එක වගේ දෙදෙනෙක් :  ෆ්‍රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල්

විසිවෙන ශතවර්ෂයේ මහත් වූ කලා කෞශල්‍යයක් ප්‍රදර්ශනය කළ   මාහැඟි කලාකාරියෝ දෙදෙනෙක්  වූ ෆ්‍රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල් භෞතිකව එකිනෙකාට බොහෝ සෙයින් දුරස්ව ජිවත් වුවත්, එකිනෙකට වෙනස් සංස්කෘතීක සහ පවුල් පසුබිම් තුළ ජීවත් වුවත්, සීමා මායිම් බිඳ දමමින් කලා ලෝකය තුළ ඔවුන් අත් පත් කරගත් සාර්ථකත්වයන් සේම ඔවුන් කලාවට දැක්වූ අනුරාගය පමණක් නොව තව බොහෝ කාරණා වලින් ඔවුන් එකිනෙකාට බොහෝ සෙයින් සමාන වූහ.

ඔවුහු දෙදෙනාම ඔවුහු ජීවත් වූ සමාජයට සාපේක්ෂව එහි වූ සම්ප්‍රදායන් අභියෝගයට ලක් කරමින් නිදහස් ජිවන පැවැත්මක් නඩත්තු කළ, විප්ලවකාරී දැක්මක් සහිත, කාලයට ඔබ්බෙන් වූ චින්තනයක් සහිත පුරෝගාමී කලාකාරියෝ දෙදෙනකු වූහ.

ස්වයං ආලේඛ චිත්‍රවලට දැක්වු කැමැත්ත

ෆ්‍රීඩා කාලෝ ගේ කලා ජිවිතය තුළ ඇය සිත්තම් කළ චිත්‍ර 140 ක් අතරින් 55 ක්ම ස්වයං ආලේඛ්‍ය චිත්‍රය. ඇය ළමා වියේ සිදුවූ මාරාන්තික රිය අනතුරකින් පසු ඇයගේ ඉතිරි ජීවිත කාලය තුළ දැඩි ‍සේ විවිධ වූ ශාරීරික වේදනාවලින් පීඩා වින්දාය. ඇය  එසේ විඳි ශාරීරික වේදනාවත්,  ඇයගේ නොසන්සුන් පෞද්ගලික ජිවිතය  නිසා ඇති වුණු මානසික කලබගෑනියත් ලාක්ෂණික ලෙස ඇයගේ ස්වයං ආලේඛ්‍ය චිත්‍ර තුළ සටහන් වී තිබුනේය.

“මම මා චිත්‍රයට නඟන්නේ මා නිරන්තරයෙන් තනි වී සිටින නිසාය, මා හොඳින්ම දන්නා විෂය මා නිසාය”- ෆ්‍රීඩා කාලෝ

ඊ‍ට ප්‍රතිවිරුද්ධ ලෙස අම්රිතා ෂෙර් ගිල් ආත්ම රාගයෙන් පසු වූ තැනැත්තියකි, ඇය උත්කෘෂ්ට ලීලාවෙන් සහ අනාකෘතික මනෝභාවයන්ගෙන් යුතු ඇයගේ විවිධ ස්වරූපයන් ස්වයං ආලේඛ්‍ය තුළින් නිරූපණය කළාය.

උසස් විලාසිතා ලෝලීන්

මෙම කලාකාරියෝ දෙදෙනා නව චිත්‍රකලා ශෛලීන් සහ ශිල්පක්‍රම ආරම්භ කළා පමණක් නොව නව විලාසිතා රැල්ලක්ද ඇති කිරීමට පුරෝගාමිනියෝ වූහ. ෆ්‍රීඩා කාලෝ වැඩි වශයෙන් මෙක්සිකානු සම්ප්‍රදායික ඇඳුම් කට්ටලය වන, දිගු වර්ණවත් ඇඳුමින් සහ විචිත්‍ර සහ බැරුති ආභරණ වලින් සැරසුනාය.  ඇය තද පැහැති වත්සුනු භාවිතා කළ අතර ඇයගේ කෙස්වැටිය විවිධ වර්ණයන්ගෙන් යුතු මල්වලින්  හැඩ කළාය.

පැරිසියේ චිත්‍රකලා පුහුණුව අවසන් කිරීමෙන් පසුව අම්රිතා ද මහත් ආශාවෙන් ඇයගේ ඉන්දියානු මූලයන් සොයා යාමට පටන් ගත්තාය. ඇයගේ චිත්‍ර කලා ශිල්ප ක්‍රම වල විප්ලවීය වෙනසක් වූවා පමණක් නොව ඇය අඳින පළඳින විදිය ද දැඩි සේ වෙනස්කම් වලට භාජනය වීය. ඇය  පසුකාලීනව ඉන්දියානු සම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් වලට පමණක් සීමා වූවාය: දිලිසෙන සාරි, විශාල විසිතුරු ගල් එබ්බවූ ආභරණ, පිටුපසට පීරා ගැට ගැසූ කෙස් කළඹ සහ තද පැහැ වත්සුනු ඉන්දියාවේ ජීවත්වූ අම්රිතා ගේ අනන්‍යතා ලක්ෂණ වීය.

දෙමව්පියන්ගේ වෙනස් සංස්කෘතික පසුබිම

ෆ්‍රීඩා ගේ පියා මෙක්සිකෝවට සංක්‍රමණය වුනු හන්ගේරියානු/ ජර්මානු- යුදෙව් සම්භවයක් ඇති පුද්ගලයෙකු වූ අතර ඇයගේ මව ආමේනියානු- ස්පාඤ්ඤ සම්භවයක් ඇත්තියක් විය.

අම්රිතා ෂෙර් ගිල් ගේ පියා වංශවත් පවුලක සීක් ජාතිකයෙකු වු අතර ඔහු සංස්කෘත සහ පර්සියානු භාෂා විද්වතෙකි, ඇයගේ මව හන්ගේරියාවේ උපත ලද යුදෙව් ජාතික කාන්තාවක් වූ අතර හන්ගේරියානු ගායිකාවක්ද වූවාය.

කැළඹිලි සහගත එහෙත් වර්ණවත් ප්‍රේමාතුර ජිවිත

‍ෆ්‍රීඩා කාලෝගේ, සුප්‍රකට මෙක්සිකානු චිත්‍ර ශිල්පි දියේගෝ රිවේරා සමඟ සිදු වුණු විවාහය නිරන්තර ගැටුම්කාරී එකක් විය. ‍ෆ්‍රීඩා ට විවාහයට පරිභාහිරව ගැහැණු පිරිමි දෙපාර්ශවය සමඟ ප්‍රේම සබඳතා පැවතුණ අතර බොහෝමයක් ඒවා ඇය පවත්වා ගත්තේ  ස්ත්‍රී ලෝලියෙකු වූ තම ස්වාමි පුරුෂයාට එකට එක කිරීම සඳහාය.

විශේෂයෙන්ම දියේගෝ, තම සොහොයුරිය සමඟ ඇති කරගත් ප්‍රේම සබඳතාවය නිසා ඇයගේ සිත දැඩි සේ පෑරුණු අතර තම වේදනාව සහ කෝපය පෙන්වීමට දියේගෝ ඉතා අගය කළ ඇයගේ ඇඳුම් පැළඳුම් විලාසිතාව ඇය වෙනස් කළාය, ඇය කොණ්ඩය කොටට කපා බටහිර ක්‍රමයට ඇඳුම් ඇඳිමට පටන් ගත්තාය.

අම්රිතා ද ඉතාමත් බොහිමියානු ජිවිතයක් ගත කළ අතර ඇය ඉතා විවෘත ලෙස තම ලිංගික නැමියාව එනම් ද්වි ලිංගික බව නොසඟවමින් තම ජිවන පැවැත්ම හැඩගසා ගත් කලාකාරියකි. එසේම ඇයට ද ප්‍රේම සබඳතා කිහිපයක් ම තිබී ඇත. ඇය තම හන්ගේරියානු ඥාති සොහොයුරා සමඟ විවාහ වීමේන් පසුවද ඇයගේ වික්‍රමාන්විත ප්‍රේම චාරිකා  ඇය අත හැරියේ නැත.

තම උරුමය පිළිබඳ ඇති අභිමානය

මෙම කලාකාරියන් දෙදෙනා ඔවුන්ගේ ජනවර්ගයට අයත් සංස්කෘතියෙන් තදබල ලෙස අභාෂය ලැබු අය වූහ. ෆ්‍රීඩා ගේ වස්තු විෂයයන් සහ වර්ණයෝජනය ඉතාමත් බුහුටි ලෙස මෙක්සිකානු සංස්කෘතිය චිත්‍රණය කරන අතර ඇයගේ චිත්‍ර කලාවේ ශෛලියේ වූ ලාක්ෂණික ගුණ මෙක්සිකානු ජන කලාව හා සමපාත වූයේය.

ෂෙර් ගිල් ද ඉන්දියාවේ මියුගල් සහ පහාරි චිත්‍ර සම්ප්‍රදායන්ගෙන් සහ අජන්තා චිත්‍ර වලින් දැඩි ලෙස ආභාෂය ලැබුවාය. ඇය ඉන්දියානු සම්භාව්‍ය චිත්‍ර අධ්‍යනය කිරීමට දකුණු ඉන්දියාව පුරාම සංචාරය කළ අතර ඇයගේ චිත්‍ර තුළ ඉන්දියානු වස්තු විෂයන් බවට පත් වූයේ ගැමි  වටපිටාව සහ ගැමියන්ගේ දෛනික ජිවන පැවැත්මයි.

“මට චිත්‍ර ඇඳිය හැක්කේ ඉන්දියාව තුළ පමණි. යුරෝපය පිකාසෝට, මතිස්ට සහ බ්‍රාක් වැන්නවුන්ට අයිතියි.. ඉන්දියාව අයිති මට පමණය” – අම්රිතා ෂෙර් ගිල්

ඔවුන් දෙදෙනාම පැරිසියේ විප්ලවීය කලා ව්‍යාපරයට දායක වූ‍වෝ වන අතර තම දේශීය කලාව තුළ පරිවර්තනීය වෙනසක් කිරීමට ඔවුහු දෙදෙනාම වැදගත් භුමිකාවන් දැරූහ.

1939 වසරේදී ‘The Frame’ නම් ෆ්‍රීඩා ගේ චිත්‍රයක් ලූව්ර කලාගාරය විසින්  මිලදී ගන්නා ලදි. විසිවැනි ශතවර්ශයේ ලූව්ර කලාගාරය විසින් මෙක්සිකානු චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍රයක් මිලදී ගත් ප්‍රථම වතාව එය විය.

අම්රිතා ගේ ‘Young Girls’ නම් චිත්‍ර නිර්මාණය විසින් ඇයට  පැරිසියේ ග්‍රොං සැලොං කලාගාරයේ හවුල්කාරියක බවට පත් වීමේ මඟ පෑදුවේ, එම  මහඟු අවස්ථාව ලබාගත් ලාබාලතම සහ ප්‍රථම ආසියානු කලාකාරිය බවට ඇයව පත්කරමිනි.

පැහැදිලි හේතු විරහිත ඔවුන්ගේ මරණ

ෆ්‍රීඩාගේ මරණය පිළිබඳ දැක්වූ නිල හේතුව,  නිව්මෝනියා තත්වය නිසා පෙනහලු තුළ ඇතිවුණු ආබාධයක් ලෙස දැක්වුවද, සමහර දෙනා සැක පහළ කලේ ඇය වේදනා නාශක නියමිත මාත්‍රවට වඩා වැඩි ප්‍රමාණයක් ගැනීම නිසා මරණය සිදුවු බවත්,එසේම එය හදිසි මරණයක් නොවන බවත්ය.

අම්රිතා ෂෙර් ගිල් ද තදබල ලෙස රෝගාතුර වී කෝමා තත්වයට පත් වී හදිසියේම මිය ගියාය. ඇය‍ගේ මරණයට සැබෑ හේතුව එතරම් නිශ්චිත නැත. අසාර්ථක ගබ්සා වීමක් ඇයගේ මරණයට හේතු වූ බව පැවසේ. ඇයගේ මව අම්රිතාගේ වෙද්‍ය සැමියා ඇයව ඝාතනය කළ බවට චෝදනාවක් ද නැඟුවාය.

මෙම පුරෝගාමී කාලාකාරියන් දෙදෙනා ඔවුන් ජිවත්වූ යුගවල ස්ත්‍රීවාදයේ සංකේත බවට පත් වූහ.

ඔවුන්ගේ චිත්‍ර නිර්මාණවලට පාදක වූ වස්තු විෂයන් ඉතාමත් ව්‍යක්ත ලෙස, කාන්තාවක් වීමේ සැබෑ සාරයත්, සුන්දරත්වයත් ජිවයත් ‍මොනවට පිළිඹිබු වුයේය.

සුභාෂීණි චතුරිකා

මූලාශ්‍රය – https://myartpoint.com/2018/10/15/frida-kahlo-and-amrita-shergil-two-peas-in-a-pod/

Social Sharing
නවතම විශේෂාංග