්‍රයෙන් පහල වැටුණු අතර, හමුදා පාලකයාගේ “අනාරක්ෂිත හැඟීම” උදෙසා බුරුම පුරවැසියන් සිය ගණනකට නොවේ නම් දහස් ගණනකට ලෙයින් වන්දි ගෙවීමට සිදු විය.

රටක පාලකයකුට තිබිය යුතු ප්‍රධාන ගුණාංගයක් නම් අවශ්‍ය වූ විටකදී  “දැඩි තීන්දු” ගැනීමේ හැකියාවත්, එම තීන්දු “සාහසික නොවී ” තබා ගැනීමේ හැකියාවත්ය. සිරිමා ශාස්ත්‍රී ගිවිසුමට අදාළ සාකච්ඡා වටයක් නවදිල්ලියේ පැවැත්වෙමින් තිබියදී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කල “පුරවැසිකම් ලබා දීමේ අනුපාත” එක්තරා අවස්ථාවකදී ඉන්දියාව පාර්ශවයෙන් පිළිනොගන්නා විටකදී සාකච්ඡා වලින් ඉවත් වීමට සිරිමා මැතිණිය සහ ෂර්ලි හැමිල්ටන් අමරසිංහ ගත්තා යයි කියන තීන්දුව දැඩි තීන්දුවකි (මෙය මා අසා තිබෙන කතාවකි). තමන්ගේ බිරිඳ නාන තටායක් අද්දර සිටින මොහොතක් ඡායාරූප ගත කල මාධ්‍යවේදියකු මහ මග මරා ටයර් සමග පුළුස්සා දැමීමට තවත් මෙරට සිටි පාලකයකු ගත්තේ යයි කියන තීන්දුව  දැඩි තීන්දුවක් නොව, සාහසික (නමුත් දුර්වල) තීන්දුවකි. (මෙයද මා අසා තිබෙන කතාවකි). දැඩි තීන්දු ගන්නේ ශක්තිමත් පාලකයන්ය. සහාසික තීන්දු ගන්නේ දුර්වලයන්ය!

පාලකයකුගේ ශක්තිය තීන්දු වන්නේ ඔහු මතින් මුදා හැරෙන ප්‍රචණ්ඩත්වය, සාහසිකත්වය මත නොව, ඔහුගේ දයාහරිත බවත්, ඉවසන සුළු ගුණයත් මතය. ඉවසිය හැක්කේද, කරුණාවන්ත විය හැක්කේද ශක්තිමත් මිනිසෙකුට. අවශ්‍ය  විටකදී දැඩි තීන්දු ගත හැක්කේද මෙවැනි අයකුට පමණි.

යම් පාලකයකු ගුප්ත බලවේග කෙරේ අධික බරක් තබයිද, එම ගුප්ත බලවේගයන්ට එම පාලකයා හරහා සිතා ගත නොහැකි තීන්දු ගත හැකියි ද, එසේ නම් එකී පාලකයා මේ ප්‍රකට කරවමින් සිටින්නේ තමන්ගේ සොහොන් ලකුණු බව අප දත යුතුය. යම් ලෙසකින් එය එම පාලකයාගේ පාලන කාලයෙහි අවසානය නොවේ නම් නියත වශයෙන්ම රටේ අවසානය වනු ඇත. බුරුම ආදර්ශය එයයි!

බුරුමයත් ලංකාවත් ඓතිහාසික දේශපාලනික ලෙස ඔබ හිතනවාටා වඩා සමාන වන බව පමණක් මතක තබා ගන්න !

දිනෙත් මල්ලිකාරච්චි

Social Sharing
නවතම විශේෂාංග