මමත් රට විරුවෙක්

ළමයින්ගේ ඉස්කෝලේ වැඩ කරන්න අනාගතය හදාගන්න තමයි රට ගියේ. ඒත් හිතපු තරම් දුරක් යන්න හම්බ වුණේ නැහැ. මම රට යනකොට අවුරුදු තිස් හයක්. මම ගියේ අබුඩාබි වලට. එහෙ එකම ගෙදර අවුරුදු අටක් හිටියා. අන්තිම පාර තමයි අවුරුදු තුනයි මාස හතරක් තියාගෙන පුතාට අසනීප හින්දා බොහොම අමාරුවෙන් කියලා ආවේ. බොහොම දුකයි. ළමයි දාලා ගිහිල්ලා මාස පහ හයක් යනකම් කන්න හිතෙන්නේ නැහැ. ළමයි දාලා අම්මා කෙනෙක් රට යනවා කියන එක හරිම දුකයි. දරාගන්න බැහැ. මට තිබුණා ළමයි තුන්දෙනෙක් බලාගන්න. ගෙවල් අස් කරන්න, රෙදි හෝදන්න, රෙදි මදින්න ඒ ටික තමයි මට තිබ්බේ. උයන්න නම් තිබ්බේ නැහැ. මම මෙහේ ප්‍රොඩක්ෂන් සුපවයිසර් කෙනෙක් විදිහට වැඩ කරා. ඒක වැහුනා. ඊට පස්සේ තමයි රට යන තීරණය කළේ. මෙහේ රස්සාව ගොඩක් හොඳයි. ඒක ගොඩක් වෙනස්. මෙහෙ රස්සාව කරගෙන ළමයි බලාගෙන ඉන්න එක ගොඩක් සතුටුයි. එහෙ ගියාම ඉතින් කාත් කවුරුත් නැහැ. ලෙඩක් උනත් අපිට නිදාගන්න බැහැ. මෙහෙනම් අපි ලීව් එකක් දැම්මා, ගෙදර හිටියා, නිදාගත්තා. එහෙ එහෙම බෑ. වැඩ කරන්න ඕනේ. එයාලා කැමති නෑ හැම වෙලාවෙම ලෙඩ ලෙඩ කියනවට. ළමයි ඉන්න ගෙවල්වල අය නම් කොහොමත් කැමති නෑ.

අපේ කරුමය

මම ඩිරාම් 950 ට ගියේ. 28,000 ක් වගේ තමයි හම්බුනේ. මෙහේ මම ගත්ත තිස් පන්දාහක් හතළිස් දාහක් වගේ. ඕටී තියෙන කොට පඩි වැඩී. මෙහෙ ඕටී නැහැ. උදේ ඉඳලා රෑ 12:00 විතර වෙනකම් අපි වැඩ කරන්න ඕනේ. මුළු මාසයම උනත් වැඩ කරන්න ඕන. ඒක හරි දුකක් ඉතිං. මෙච්චර ලංකාවෙ පඩියක් අරගෙන අද මෙහෙ ගිහිල්ලා මේ පඩියක් ගන්න එක ඉතිං අපේ කරුමයක් තමයි. උදේ ළමයි ඉස්කෝලේ යන්න ලෑස්ති කරන්න ඕනේ. උදේ හතරහමාර වෙනකොට ළමයි ඉන්න තැන් වලට යන්න ඕන ඒ ළමයි ලෑස්ති කරන්න. ළමයි ඉස්කෝලේට දාන්න ඕනේ. ඊට පස්සේ ගෙවල්වලට ඇවිත් ගෙවල් අස් කරලා ඉවර කරන්න ඕන. ඊට පස්සේ තමයි අපි එයාලත් එක්ක එයාලගේ වැඩ කරගෙන ඉන්න ඕනේ. ඒ ළමයි නිදාගන්නේ කීයටද ඒවා කරලා රෑ 11ටද 12ටද ඊට පස්සේ තමයි අපේ කාමරවලට අපිට යන්න පුළුවන් වෙන්නේ. අපිට ලෙඩක් දුකක් හැදුණත් අපිට ඕන විදිහට සතියක් දවසක් දෙකක් වත් එහෙම නිදාගෙන ඉන්න දීල නෑ. දෙන්නෙත් නැහැ. ගොඩක් ළමයි බලා ගන්න තැන්වල නිවාඩු ලැබෙන්නේ නැහැ. රණ්ඩු කරලා තමයි එන්නේ. කොයි ගෙදර හිටියත් අන්තිමට රණ්ඩු කරලා තමයි එන්න වෙන්නේ. එන්න දෙන්නේ නැහැ.

ඒජන්සියෙන් දැම්මට පස්සේ එයාලා කෝල් ආන්සර් කරන්නේ නැහැ. ඒ ගොල්ල බලන්නේ නැහැ. එයාලා කියලා යවන්නේ ගෙදරකට මාස හතක් එනකන් කාගෙන ඉන්න කියලා. ඊට පස්සේ ඕන එකක් කියලා. එයාලගේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඊට වඩා හොඳයි අපි ගෙදර ඉන්න එක. මගේ අත්දැකීමක් කියන්නම්. මම එහෙ ඉන්නකොට ලංකාවෙ කෙනෙක් ගෙනාවා මම ඉන්න ගෙදරට. මම දන්නවා ඒජන්සියට ඒ ගෙදරින් ඩිරාම් දාසයදාහක් දුන්නා. ඩිරාම් එකක් රුපියල් පනස් තුනයි, ඒක වැඩි කරල බලන්නකෝ කොච්චර ගානක් ද කියලා. ඒජන්සියට හම්බවෙන සල්ලි වලින් ඒ නංගිට දීලා තිබ්බ ලක්ෂ දෙකක් විතරයි. ඩිරාම් අඩුකරලා කියලා තමයි ඒජන්සිකාරයෝ කියන්නේ ඒත් ඩිරාම් දැන් වැඩි කරලා. දීලා ගන්න ගාන වැඩි වුණා. ඉස්සර අපි වගේ ගන්නකොට 13000ක්. දැන් දාසයදාහක් ගන්නවා. දැන් ඩිරාම් ගණන් ගිහිල්ලා. ඒත් එයාට දීලා තියෙන ලක්ෂ දෙකයි. අපි කලින් එන්න හැදුවොත් මැඩම් කියනවා ඒයාලගේ සල්ලි දෙන්න කියලා. අපි සල්ලි දීලා ගත්තේ අපිට සල්ලි දෙන්න කියලා. අපි අසරණයි ගියාට පස්සේ. අපිව අරින්නෙ නැහැ සල්ලි දෙනකම්. අපිට දෙන්න සල්ලි නැහැ.

ඉංග්‍රීසි ගෙවල්වල වැඩ අඩුයි

ඉංග්‍රීසි ගෙදරකට ගියොත් එයාලගේ වැඩ අඩුයි. අරාබි ගෙවල්වල වැඩ ගොඩක් තියෙනවා. නෝම්බි මාසයේ වුණත් හැම වෙලාවෙම එයාලට කන්න තේ හදන්න, වැඩ ඉවරයක් නැහැ. වැඩ පටන් ගන්න වැඩ ඉවර වෙන වෙලාවක් නෑ. ට්‍රේනින් කරන්නේ එහේ ගිහිල්ලා අපි ඉන්න ඕන විදිහ, සමහරවිට බාබා කෙනෙක් කරදර කරන්න ආවොත් අපි ඒකට මොකද්ද කරන්න ඕන, කෑම හදන විදිය ගැන, ළමයි බලාගන්න විදිය ගැන ඒ හැමදේම ගැන කියලා දෙනවා.

හැම බාබාම එක වගේ නැහැ. සමහර අයට කරදර වෙලා තියෙනවා. එතකොට ගෙදරින් පනිනවා. එක නංගි කෙනෙක්ට කරදර කරලා. එයා කරලා තියෙන්නෙ මැඩම්ගේ අබායක් ඇදගෙන මූණ වහගෙන ආව අපේ පාරේ. අපට කතා කරලා කිව්වා එම්බසියට යන්නේ කොහොමද කියලා. ඉතින් අපි එම්බසියට යන හැටි කිව්වා. ඊට පස්සේ මොනවා වුණාද කියලා දන්නේ නෑ. එම්බසියට තමා ඉතින් යන්න ඕන. ඒජන්සියට ගියා කියලා කිසිම වැඩක් නැහැ.

අපිට මොන සැලකිලිද?

කොච්චර විදේශ විනිමය යැව්ව උනත් අපි ඉන්න හැටි පේනවා නේද. අපිට කියලා හදිස්සියි එකට ලෝන් එකක් ගන්න බැහැ මොනවත් නෑ නේ. අවුරුදු 8 ක් මම හම්බ කරා. මට අන්තිම අවුරුද්දේ පඩිය 87000ක්. ඒ ඔක්කොම වෙස්ටර්න් යූනියන් හරහා ලංකාවට එව්වේ. එනකොට එක මාසෙක පඩිය අරන් ආවේ. ඒත් අපිට දෙයක් නම් වෙලා නෑ. අපිට හරිනම් ලෝන් එකක් දීලා අපි ඉන්න තැන හදාගන්න ඒ වගේ උදව් කරන්න ඕනේ.

මේ රස්සාවෙන් ජීවිතය දිනන අයත් සමහරවිට ඇති. මටනම් දිනිල්ලක් නෑ. මමත් ඇත්තටම රට ගියා. මගේ දුවත් හොඳට විභාගේ පාස් උනා. මට ඕනෑවුණේ එයාව ටීචර් කෙනෙක් වෙනවා බලන්න. ඒත් ඒ සේරම වතුරේ ගියා. පුතත් වෙනස් වුණා. පුතා ඒලෙවල් කරන්න ගිහින් තිබ්බෙ නෑ. අනිත් පුතත් එහෙමයි. මට නම් රට ගියා කියලා කිසිම සෙතක් වුණේ නෑ. මගේ පවුලම ඉතින් නන්නත්තාර වුණා වගේ තමයි. රට යනකොට මම මීටවඩා හොඳ තත්ත්වයක හිටියා හැම අතින්ම.

Social Sharing
නවතම විශේෂාංග