ස්විස් බැංකුවේ රහස් හිමිකරුවන් හෙළි වේ.

ලොව විශාලතම පුද්ගලික බැංකුවක් වන ‘ක්‍රෙඩිට් ස්විස්’ වෙතින් සිඳුවූ දැවැන්ත මඟහැරීමකින් පවුම් බිලියන 80ක වත්කම් ඇති රහස් ගිණුම් හිමියන් හෙළි වී තිබේ. ඒ අතර ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුගේ ද නම් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම රහස් හිමිකරුවන් ලයිස්තුවේ ලොව පුරා සිටින ‘ක්‍රෙඩිට් ස්විස්’ ගණුදෙනුකරුවන් 30,000කගේ තොරතුරු අඩංගු වී ඇත. නීති විරෝධී අරමුදල් තුරන් කිරීමට ‘ක්‍රෙඩිට් ස්විස්’ බැංකුව දශක ගණනක් තිස්සේ පොරොන්දු වුවද ඔවුන් එය මඟහැරියේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසීමේදී ‘ක්‍රෙඩිට් ස්විස්’ බැංකුව පවසා සිටියේ ස්විට්සර්ලන්තයේ බැංකුකරණය සහ මූල්‍යමය සම්බන්ධයෙන් තිබෙන නීතිරීති නිසා මේ පිළිබඳව ඔවුන්ට කිසිවක් ඉදිරිපත් කිරීමට නොහැකි බවත් එම ලයිස්තුවේ ඇති ගිණුම් වර්ථමානයේ භාවිතා නොකරන බවත් ය.

බැංකුවේ වාර්ථාවන්ට අනුව මෙහි සමහර ගිණුම් 1940 දශකයේ ආරම්භ කළ ඒවා වන අතර බහුතරයක් ගිණුම් 2000 වර්ෂයෙන් පසුව විවෘත කර ඇත. මෙම දත්තයන්ට අනුව වතිකානුවේ සුප්‍රසිද්ධ කාදිනල්වරයෙකු සතු  එක් ගිණුමක් ලන්ඩනයේ දේපළ වංචාවක් සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු හෙළිව තිබේ. එසේම ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු, ඊජිප්ත්තුවේ ප්‍රබල හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනෙක්, මෙන්ම ඉස්ලාමීය අන්තවාදයට ඔත්තු සපයන පකිස්ථානයේ බුද්ධි නිළධාරියෙකුගේ පුතුන් ද මෙම රහස් ගිණුම්කරුවන්ගේ ලයිස්තුවේ ඉහළින්ම ඇත.

මීට අමතරව මෙම වසරේ දී ‘ක්‍රෙඩිට් ස්විස්’ බැංකුව බල්ගේරියානු කොකේන් වෙළඳාම සඳහා මුදල් විශුද්ධිකරණයට උදව් කිරීම යන චෝදනාවට ලක්ව සිටින බව මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

ස්විට්සර්ලන්තය ලෝකයේ රසම චොකලට්, වටිනාම ඔරලෝසුවලට මෙන්ම රහසිඟත බැංකුකරණයට ද ප්‍රසිද්ධ බවක් උසුලන රටකි. මෙම රහසිඟත බැංකුකරණයේ හදවත ‘ක්‍රෙඩිට් ස්විස්’ බැංකුව වන අතර එය වසර 166ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. එසේම ලොව ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන වලින් ද එකක් වේ. සේවකයින් 50,000කට අධික සංඛ්‍යාවක් මෙහි සේවය කරන අතර මිලියන 1.5ක ගණුදෙනුකරුවන් සහ ස්විස් ෆ්‍රෑන්ක් ට්‍රිලියන 1.5ක වත්කම් මෙම ආයතනය සතුය.

ස්විට්සර්ලන්ත බැංකු තුළ වැඩි වශයෙන් ඇත්තේ විදේශික ගිණුම් නිසා මෙසේ රහස් ගිණුම් හිමිකරුවන් හෙළිවීම එරට සියළු මූල්‍ය ආයතන වලට බලපාන බවත් ස්විට්සර්ලන්තය මූල්‍ය අර්බුදයකට අත වනන බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙයි. තව ද ස්විට්සර්ලන්තයේ බැංකුකරණ සහ මූල්‍යමය නීති මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් කොල්ලකෑමට පහසු බව ද එම ආර්ථික විශේෂඥයෝ අවධාරණය කළහ.

බදු පැහැර හැරීම්, රාජ්‍ය මුදල් අවභාවිතාව හා මුදල් විශුද්ධිකරණය යන ක්‍රියාවන්ට තෝතැන්නක් බවට ප්‍රසිද්ධ ස්විට්සර්ලන්තය මෑත කාලයේ දී එම ප්‍රතිරූපය ඉවත් කිරීමට උත්සහ දරා තිබුන ද මෙම සිඳුවීම සමඟ එරට නැවතත් විවේචනයන්ට බඳුන් වනවා ඇත.

-හේෂානි කරුණාරත්න-

Social Sharing
නවතම විදෙස්