වතු ආර්ථිකය කඩා වැටිලා නෑ ඒක බොරුවක්!    

plantation economy of Sri Lanka tea estate workers

චතුර සමරසිංහ

ලේකම් වතු සේවා සංගමය

කාලෙකදි ලංකාව ලෝකයම අදුරගත්තේ වතු ආර්ථිකයත් එක්ක. ඒ කාලේදී ලංකාවේ අපනයන ආදායමෙන් විශාල කොටසක් ලැබුණේ වතු ආර්ථිකයෙන්. ඒක අද වන විට සෑහෙන පහත වැටිලා තියෙන්නෙ. මේ වතු ආර්ථිකයේ කඩා වැටීම ගත්තොත් ඇත්තටම වතුවලට මොකද වෙලා තියෙන්නේ?

අපි 1948 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන යුගය වන විට ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 90% ක් ලබා දුන්නේ වතු ක්ෂේත්‍රය. නිදහසෙන් වසර ගණනකට පස්සේ අද වුනත් මේ තරම් හැල හැප්පීම් මැද පවා අපේ රටේ සමස්ත අපනයන අදායමේ විශාල පංගුකරුවෙක් වෙන්න වැවිලි කර්මාන්ත අංශයට හැකි වෙලා තියෙනවා. අදත් සමස්ත අපනයන අදායමෙන් 15%ක් වගේ ප්‍රමාණයකට වැවිලි ක්ෂේත්‍රය හිමිකම් කියනවා. ආර්ථිකයේ ප්‍රසාරණය වන විවිධ ක්ෂේත්‍ර පවතින තත්වයක් යටතේ වුණත්,  විශේෂයෙන් කෝවිඩ් වසංගතය එක්ක ලෝකය පුරා ඇති වෙන විවිධ ආර්ථික ප්‍රවණතා එක්ක මෑත කාලයේ රටේ ආර්ථිකයට එක් වූ බොහෝ ක්ෂේත්‍රවල කඩා වැටීමක් අපි දකිනවා. නමුත් වතුකරයේ වසර 150ක් විතර ඉතිහාසය තුළ මේ රටේ ආර්ථිකයේ කොදුනාරටිය බවට පත් වෙලා මේ කාලය පුරාවට  ආර්ථිකයේ තිරසාර බව රදවා ගන්න වැවිලි අංශයට හැකි වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් ලංකාවේ අනාගතය ගැන අපි කල්පනා කරනවා නම් ආර්ථිකයේ තිරසාර බව තව දුරටත් නොනැසී පවත්වාගෙන යන්න ලංකාවේ වැවිලි කර්මාන්තයට හැකියාව තියෙනවා.

ඉතාම සමෘද්ධිමත් විදිහට තිබුණු වතු දැන් කඩා වැටිලා. එතකොට මේ තත්වය වතු සම්බන්ධව වැඩ කරන වෘත්තීය සමිතියක් විදිහට අඳුරගෙන තියෙනවද? විශේෂයෙන් වතු තිබුනොත් තමයි වෘත්තීය සමිති වලටත් පැවැත්මක් තියෙන්නේ. මේ වතු ආරක්ෂා කර ගැනීමට මොකද්ද තියෙන වැඩ පිළිවෙල?

ඔව්. ඉතාම පැහැදිලිව ලංකාවේ වතු අද මේ පවතින තත්වයට එන්න බලපාපු ප්‍රධාන කරුණු  කිහිපයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ රටේ මහජනයා, මාධ්‍ය ඇතුළු සියලු දෙනා ඉන්නේ – විශේෂයෙන් තේ කර්මාන්තය හා රබර් කර්මාන්තය එක්ක – මේ රටේ වැවිලි ක්ෂේත්‍රය පාඩු ලබන නඩත්තු කල නොහැකි ආර්ථිකයේ නොවැදගත් අංශයක්ය කියන අදහසක. ඇත්තටම ඒක වැරදියි. අදත් ලංකාවේ වැවිලි ආර්ථිකය හරහා ජනිත වන මුදල් ප්‍රමාණය ගත්තොත්  අපි 2019 වසරේ අවසන් තත්වය ගත්තත් රු. බිලියන 250ක් විතර අපනයන අදායමක් තේ, රබර්,පොල් ආශ්‍රිතව උපයනවා. මේ මුදල මේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක්.

එතකොට ඔබ ඔය කියන, අපිට පේන්න තියෙන දෙය තමයි එදා තිබුණු වතු නැහැ. ඒ පාරවල්, ඒ සංස්කෘතිය, ඒ වැඩ බිම්වල අද තියෙන තත්වය ගරා වැටීම්, කඩා වැටීම් එක්ක තියෙනවා. කොහොමද ඒක සිද්ද වුණේ කියනවනම් අපි දන්නවා 70 දශකය වෙද්දී පුර්ණ වතු ජනසතු කිරීමක් පිලිබඳව මේ රටේ කතාබහක් තිබ්බා.  ඒ වෙද්දිත් බ්‍රිතාන්‍යය සමාගම් යටතේ තමයි ලංකාවේ ප්‍රධාන වතු සමාගම් ටික නඩත්තු වුණේ. එතකොට මේ රටේ සමාජ බලවේග අපේ රටේ සම්පත්, භුමියේ සාරය, ශ්‍රමය බ්‍රිතාන්‍ය ප්‍රමුඛ විදෙස් රටවල්වලට ඇදී යාම නවත්වලා මේ රටේ සම්පත් මේ රටේ පුරවැසියන්ට භුක්ති විදින්න, ඒ වගේම මෙයින් උපයන ධනය නැවත රට තුළම ආයෝජනය කල යුතුයි කියන පුරවැසි බලාපොරොත්තුව නිසා එදා අපේ රටේ නායකයෝ 1970 වන විට විශාල හඬක් නැගුවා. මොකද අපි දන්නවා 1956 බණ්ඩාරනායක රජය යටතේ මේ රටේ බ්‍රිතාන්‍ය අත්පත් කර ගත් බොහෝ දේවල් ජනසතු වුණා. නමුත් වතු ක්ෂේත්‍රයේ ඉතා කුඩා කොටසක් තමයි ජනසතු වෙලා තිබුණෙ ඒ වෙද්දි. ඉතින් 1970 මැතිවරණය වෙනකොට විශාල හඬක් විශේෂයෙන්ම වතු ක්ෂේත්‍රය රජයට පවරා ගන්න, ජනසතු කරන්න කියන හඬ අපේ සංගමය, නායකයෝ විසින් මතු කළා. ඒ විදිහට වතු ජනසතු වෙනවා. ජනසතු වෙලා මුල් දශකය වගේ කාලය තුළ  ලාභ සහිත ඉතාම හොඳ වතු සංස්කෘතියක් ඇති වෙනවා. මෙරටින් විදේශයන් වෙත ඇදී ගිය ධනය ප්‍රති ආයෝජනය කරන්න, රටේ සම්පතක් ලෙස භාවිතා කරන්න හැකියාව ලැබුණා.

එතකොට 1977 ඇති වුණ නව ආර්ථික ප්‍රවණතා එක්ක මේ රටේ දේශපාලන සංස්කෘතිය, වතු සංස්කෘතිය, වැනි අනාදිමත් කාලයක් තිස්සේ පැවති බොහෝ දේවල් අහෝසි වෙලා  නව සංස්කෘතියක් මේ රටේ ඇති වුණා. ඒ සංස්කෘතිය ජරා-ජීර්ණ වෙලා අද අපිට පේනවා අන්ත දුෂිත දේශපාලන සංස්කෘතියක්. එතකොට මේ ජනසතු දේපළ පාලනයට දේශපාලන හෙංචයියන් පත් වෙනවා. මේ අවර ගණයේ දේශපාලන සංස්කෘතිය රටේ අනිකුත් පොදු දේපල විනාශ කල ආකාරයට වතු ක්ෂේත්‍රයටත් ඇතුළු වෙනවා.   ඇත්තටම වතු පිළිබඳ අවබෝධය, කළමනාකරණ හැකියාව නැති මේ ගැන කිසිවක් නොදන්නා පාලකයෝ දේශපාලන හෙංචයියන් මේවායේ මුල් පුටුවලට පත් වෙනවා. තීන්දු තීරණ ගන්න ප්‍රතිපත්ති සම්පාදකයන් බවට පත් වෙන්නේ ඔවුන්. එතකොට ක්‍රමිකව 1990 ආසන්නය වන විට වතු අංශය විශාල අලාභ ලබන තත්වයකට පත් වෙනවා. ඒ හරහා මහා භාණ්ඩාගාරය වතු ක්ෂේත්‍රයේ වැටුප් ගෙවන්න මුදල් ගෙවන තත්වයට පත් වෙනවා. ඒත් එක්ක අපිට පේනවා මේක ජනසතු සංකල්පයේ වරදක් නෙවෙයි, ඒ තුළට කඩා වැදුන දුෂිත අවරගණයේ දේශපාලනය සම්පුර්ණයෙන් ඒ ජනසතු සංකල්ප අමු අමුවේ උල්ලංගණය කරමින් කටයුතු කළේ. ඒකත් එක්ක තමයි මේ කඩා වැටීම ඇති වෙන්නේ.

1993 න් පස්සේ නැවත මේ වතු පුද්ගලික අංශයට පැවරෙනවා.  එසේ පවරලා අද අවුරුදු විසි ගණනක් ගීහින් ආපසු හැරිලා බලද්දී විශාල කඩා වැටීමක් තියෙනවා. එදා වතු අංශයේ ලක්ෂ 5ක් පමණ රැකියාවල නිරත වෙලා හිටියා. අද එය ලක්ෂ එකහමාරකට වඩා අඩු වෙලා. අනික් පැත්තෙන් නිෂ්පාදනයේ ඵලදායිතාවය විශාල පසුබෑමකට ලක් වෙලා තියෙනවා. 2013 අය-වැය විවාදයේදී මුදල් ඇමතිවරයා කියනවා පවරා දුන්න වතුවල අක්කර 40,000 ක් මුඩු බිම් බවට පත්වෙලා තියෙනවා කියලා. එතකොට අපිට පේනවා කර්මාන්තශාලා සිය ගණන් වැසිලා ගිහින්. නිල නිවාස සිය ගණන් බිම්බත් වෙලා තියෙනවා. සේවකයන්ගේ රැකියා අවස්ථා අහිමි වෙලා තියෙනවා. නිෂ්පාදනය දිගින් දිගට පහත වැටිලා. ඒ වගේම බ්‍රිතාන්‍යය යුගයේ ගෙනාපු තාක්ෂණය ඇරෙන්න වතු අංශයේ මහලොකු තාක්ෂණික දියුණුවක්, පරිවර්තනයක් ඇති වෙලා නැහැ. ඒ වගේම එයින් යැපුණු මිනිස්සු විශේෂයෙන් අපි වතු නිලධාරීන්, කාර්යමණ්ඩලය හැටියට සාපේක්ෂව යමක් අපි භුක්ති වින්ඳා වුණත් අපිට පේනවා වතු ක්ෂේත්‍රයේ ඉන්න විශාලම කොටස වන වතු කම්කරුවන්ගේ ජීවන තත්වය. ලංකාවේ අනිකුත් ප්‍රදේශවල තියෙන ජීවන තත්වය විශේෂයෙන් මන්දපෝෂණය වගේ සැලකුවහොත් එම ප්‍රතිශතය දෙගුණයකින් වැඩියි. දරිද්‍රතාවය ලංකාවේ සෙසු ප්‍රදේශවලට වඩා දෙගුණයකින් ඉහලයි. සනීපාරක්ශක පහසුකම්, සෞඛ්‍යය පහසුකම්, අඩු බර දරු උපත් මේ සියල්ල සලකද්දී ඕනෑම සංඛ්‍යා දත්තයක් අනුව රටේ සෙසු ප්‍රදේශ වලට වඩා වතු ක්ෂේත්‍රය පවතින්නේ පහල මට්ටමක. ඒ වගේම සමාජ-ආර්ථික-සංස්කෘතික  වශයෙන් පවා වතු ක්ෂේත්‍රය බිඳ වැටිලා තියෙනවා.

ජීවත් වෙන්න අවමය දෙන්න බැරි තරමට වතු අංශය කඩා වැටිලා. ඒක සත්‍යය ද?

වතු සේවා සංගමය හැටියට අපි කියන්නේ එය සත්‍යය නෙවෙයි. මේ රටේ සැඟවුන දේ බොහොමයි. මේ තේ කර්මාන්තය පාඩු ලබන කර්මාන්තයක් නෙවෙයි. අපි පැහැදිලිව කියනවා එය ලාභ ලබනවා. අපි ඒක කරුණු සහිතව ඔප්පු කරන්න සුදානම්. විශේෂයෙන් මේ තේ කර්මාන්තය පාඩුයි කියලා කියන මිත්‍යාව තුළ හංගන මහා කාරණයක් තියෙනවා. ඒ තමයි හැම විටම මේ පාඩු ලාභ ගණනය කරලා පෙන්නන්නේ අපිට මේ තේ නිෂ්පාදනය සඳහා යන වියදමත් කොළඹ තේ වෙන්දේසියේදී විකුණන මිලත් අතර වෙනස තමයි, මේ සමාජය ඇතුළේ අලාභය හැටියට තහවුරු වෙන්නේ. නමුත් ඒක නෙවෙයි ඇත්ත. ඇත්ත තමයි තේ නිෂ්පාදන වියදම දන්නවා වගේම තේ මෙරටින් අපනයනය කරන විට මිල කීයද? ඒ මිල සහ නිෂ්පාදන මිල අතර වෙනස තමයි අපි ලාභය ලෙස ගණනය කරන්න ඕනැ. මේ රටේ සියළු පුරවැසියෝ, ඒ වගේම මාධ්‍ය  ඇතුළු බොහෝ පිරිසක් හිතන්නේ වතු කර්මාන්තය පාඩු ලබනවා කියලා. මෙතන විශාල වෙළඳ මාෆියාවක් තියෙනවා. විශේෂයෙන්  2019 දත්ත රැගෙන බැලුවොත් රු. 475ක් තමයි මහා බැංකු වාර්තාවේ සඳහන් නිෂ්පාදන වියදම තේ කිලෝවක. එතකොට කොළඹ තේ වෙන්දේසියේ  රු. 475ට නිපදවන තේ කිලෝව, එහි සාමාන්‍ය මිල වෙන්නේ රු. 528ක් වගේ. එයින් පේනවා රු. 50-55 වගේ ඉතා සුළු ලාභයක් තමයි තියෙන්නේ. එතකොට මේක තමයි ලාභය ලෙස පෙන්වමින් වතු පාඩු ලබනවා කියලා කියන්නේ. නමුත් 2019 මහා බැංකු වාර්තාවට අනුවම රු. 820ක් එනවා තේ කිලෝවක අපනයන මිල. ඒ මිලෙන් නිෂ්පාදන වියදම අඩු කළොත් එන අගය 50%කට ආසන්නයි. එවැනි ලාභයක් උපයනවා. එතකොට කොළඹ තේ වෙන්දේසියේ මිල සමඟ සැසඳුවත් 40%කට වැඩි ලාභ ප්‍රතිශතයක් එක්ක තමයි  මෙරටින් තේ අපනයනය කරන්නෙ.

මෙයින් අපට පේනවා විශාල ධනස්කන්දයක් අතරමැදියන් විසින් ගසා කනවා. එතකොට මේ උපයන මහා ධනය අපිට පැහැදිලිව පේනවා නිෂ්පාදකයා, ප්‍රාදේශීය නිෂ්පාදන වැවිලි සමාගම්වලට නැවත ගලා එන්නේ නැහැ. එසේ ගලා එන්නේ නැතිවීම නිසා ඒ වෙනුවෙන් ශ්‍රමය වගුරන මිනිසුන්ගේ පංගුව අහිමිවීමක් සිදු වෙනවා. සේවක සුබසාධනය, නිසි වැටුප් අහිමි වෙලා යනවා. කර්මාන්තයට නව තාක්ෂනය එන්නේ නැහැ. මෙවැනි කර්මාන්තය ආශ්‍රිත ගැටලු ගණනාවක් නිර්මාණය වෙනවා. නිසි ක්‍රමවේදයකට පොහොර දාලා, ඒ අවශ්‍යය සාත්තුව දීලා නිසි ප්‍රමිතියට අනුව ඒ කෘෂි නඩත්තු කිරීම් කරන්න තරම් මුදලක් නිෂ්පාදන සමාගම්වලට ලැබෙන්නේ නැහැ. ඒ නිසාම තමයි මෙවැනි අර්බුධයක් ඇති වෙලා තියෙන්නේ. සේවකයෝ දිනෙන් දින අඩු වෙමින් ලාභ තත්වය පහත වැටෙමින් බොහෝ දෙනා තුළ වතු පාඩු ලබනවා යැයි කියන අදහසක් නිර්මාණය වෙලා තියෙන්නෙ. රටේ මේ තත්වය, විශේෂයෙන් මේක වතු කම්කරුවන්, වතු කාර්ය මණ්ඩල, වතුවල විධායක නිලධාරීන්, එමෙන්ම ලක්ෂ සංඛ්‍යාත කුඩා පරිමාණ තේ  නිෂ්පාදකයන් ඇතුළු විශාල පිරිසකට බලපෑම් කරනවා.

මේ වෙළඳ මාෆියාව අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයෝ රජය මැදිහත් වෙලා පාලනය කළේ නැත්නම්  සියවස් එකහමාරක් පමණ මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයූ වැවිලි කර්මාන්තයට කණකොකා හඬන්නට ඉඩ තියෙනවා අනාගතයේ දවසක. ඉතින් වතු සේවා සංගමය හැටියට අපි ලෑස්තියි අපේ යුතුකම ඉටු කරන්න. සමාජය හමුවේ මේ අකටයුත්ත එළිදරව් කරමින් නිෂ්පාදකයාට සාධාරණ මිලක්, ශ්‍රමය වැයකරන මිනිසුන්ට ඔවුන්ට හිමි කොටස ලබා දීම සඳහා කටයුතු කිරීමට අපි ලෑස්තියි.

අපිට මේ තේ මාෆියාව ගැන කතාකරනකොට අහන්න වෙනවා, ඇයි නිෂ්පාදන සමාගම් තමන්ට කොළඹ තේ වෙන්දේසියෙන් ලැබෙන මිලත් අතරමැදියන් හරහා තේ මිලට ගන්න බලපත්‍රලාභී තේ අපනයන සමාගම් අපනයනය කරන මිලත් අතර තියෙන මේ පරතරය පිළිබඳ කතා නොකරන්නේ කියලා.  ඔවුන් කිසිම සාකච්ඡාවකට නොයන්නෙ ඇයි? ඒ පිළිබඳව හඬක් නගන්නෙ, අරගලයක් කරන්නෙ නැත්තෙ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ප්‍රාදේශීය වැවිලි සමාගම්වල මව් සමාගමත්, බලපත්‍රලාභී අපනයන සමාගම්වල මව් සමාගමත් බොහෝවිට එකක් වීම. එහෙම බැලුවාම එකම සමාගමකට තමයි අවශානයේ මේ ලාභය ගිහිං තියෙන්නේ. මේ හේතුව නිසා තමයි අද තේ කර්මාන්තයේ අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ.

එනිසා මේ විශාල පංගුව කොහොමද අපි බෙදා හරින්නේ? මේ රටේ දැනටමත් එහෙම පූර්වාදර්ශ තියෙනවා. 1970 දශකයේ තේ මණ්ඩල පනතේ ඇති  වූ සංශෝධන එක්ක කුඩා පරිමාණ තේ සැපයුම්කරුවන්ට ඒ පනතේ හැටියට අදාළ කර්මාන්ත ශාලාව කොළඹ තේ වෙන්දේසියේදී තේ අළෙවි කරනු ලබන මිළෙන් 68%ක් ගෙවිය යුතුයි. එක තමයි නීතියක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ අනුව අද තියෙන මිළ වුනත් ඔවුන්ට ලබා ගත හැකිව තියෙන්නේ අන්න ඒ ප්‍රතිපත්තිමය තීන්දුව උඩ. එතකොට අපි රජයට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට කියන්නේ කොළඹ තේ වෙන්දේසියේ විකිණුම් මිල සංසන්දනය කරලා කුඩා පරිමාණ නිෂ්පාදකයාට අවස්ථාව දෙනවා වගේම මහා පරිමාණ නිෂ්පාදනයේ යෙදෙන ඒ සමාගම්වලට අර අපනයන සමාගම උපයන අධික ලාභයෙ සාධාරණ පංගුව ලැබෙන ප්‍රතිපත්තිමය තීන්දුවකට යන්න ඕනෑ. එවැන්නක් හරහා තමයි මේක අවසන් කරන්න පුළුවන්. ඒ නිසා අපි වතු සේවා සංගමය හැටියට කියන්නේ මේ රටේ වැවිලි ක්ෂේත්‍රය සම්බන්ධව නැවත සිතා බැලීමක්, ප්‍රතිසංස්කරණයක් අත්‍යවශයි. එමගින් තමයි ජාතික ආර්ථිකයට දායකත්වය දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කර්මාන්තයෙන් ජිවත් වෙන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ශ්‍රමයට යුක්තිය, සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් කියලා අපි විස්වාස කරන්නේ.

Social Sharing

Related posts