දයා පතිරණ ඝාතනය  සහ ඉන් අප උගත යුතු පාඩම්!

හරියටම මෙයට අවුරුදු 35 කට පෙර 1986 දෙසැම්බර් 15 දින  ව්‍යාජ  සාකච්ඡාවක් සංවිධානය කොට   කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ සහ ඔහුගේ  සමීප සහෝදරයෙක් සහ මිත්‍රයෙකු වූ සෝමසිරි පුංචිරාල  පැහැරගෙන  යනු ලැබිය. ඒ පැහැර ගෙන යාම කරනු ලැබූවේ රාජ්‍යට සම්බන්ධ ආරක්ෂක අංශ හෝ රහස් පොලිසිය නොවේ. ජවිපෙට සම්බන්ධ සන්නද්ධ කල්ලියක් විසිනි.

ලංකාවේ ප්‍රචණ්ඩ දේශපාලන ඉතිහාසයේ කළු ලකුණක් සටහන් කල මේ ක්‍රියාව පෙන්නුම් කලේ ඔබ යම්කිසි වාමාංශික දේශපාලන මතයක් දරන්නේ නම් ඔබ ප්‍රවේසම් සහගත විය යුත්තේ ධනපති රාජ්‍ය තන්ත්‍රයෙන්  සහ ඔවුන්ගේ නියෝජිතයන් ගෙන් පමණක් නොවේ. ඔබව පැහැර  ගන්නවුන්  සහ ඝාතකයන් වාමාංශික ශ්‍රේණි තුළම විමුක්තිකාමීන් ලෙස පෙනී සිටීමයි. එවකට මෙය දැන නොසිටි පතිරණ සිය ජිවිතයෙන් වන්දි ගෙවා දැමූ අතර සෝමසිරි අනුනවයෙන්  නොමැරී බේරුනි.

Assassination of Daya Pathirana
කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ

ඔවුන් දෙදෙනාම පිළියන්දල වන ලහැබක් අසලට ගෙන ගොස්,  දයා පතිරණ ගේ  බෙල්ල මොට්ට ආයුධයකින් කපා ඉතාමත් කුරිරු ලෙස වධ දී ඝාතනය කරනු ලැබිය. ඔහුගේ ඇඳුම් ගලවා ඔහු අඩ  නිරුවත් කොට තිබුණි. බොහෝ වෙලාවක් වධ දෙමින් බෙල්ල  හෙමිහිට කපමින් ඔහුගෙන් විකල්ප කණ්ඩායමේ සාමාජිකයන් සැඟවී සිටින තැන් දැන ගැනීමට උත්සාහ කොට තිබුණි. විකල්ප කණ්ඩායමේ නායකයන් සිටි තැන් දයා පතිරණ දැන  නොසිටියාද අප සමබන්ධ කම් පැවැත්වූ  ස්වාධීන  ශිෂ්‍ය සංගමයේ සහෝදරවරු කවුරුන්දැයි  දයා පතිරණ හොඳින් දැන  සිටියේය. නමුත් ඔහු ඒ කිසිවක් හෙළි නොකිරීමට තරම් ධෛරීය සම්පන්න විය. සාමාන්‍යයෙන් යමෙකුගේ ආත්ම අභිමානය බින්දුවට බැස්සවීමට ආණ්ඩුවේ රහස් පොලිසිය ඕනෑම දේශපාලන ක්‍රියාකාරකයෙකු අත්  අඩංගුවට ගත්විට නිරුවත් කරනු ලබයි. එය ඔවුන්ට තොරතුරු ගැනීම පහසු  කරන උපක්‍රමයකි. දයා පතිරණද එම ක්‍රියාවලියට ජවිපෙ සන්නද්ධ කල්ලිය විසින් භාජනය කරනු ලැබිය.

ගැඹුරු මානව දයාවකින් පිරි විප්ලවාදී යයි කියාගන්නා සංවිධායක සාමාජිකයන් එතරම කුරිරු ලෙස වාමාන්ශික තරුණ ශිෂ්‍යයෙකු මර දැමීමට තරම් දුෂ්ට වුයේ කෙසේද? ඇත්තටම ඔවුන් පිළිගන්නා ලද දෘෂ්ටිවාදය අනුව දයා පතිරණ ද්‍රෝහියෙකි. මේ දෘෂ්ටිවාදය ට නැඹුරුවන අන්තවාදය අනුව ඔවුන් කරන්නේ විප්ලවාදී යුතුකමකි. මෙනිසා වෙනස් අදහස් දරන වාමාංශිකයෙකු මර දැමීම ඉතාමත් ලෙහෙසි කරුණකි. ඒ සඳහා බලපානු ලැබූ අනෙක් කරණය වන්නේ තමන් පමණක් නිවැරදිය කියන විශ්වාසය ඇති ඕනෑම විපල්වාදී සංවිධානයක් සර්වාධිකාරී දේශපාලන ගමනකට මුල පුරයි.

ඔවුන් බලයට පැමිණීමෙන් පසුව විකල්ප අදහස් දරන සියලු දෙනාම එක්කෝ ‘ගුලග්’ වල හිර කරනු ලබයි. නැත්නම් ඔවුන් ඝාතනයට ලක් කරයි. කොටි සංවිධානයට  එවැනි ව්‍යුහයන් සතු විය. අනෙක් සන්නද්ධ කල්ලි විනාශ  කරමින් ඔවුන් සර්වාධිකාරී දේශපාලන ගමනක් ඇරඹිය. අනෙක් සංවිධානවල සිටි ක්‍රියාකාරීන් මර දැමීමෙන් ජවිපෙ ආරම්භ කලේ එවැනි ගමනකි.

සෝමසිරි සහෝදරයා දිවි ගලවා ගත්තේ ගම්වැසියන් පිරිසකගේ අවධානයට එතන ඇතිවෙමින් තිබු සිද්ධිය හසු වූ නිසාය.

‘විප්ලවාදී’ ආණ්ඩු  විසින් සර්වාධිකාරය   තම රාජ්‍ය පවත්වා ගැනීමේ මුලෝපාය කර ගත්  විට ධනපති ක්‍රමය තුළ පවා වැඩකරන පංතිය දිනාගත් සියලුම නිදහස එනම් කතා කිරීමේ, සංවිධානය වීමේ,  මෙන්ම ජිවිතයට ඇති අයිතිය පවා අහෝසි කරයි. දයා පතිරණ ඝාතනය හෙළිකළේ එවැනි ගමනක් යාමට ජවිපෙ දෘෂ්ටිමය සහ දේශපාලන වශයෙන් සුදානම් බවයි.

අද ජවිපෙ සන්නද්ධ මාවතෙන් බැහැර ව  සිටින  නිසා මෙවැනි ඝාතනයන් සිදු නොකරනු ඇතැයි අපි උදක්ම බලා   පොරොත්තුවෙමු. දයා  පතිරණ ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා  පමණක් නොව    එයට අවශ්‍ය  දේශපාලන මතවාදයන්ගෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමය පෝෂණය කරනු ලැබිය. දයා පතිරණ අනෙක් සංවිධානයන්ට විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වීමට ඇති අයිතියට අවහිර කළ බව ඔහුට නැගෙන මුලික චෝදනාවකි. එය සත්‍යයක් වුවත් ඔහු ඝාතනය කිරීම නිහීන දේශපාලන අපරාධයකි.

අපි දයා පතිරණගේ දේශපාලන දායාදයේ ගැඹුරු මානුෂිය ගුණාංගයන් ප්‍රගුණ කල යුතුවෙමු. එය ඔහු අද අනුස්මරණය කිරීමේ යෝග්‍යම  ක්‍රමය බව මම විශ්වාස කරමි.

 

( දයාපාල තිරණාගම ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී )

Social Sharing
නවතම විශේෂාංග