අනුන්ගේ කුණු ඇද්දට අපිත් මිනිස්සු – කුරුණෑගල විල්ගොඩ දෙමළ සෞඛ්‍ය කම්කරුවෝ කියති.

Kurunegala Wilgoda Tamil Health Workers

ස්වර්ණ පුරවර දිනු බිමක ලැයිමේ මිනිස්සු

නිලනිවාස පේලියක නිවෙසක්

දිවයිනේ හොදම මහ නගර සභාව ලෙස වාර කිහිපයක් පිට පිට ස්වර්ණ පුරවර සම්මාන දිනූ කුරුණෑගල මහනගර සභාවේ සෞඛ්‍ය විල්ගොඩ කම්කරු ගම්මානය ‘ලැයිම ලෙස වහරේ වේ.එය ගංවතුර, වැසිකිළි ප්‍රශ්න, නිල නිවාස ඇතුළත වර්ෂාවෙන් තෙමීම ආදී නේක ප්‍රශ්න හා සමාජ ප්‍රශ්නවලින් ගොහොරුවකි. කැතකුණු ඇද නගර ලස්සන කරන,එහෙත් තමන්ගේ දිවිය මිහිපිට අපායක ගෙවන, පුරවැසියන් ලෙස සිටියත් සැමදා වෙනස්කමේ ගොදුරක් වන ඔවුන්ගේ කතා තියුණුය. සංවේදීය.මේ ඔවුන්ගේ කතාවයි.

කුණුකාණුවල වැටී දෑත් දෙපා වණ වූ කුඩා දරුවෝ

Kurunegala Wilgoda Tamil Health Workers Kurunegala Wilgoda Tamil Health Workers

ගමමැද පිහිටි පිට්ටනියේ මෙකල ඈත ගම්දනව්වකවත් දැකිය නොහැකි දුලබ දසුනකි. මාර්ගගත පන්ති නිසා පාසල් දරුවන් අතට පත් ‘ජංගමබනු මාරයා‘ නිසා වෙනදා පිටියේ සෙල්ලමට හිතැති කොල්ලන්,කෙල්ලන් දැන් ඒවා ඔබ ඔබා ‘සෙල්ලම්‘ ගසමින් සිටින සමයක; මේ ගමේ කොලුකුරුට්ටෝ 20ක් 30ක් පමණ ක්‍රිකට් තලති.

පිට්ටනිය වටා කාණු ඇත්තේය.ඒ කාණුවක් අඩි දෙකතුනකට වඩා ගැඹුරුය. ඒවායේ ගලා යන්නේ පිරිසිදුවතුර නොව කළුපැහැති අපජලයයි.එයට බෝලය වැටුණු විට වැඩිමහලු කොල්ලන් කාණුවේ ඉවුරුවල දෑතින් එල්ලි පාදවලින් බෝලය ගනී. පොඩ්ඩෝ කාණුවට පැන  එය අහුලති.  ඇතැමුන් බෝලය අල්ලාගෙන දුවන අතර කාණුවලට වැටේ. වයස් භේදයක් නැතිව ඇතැමුන්ගේ ගතේබොහෝ තුවාලය. පාදවලින් බෝලය ගන්නා වැඩිමහල් දරුවන්ගේ පාදවල  හා කුඩා පිරිමි ළමුන්ගේ අත්වල හොරිය.

 දරුවන්ගේ තත්ත්වය

Kurunegala Wilgoda Tamil Health Workers
පී.මනුජන්

‘‘අපි සෙල්ලම් කරන්නේ කැඩිච්ච බඩුවලින්.ස්කොලෙදිත් මෙහෙදිත් ක්‍රීඩා තරගවලින් දිනල තියෙනවා.ඒ හින්දා මෙ අපේ පිට්ටනිය පස්දාලා උස්සලා කාණුවටේට ස්ලැබ් එකක් හරි දැලක් හරි දාලා කාණුවහලා දානවනම් හොදයි’’  දරුවන් අතර සිටි ප්‍රවීන්,පී.මනුජන්,ශාරුකේස් අය අපට කියූ දෑය.

දේවාලේ සමිතියේ සභාපති වන රාමසාමි බාලක්‍රිෂ්ණන් මහතා

Kurunegala Wilgoda Tamil Health Workers 1983 දි රැකව නගරාධිපතිතුමා මේ ගමේ අයට නිලනිවාස මේ 48ක් හැදුවා. ඒත් ඊළගට ආව කෙනා එවා ගමෙන් පිට සල්ලිකාර අයට දුන්නා. අපේ ගමේ පවුල් 02කට විතරයි ලැබුනේ. ගෙවල් 112,පවුල් 183ක මිනිස්සු 1002ක් ඉන්නවා. ඒ සේරටම පුද්ගලික වැසිකිළි 10ක් පොදු 20ක් හා තියෙනවා.  පවුල් 05කට එකක් වගේ වෙන් කරලා යතුරු දීලා තියෙන්නේ.

මේ බෝක්කුව නිසා අපිව අවුරුද්දකට තුන්හතරපාරක්වත් ගංවතුර දාලා යට වෙනවා. අගමැතිතුමාගේ දිස්ත්‍රික් කාර්යාලය පෙනි පෙනී අපි ඉන්නේ. ඒකට යන හැම ඇමතිවරයෙක්ම,මන්ත්‍රිකෙනෙක්ම දකිනවා. ඒත් ඡන්ද කාලෙට නොඑන කෙනෙක් නැහැ. තෙමෙන කාලෙට එකෙක් එන්නේ නැහැ. මේකේ ඉන්නේ ඉස්සර කක්කා බකට් එක ඔලුවේ තියාගන ගිය මිනිස්සු තමයි. ඒවා අතගාලා තමයි මින්ස්සු බොන්න පුරුදුවුනේ.එදා ඉදන් අපිව අහකට දාලා ඉන්නේ.  එක කොඩියේ පාටතීරූවලට බෙදලා වගේ අපිටත් බෙදද්දින් පොඩිවට තමයි බෙදෙන්නෙ.

නගර සභාවේ වැඩ කරන්නේත් මනුස්සයෝ.ඒ මනුස්සයන්ව ආරක්ෂා කරන්න ඕන නගර සභාවනේ. ඒත් නගර සභාව කිසිම දෙයක් දෙන්නේ නැහැ.මෑතක ලොක්ඩවුන්කරල තියෙද්දි මං වැවරවුමට ගියා. නගරසභාවේ අය 100ක් විතර එක රොත්තට දාලා තෙමි තෙමි වැඩ. වැහිකෝට් එකක්වත් නැහැ. මං එතන හිටි නිලධාරියෙක්ගෙන් ඇහුවා අපි ලැයිමේ නිසාද එහෙම කරන්නේ කියලා. මටත් බැන්නා. ඒ මාසේ අන්තිමට ඒ අයගෙන් 90ක් විතර ලෙඩ වෙලා අරන් ගියා.

සෞඛ්‍ය කම්කරුවෝ තම දිවි අසීරුතා විස්තරයේදි මැලිකමක් දැක්වූහ. ඒ සිය කසල පවිත්‍රතා රැකියාව අහිමි වේයැයි බියෙනි. එනිසා ඔවුන්ව මින් ඉදිරියට අන්වර්ත නම් වලින් හදුන්වමු.

කළ්‍යාණි සුබ්‍රමනියම්

‘‘අතුගගා ඉද්දි හරි ඉවර කරලා ඉද්දි හරි ලස්සන වාහන නවත්තලා ලස්සනට ඇදපු නෝනා මහත්තුරු කුණු බෑග් පිටින් කරත්තේට විසිකරල යනවා. නැත්තන් පාරෙ අයිනෙන් දාලා යනවා.අපි දවසක් වැඩ නොකර හිටියොත් ටවුමම ගද ගහයි. ඒත් අපි ගද ගගහ ජීවත් වෙන හැටි බලන්න කවුරුවත් එන්නේ නැහැ. ඡන්ද කාලෙට නම් අපිට දිව්‍යලෝකේ පෙන්නල එයාල අපිව අපායට දාලා එයාලා සුරසැප විදිනවා. මේ පාර ඡන්දෙට ආවොත් ගෙදර ඡන්ද හය රුපියල් 10,000 ගානේ විකුණනවා.

සුරේන්ද්‍රන් රත්නසාමි

‘‘නිල නිවාසවල ඉන්න බැහැ. වැහි කාලෙට තෙමෙනවා. අපි ඉන්න ගෙවල් පේළියේ නිලනිවාස 07ක් තියෙනවා. ඒ හැම එකේම වහලේ පරාල දිරලා,උළු කැඩිලා. හයියෙන් හුළං ගැහුවොත් උළුකැට හුලගේ යනවා.ටවුමෙන් ගේන බැනර්,කටවුට්,මළගෙවල්වල බැනර් තමයි වහලෙට දාලා තියෙන්නේ. අනුන්ගේ කුණු ඇද්දට අපිත් මනුස්සයෝ. ඒත් අපට හැමදාම වෙනස්කම්. අපි ඉන්නේ හැමදාම තෙමී තෙමී නැත්තන් ගං වතුරට යට වෙවි. අවුරුදු 20/30ක් කුණු ඇද්දත් පවුලේ කෙනෙක් බැදුනේ නැත්නම් මේ ගෙවල්වලින් යන්න ඕනා. එතකොට මහපාරේ හෝ අනවසර කෑල්ලේ තමයි අවසාන කාලේ ඉන්න වෙන්නේ.අනවසර කීවට ඉතින් ලයිට්බිල්,වතුරබිල් සේරම තියෙනවා’’

එම්.සුගන්ධිකා

‘‘වැසිකිළිය කැඩිලා අවුරුදු3/4ක් විතර ඇති. මාස ගාණක් උතුරලා ජරාව ගේ ගාවින් මිදුල දිගේ ගලන් ගියා. අබලන් වෙලා තිබ්බ නිසා අපි වැසිකිළිය කඩලා දැම්මා. දැන් අපිට ටොයිලට් එකක් නැහැ අවුරුදු තුනක් විතර. ලැයිමෙන් එහා කැලේ පැත්තට හරි බෝක්කුව ගාවට හරි යන්නේ. නගරසභාවට ලියුම් දුන්නා. ඇවිත් බලල ගියා. මේවා වුනත් වැස්සට තෙමෙනවා.කුස්සියේ මේ දවස්වල උයන්න බැහැ.වතුර වැක්කෙරෙනවා. අපිට කොරෝනා හැදුනම හොදට සැළකුවා. කන්න බොන්න දුන්නා.ඒත් අපේ පඩියෙන් කපපු කොටස්ටික තාම නැහැ’’

එම්. අරුණාචලම්

‘‘නගරේ ටොයිලට් එකක් කැඩුනම අපේ අය හදල සුද්ද කරනවා. ඒත් ගමේ එකක් කැඩුනම අපට හදාගන්න සල්ලි නැහැ. පිට සංවිධානයක් රුපියල් ලක්ෂ04ක් දීලා ටොයිලට්20ක්,නළ ළිදක් හැදුවා. ටොයිලට් එක හදපු කාලේ ඉදන් ගලිය එන්නෙත් නැහැ.ඒක මළ අපවහන එකට සම්බන්ධ කරලා නැති නිසා උතුරන කාලෙට ගෙවල් ඉස්සරහින් මළපහ ගලන් යනවා.ඒනිසා අපි බටයක් දැම්මා.

 රූබන් සුබ්‍රමනියම් හෙළිකළේ මල්වර දැරියන් ගැන බෙහෙවින් සංවේදි කතාවකි.

ගෑනු දරුවෙක් වැඩිවියට පත්වුණාම නාවනකම් පිරිමින්ට නොපෙනෙන්න දවස්කීපයක් තියන්න ,නාවලා උත්සවය ගන්නකම් මාසයක් හමාරක් වෙන් කරන්න ඉඩ නැහැ. ස්තෝප්පුවයි, කාමරයයි,කුස්සියයි නිලනිවාසවල තියෙන්නේ. ස්තෝප්පුවෙත්,සාලෙත් බෙදල වෙන්කරගන තමයි අපි පවුල් තුනහතරක් එක ගෙදර ජීවත්වෙන්නේ. එයාලව ටොයිලට් ගෙනියන්න රෑ වෙනකම් ඉන්නවා ඒ ගෙවල්වල අය.දවල්ට අරන් යන්න බැහැ පිරිමින්ට පේනවා. සමහර අයට මීටර සීයකට වඩා යන්න තියෙනවා ටොයිලට් එක ගාවට. ‘’

කුඩා කොටුවල මාසයක් සිටින මල්වර වූ දැරියෝ

එක් නිවසක අලුත මල්වර දසහැවිරිදි දැරියකි.කාමරයේ කැබිනෙට්ටුවක් පිටුපස ඇති මුල්ලක සාරියකින් වට කර තිබු තැනක බිම වැතිර සිටියාය.ස්නානයෙන් පසු සිටිය යුතු තැනද පොල්අතුවලින් සරසා තිබුණි.එය දෑත් දෙපසට කර සිටගත නොහැකි කරම් කුඩා තැනකි.එතන ඇය මාසයක් දෙකක් සිටිය යුතු අතර ඒ කාලයේදි කෑම බීම ළගට සැපයේ.පිටතට යෑම් ඊම් තහනම්ය.

මෙම නිවාසවල පවුල් දෙකතුන සිටි අතර වැඩිම පිරිස නිදාගන්නේ පෙරකියූ සාල කොටසේය.අලුත විවාහ වී නම් ස්තෝප්පු කොටසේත්,ඊට වැඩිනම් කුස්සිය තිබු කොටසේත් නිදති.රාජ්‍ය කිලධාරියකු කියු පරිදි  විවාහක පිරිස් ලිංගික කටයුතු කරනුයේ දරුවන් අතරට කාඩ්බෝඩ් හරස්කරගනිමිනි.

හැමදාම එයාලව කොන්කරනවා

Kurunegala Wilgoda Tamil Health Workers

සරසවි සිසුන් දෙදෙනෙක්ද,පීඨ සිසුන් තිදෙනෙක්ද,ගුරුවරියකද විල්ගොඩින් බිහිව ඇත. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂා උපදේශක; හින්දු දෙමළ විද්‍යාලයේ ආචාර්ය, මහනගර සභාවේ(එජාප) මන්ත්‍රිනි මුත්තයියා සෙල්වනායගි  මහත්මිය

 ‘‘මේ ගමේ උප්පැන්න සහතික නැති ,විවාහ සහතික නැති අය වගේම අවුරුදු 16න් ඉහළ ජාතික හැදුනුම්පත් නැති අය ඉන්නවා. පාසලෙන් හැදුනුම්පත හදද්දි උප්පැන්න නැති,මව්පියන් විවාහවෙලා නැති,මව්පිය උප්පැන්නත් නැති අය වගේම මරණ ලියාපදිංචි කර නැති ඒවත් තියෙනවා. නිලධාරින් ඒ ජනතාව දිහා බලන්නේ බඩුවලට පොරකන අය,සමාජයේ හැසිරෙන්න දන්නේ නැති,කම්කරුවෝ, කියා හැමදාම කියනවා වගේම අපිව කොන්කරන්න,පහත් කරලා කතාකරන්න බලන්නේ.’’

 ශීප්ට් එකට නිදාගන්නේ

Kurunegala Wilgoda Tamil Health Workers

ජනතා විමුක්ති පෙරමුණේ නාගරක මන්ත්‍රි රනුක සනංජය         

සමහර ගෙවල්වලට නිදාගන්න ඉඩ නැති නිසා ශිප්ට් විදියට ගෙවල්වල නිදනවා. කොටසක් රැට පැය කිපෙකට එළියට ඇවිත් නිදනවා. පස්සේ අනික් අය එළියට එනවා. වැසිකිළි පහසුකම් දුර්වලයි. ගමතුළ දුරාචාරත් සිදුවෙනවා. ඒවගේම තමයි ළිං ගෙම්බෝ වගේ හැමදාම වළ ඇතුළට දාන්නම හදන පිරිසකුත් ඉන්නවා. සුදුසුකම් ලැබුවත් නොයෙක් හේතු නිසා ඇතැම් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගන්නේ නැහැ.ගමට ළගම පාසලට ළමයි ගන්නේ නැහැ ඔප්පු ප්‍රශ්න කියලා.නිශ්ශංකයටයි, අස්සැද්දුමටයි, දෙමළ මහා විද්‍යාලයට විතරයි ගන්නේ.

විල්ගොඩ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක පදිංචි ක්‍රීඩා ගුරුවරයකු වන තරිදු පුංචිහේවා

‘ලැයිමේ ඉගෙනුමට,ක්‍රීඩාවට දක්ෂ දරුවෝ ඉන්නවා. තාත්තා ඉද්දි ඔවුන්ට නොමිලයේ අමතර පංති කළා.අධ්‍යාපන තත්ත්වයත් දියුණුවුණා. ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන්,ගුරුවරුන් ආවා. පන්ති ආව දරුවන්ට නොමිලයේ පොත්පෑන් දුන්නා.තාත්තා මියයෑමෙන් පස්සේ ඒක නතර වුණාත් මෑතකදි අයෙත් පටන් ගත්තා.’’

වඩා ඉහළ සමාජ පසුතලයන් එක්ක අයිතිවාසිකම් භුක්ති විදින්න දෙන්න ඕනි

බෞද්ධාලෝක පිරිවෙනේ අධ්‍යක්ෂක ගල්නෑවේ ධම්මරතන හිමි

විල්ගොඩ අයගේ නිවාස ප්‍රශ්නය ප්‍රභලයි.ගෝඨාභය මහතා ලේකම් කාලේ මුල්ගලක් තිබ්බා.තාමත් ඒක පැලවෙලා. ඔය මිනිස්සුන්ට ඔය සමාජ බ්ම් මට්ටම් පසුතලයේ නෙවේ ඉන්න දෙන්න ඕනි. ඔයිට වඩා ඉහළ සමාජ පසුතලයන් එක්ක අයිතිවාසිකම් භුක්ති විදින්න දෙන්න ඕනි. තාමත් වරදක් වෙන්නේ.ඒ මිනිස්සු අන්ත අසරණයි.ටොයිලට් නෑ සමහරුන්ට තිබ්බ ඒවා කැඩිලා.කැලේට යන්නේ. දේශපාලනඥයින්ට,බලධාරීන්ට කොච්චර කීවත් වැඩක් නැහැ.‍හරිම කණගාටුදායකයි ඔවුන්ගේ දුක්ඛ ජිවිතය.පාලකයන්ට සැලසුමක් තියෙන්න ඕනා මෙවැනි ජනතාව සම්බන්ධව එයාලා නැතිව නගරයක් දියුණු වෙන්නේ නැහැනේ.

එන්නත නොගත් අයත් ඉන්නවා.

Kurunegala Wilgoda Tamil Health Workers

මෙම ගම අයිති ඉලුප්පුගෙදර වසමේ ග්‍රාම නිලධාරී සම්පත් රස්නායක

 ‘‘විල්ගොඩ නිවාස 131ක මිනිස්සු 813ක්පදිංචියි.නිලනිවාස 60කුයි, සින්නක්කර නිවාස6ක්, අනවසර 38කුයි තියෙනවා. පවුල් 131ක් හා අනුපවුල් 40ක් පමණ තියෙනවා. නගර සභාවේ සේවකයින් සියයක් පමණ හා විදේශගත අය 06ක් ඉන්නවා.පාසල් යන වයසේ දරුවන් 30ක් පමණ,පාසල් නොයන දරුවෝ 30ක් පමණ සිටිනවා.මුස්ලිම්පවුල් තුනක් හා සිංහල බෞද්ධ පවුල්14ක්.අනික් අය හින්දු. ඉලුප්පුගෙදර වසමේ 20ට වැඩි එන්නත් නොගත් අය 90ක් පමණ ඉන්නවා. එයින් 20ක්  පමණ ඉන්නේ විල්ගොඩ.කොතරම් දැනුවත් කළත් ඔවුන් ඒ වගකීම ගන්නේ නෑ.’’

නිවාස 400ක තට්ටු නිවාස ව්‍යාපෘතියක් පටන්ගන්න ඉන්නේ

කුරුණෑගල නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න මහතා

‘‘නාගරික සංවර්ධන අධිකාරිය අපේ සෞඛ්‍ය කම්කරුවන්ට තට්ටු 14ක නිවාස 400ක තට්ටු නිවාසයක් හදනවා. එනිසා සමීක්ෂණයක් කළා.මෙහෙන් දෙන ගේ ගන්න සමහරු අනවසරව පදිංචිවෙලා ගෙවල් පිට තැන්වල හදලා කුලියට දුන් අයත්,මෙහේ ගෙවල් හදලා කුලියට දීලා වෙන දිහාවක පදිංචිව ඡන්ද නාමලේඛනයේ මෙහේ නම දාපු අයත් ඉන්නවා.

උප්පැන්න ප්‍රශ්න පුද්ගලික ෆයිල්වලින් ගොඩක් අනාවරණය වෙනවා. දරුවෝ අරන් හදාගත්තු අය,විවාහ නොවු අය,ද්විත්ව විවාහ, අයත් ඉන්නවා. සමහර අය සහතික ඉල්ලද්දි අපට හංගනවා. සමහර අය කූඨ ලේඛන හදල තියෙනවා.පෙන්ෂන් පරක්කු වන්නේ ඒ නිසයි. සමහර අය ස්ථිර කළාම සේවය අතැර ගිහින් ආයේ කාලෙකින් එනවා.එක් අයෙක් හත්වරක් සේවය හැර ගියා.ආයෙත් ඇවිත් ඉල්ලුවාත් මේ පාර දුන්නේ නැහැ. ඒවගේ අය පිටින් ටොයිලට් එකක් කඩන් වැටුනොත් එහෙම ඒවට15000ට20000ට යනවා අපේ වැඩට නෑවිත්.

එයාලා ඇහිල්ලක් බැලිල්ලක් නැතිව පිට අයට ඇප වෙනවා. එක පාර ලොකු ගාණක් අරන් අත්සන් කරනවා. පස්සේ කලෙක හිරේ වුනත් යනවා සල්ලි අරන් තියෙන නිසා. දවස් කීපයක් වැඩට නාවොත් හොයා බලද්දි ඉන්න අය බොරු කියනවා. සතියකට පස්සේ ආරංචි වෙනවා හිරේ කියලා.’’

අවම පහසුකම් මැද නගර ලස්සන කරති.

නගරවල වැදගත්ම කාර්යභාරය ඉටුකරන සෞඛ්‍ය කම්කරුවන් දිනක් දෙකක් වැඩ නොකර වර්ජනය කළොත් නගරය කුණු ගදින් වැසීයයි. නගරය සුන්දර කරන ලස්සනට නඩත්තු කරන ඔවුන්ගේ ජීවිත නගර තරම් සුන්දර නැත. නොසළකා හැර ඇත. පාරම්පරිකව රැකියා කරන්නන්ය. අත්නොහැර මේවා කිරිමම අගය කළ යුතුය.

වැහිකබා,බූට් සපත්තු,අත්වැසුම් සිහිනයන්යැයි කියති. බූට් සපත්තු පිරිමින්ට පමණි.කාණු අස්කරන කාන්තාවන්ට නැත. වැහිකබා බාල තත්ත්වයේ නිසා වැස්සෙන් ඇගම තෙත බරිත වන නිසා එය නැතිව සිටිම හොද බව කීහ.අත්වැසුම් දෙන්නේ එක්කෝ වසරකට ජෝඩුවක් දෙකක්ය.ඒවා වරක් දැමුව විට ඉරී යන,තත්ත්වයෙන් බාල යැයි කියති. අතුගාන ඉදල පවා වසරකට තුන හතරකට වඩා සපයා නොදෙයි. ඒවා අතුගාන්නියන් සිය  පුද්ගලික මුදලින් ගන්නා අතර මසකට 4ක් පමණ ගත් කාන්තාවන්ද අපට හමුවිය.ඉදලක් රුපියල් 180-200 අතර වේ. කානුවක් සුද්ද කරන විට එය මිටෙන් වෙන්ව යයි.

එවන් අසීරුතා මැද රැකියා කරන ඔවුන් මෙන්ම සපත්තු මසන,පොල් කඩන, ගෘහසේවයේ ආදි රැකියාවල යොදෙන ඔවුන් නිසා රටට,සමාජයට සිදුවන මෙහෙය ඉතා ඉහළය. එවන් මිනිසුන් නොදැනුවත්කම නිසා හෝ හිතාමතා බෙහෝ ප්‍රශ්නවල පැටලෙන බව බෙහෝ රාජය නිලධාරීන්ගේ කතාවලින් පසක් කෙරීනි.එවන් පිරිස් සිටින වසම්වලට එම දුක්ගැනවිලි වෙනුවෙන් නිලධාරියකු පත්කළහොත් වඩා යෝග්‍ය වනු ඇත.

සටහන හා සේයාරූ පුෂ්පා වීරසේකර

Social Sharing

Related posts