යොහානි, ආසාද්මික විය හැකිය..!

yohani

යොහානිගේ සිංදුව ගීත දර්ශකවල උඩට යන්න යන්න ඒක ලෝකය පුරාම වසංගතයක් වගේ පැතිරෙන්න පැතිරෙන්න අපේ සංවාදයත් නැඟලා යනවා.

මම නම් මේ ගීතයට ආසයි. එහි මුල් ගීය මට ඇහිලා නෑ මුලින්ම. මුලින්ම ඇහුවෙ යොහානි කියපු එක. ඒකේ සංගීතය වගේම ගායන විලාසය සෑහෙන්න අල්ලලා ගියා කීවොත් හරි. ඒක මිනිස් හිත කිතිකවන අලවන සොලවන සංගීතයක්. එහෙම සිංදු ලෝකේ පුරා බිහිවෙනවා. ඒවට සීමා නැතුව සරන්න පුලුවන් කියන එක වගේම ලංකාව කියන හුණ්ඩුව ඒකට අදාළම නෑ කියන කතාව යොහානිගෙ මේ සිංදුවෙන් ඔප්පුවෙනවා.

මේකේ පද රචනාව කියවලා කෙනෙක් කියන්න පුලුවන් කිසි ගැඹුරක් නෑ කියලා. ඒත් මම හිතන්නෙම එහෙම ගලවලා එලලා හැඩ බලන එක අසාධාරණයි. නෙරියේ එහා මෙහා යාවී කීවාම එතන තියෙන රමණය ඒක මියුසික් අස්සේ තමයි රසෝගයක් වෙන්නේ. මෝචනය එන්නේ සංගීතය එක්ක..!

ඉස්සර ලියනාඩෝ ඩාවින්චිලා අඳින කාලේ වගේ නෙවෙයි දැන්.. දැන් ඔරජින් මොකද්ද ඩුබ්ලිකේට් එක මොකද්ද කියලා හොයාගන්න බෑ. ඒ බෙදුන් රේඛාව දැන් අහෝසියි. දැන් ඕනෑම එකක ඔරජිනලය හොයන්න යනවා කියන්නේ කළුනික සොයනවා වගේ වැඩක්..සිනමාව ගත්තත් එහෙමයි.

නූතන සම්භාව්‍ය කියලා බෝඩ් ගහලා තියෙන ගොඩක් සිනමාකරුවන්ගේ චිත්‍රපට අස්සේ තර්කොව්ස්කි බර්ග්මාන් වගේ සිනමාකරුවන්ගේ රූප තියෙනවා. ඒකට හේතුව අපි දැන් අසීමාන්තිකව ලෝකයේ එහා මෙහා සරමින් සිනමාව නැරඹීම. චිත්‍රපටි නරඹන්නේ නැතුව චිත්‍රපට කරන අධ්‍යක්ෂකවරුන් ඉන්නවාද කියන්න මම දන්නේ නෑ.. ඒත් මේ නැරඹිල්ල හරහා අපි දැන හෝ නොදැන අපේ අස්සේ සමහර සංවේදනා රූප නවතිනවා. ඊටපස්සේ ඒවා නිර්මාන හරහා එළියට එනවා. චිත්‍රය අස්සේ උනත් මේක අද සුලබයි කියලයි මට හිතෙන්නේ. මේ අන්තර්ජංජාල යුගයේ චිත්‍ර උනත් අපි ගැලරියකට නොගොස් පරිගණකය හරහා ස්මාට් ජංගමයා හරහා නරඹනවා.

සංගීතය උනත් එහෙමයි. අද ඉන්දියානු රාගධාරී කර්ණාටක බටහිර කියලා නෑ, අද අපේ අස්සේ තියෙන්නේ සංගීත අච්චාරුවක්. ඉතිං මේ අච්චාරු සවුන්ඩ් එක අස්සේ හිටපු ගමන් අලුත් වගේ සවුන්ඩ් ඇහෙනවා. ඒක ඊටපස්සේ සෝක් වෙනවා. සැප වෙනවා. සතුට සදනවා. ප්‍රීතී ප්‍රීතියි කියලා බඳාගෙන උම්මා දෙන්න හිතෙනවා. යොහානිගෙ මැණිකෙත් මටනම් එහෙම සංවේදනා අවකාශයක්. සංවේදනා නිම්නයක්..

මේ සිංදුව ලෝකය පුරාම වසංගතයක් වගේ (වසංගතය කියන වචනය පාවිච්චි කලේ මේ සිංදුව බාල බව හඟවන්නට නොවෙන බව සලකන්න..) පැතිරෙනකොට ලෝකය මේක හඳුනගත්තේ ඉන්දියාවෙ වැඩක් විදිහට. ඊටපස්සේ මේකට දැන් කෙරෙන ඉන්දියානු මැදිහත් වීම එක්ක බොහෝ දෙනෙක් යොහානිගෙ තාත්තා මේකට පටලගන්න බව පේනවා.

යොහානිගෙ තාත්තා ප්‍රසන්න ද සිල්වා අපි ඉස්සර දන්නේ අවසන් යුද්ධයේ දී යාපනේ පැත්තේ ඉදලා පහළට හමුදා සේනාංකය මෙහෙයවපු හමුදා නායකයා විදිහට. මම යුද්ධයට අකමැති වුණත් මීඩියා වීරයෝ වුණ හමුදා ලොක්කෝ අස්සේ ප්‍රසන්න නිහඬව සිටි, මිටි චරිතයක්. හමුදාව අස්සේ වෙනස් කීර්තියක් අත්පත් කරගත්ත මනුස්සයෙක්. මේ ගීතය ජනප්‍රිය වුණාට පස්සේ තමයි ඇත්තටම මමත් දන්නේ යොහානිගේ තාත්තා ප්‍රසන්න ද සිල්වා කියලා. ඒනිසා යොහානිගේ තාත්තා ප්‍රසන්න වීම මේ ගීතය ජනප්‍රිය වීමට හේතුව කියලා කියන්න අමාරුයි.

මම හිතන්නේ එහෙම තැනක මේ ගීතය ගාල් කරන්න උත්සාහ කිරීම ම බාල වැඩක්.. මෙහෙම මේ කොඳෙව්වේ සිංදුවක් නැඟලා යනකොට කෙනෙක්ට වේදනාවක් ඉරිසියාවක් එන්න පුලුවන්, ඒත් මට හිතෙන්නේ ඒක සතුටු සංවේදනා සාගරයක අතුරුදන් කරලා දාන්න පුලුවන්නම් ඒක තමයි වැඩේ. මේවගේ රැලි ඇවිත් තව ගොඩක් අය මේ දූපතෙන් එළියට වීසි වෙන්න ඕනී. සිනමාවෙන් එහෙම එළියට ගිය අය අපිට ඉන්නවා. විමුක්ති ජයසුන්දර කියලා කියන්නේ ඒ වගේ කෙනෙක්.

යොහානි හෙටානිද්දට ඉන්දියාවෙ ප්‍රසංගවලට සහභාගී වෙනවා කියලා දැනගන්නට ලැබෙනවා. මීට කලින් අපේ නිර්මානකරුවෝ විප්‍රවාසේ ඉන්න අපේ අය සංවිධානය කරන වේදිකාවල තමයි ගීත ගැයුවේ. ලංකාව රටක් විදිහට ලෝක ගෝලෙන් පහලට වැටෙන මේ වැටිල්ල අස්සේ යොහානි කියන්නේ සහන් එළියක් විහිදවන තාරකාවක්.. මටනම් දැනෙන්නේ එහෙම..!

 

කේ. සංජීව

Social Sharing

Related posts