බඩුමිල අහසට, නත්තල කොට උඩ, මැති ඇමති පිටරට

එළවළු, සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල එලබෙන නත්තල් සමයත් සමග රොකට් වේගයෙන් ඉහළ යමින් තිබෙන බව වෙළඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මේ වනවිට අමු මිරිස්, මාළු මිරිස්, සලාද කොළ, කැරට්, ලීක්ස්, ආදී බොහෝ උඩරට එළවළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 1000 සීමාවට ළඟාවී හෝ ඉක්මවා ඇත.  පතෝල, වැටකොළු, වැනි පහතරට එළවළු වර්ගද රුපියල් 500ත් රුපියල් 800ත් අතර සීමාවකට පැමිණ ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ අසාර්ථක කාබනික ගොවිතැන් ව්‍යාපෘතිය මෙම මිල ඉහළ යෑමට එක හේතුවක් බව දැනගන්නට ලැබේ. ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ රටතුළ විශාල වශයෙන් මුදල් නෝට්ටු මුද්‍රනය කිරීම සහ වර්තමාන ඩොලර් අර්බූදයද මෙම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑමට බලපා ඇති බවය.

මෙම තත්ත්වය තුළ එලබෙන ජනවාරි මාසයේදී උද්දමනය තව තවත් ඉහළ යනු ඇතයි ද ඩොලර් අර්බූදය තවතවත් උත්සන්න වෙනු ඇතැයි ද ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවයි.

රට මෙලෙස දැවැන්ත ආර්ථික සහ ආහාර අර්බූදයක ගිලී තිබෙන පසුබිමේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම නිසා ආණ්ඩුවේ මැති ඇමතිවරු විශාල සංඛ්‍යාවක් එලබෙන උත්සව සමය විදේශයන්හි ගතකිරීමට සැළසුම් සකස් කර ඇතැයි ද ඒ අනුව ඔවුන් රටින් පිටවෙමින් ඇතැයිද වාර්තා වෙයි.

Social Sharing
නවතම