රිෂාඩ් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු මතු කරන්නක් – නීතිඥ රුෂ්ඩි හබීබ්

2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුයේ ඊයේ (24)  අලුයම් කාලයේදීය.

ඒ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා කොළඹ බෞධාලෝක මාවතේ පිහිටි නිවසේදී සහ රියාජ් බදුර්දීන් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබුණේ මොවුන්ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බවය.

මේ අතර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් ඊයේ අවසර ලබා දී තිබුණි.

කෙසේ නමුදු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නීතිඥ රුෂ්ඩිහි හබීබ් මහතා මේ සම්බන්ධව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාව සියලු දෙනා රට තුළ සහයෝගයෙන් ජීවත් වුවද, වත්මන් ආණ්ඩුව විවේචනය කරන ජාතික තලයේ සිටින මුස්ලිම් දේශපාලන නායකයන් අසීරුවට ලක් කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම දකින බවය.

වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.

රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් යන මහත්වරුන්, පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්දයක් නැතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් තහවුරු කර තිබේ.

කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ එතුමාගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරු (24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු, අජිත් රෝහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයකයන්ට ආධාර අනුබලදීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් සහ එතුමාගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා යනු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයාය. එතුමාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට, මන්ත්‍රීවරු සිව්දෙනෙකු තේරී පත්ව සිටිති. එයට අමතරව පළාත් පාලන ආයතනවල සභිකයන් 169 දෙනෙකු එතුමා නායකත්වය දරන පක්ෂය නියෝජනය කරති. සමස්ත මුස්ලිම් ජනතාව මේ ගත කරමින් සිටින්නේ ශුද්ධ වූ රමසාන් උපවාස සමයයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර දැනුවත් කළ සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා එම දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශ ලබා දී තිබේ. එ් ආකාරයෙන් පූර්ව දැනුවත් කිරීමකින් තොරව අලුයම 01ට පමණ නිවසට පැමිණ කිසිදු හේතුවක් සඳහන් නොකර අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගති ලක්ෂණවලට අනුගත නොවන බව අප සඳහන් කරමු.

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ චෝදනා සියල්ල, ශ්‍රේෂාඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂම විසින් විභාගයට ගෙන අවසන් කර තිබේ. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරයට ආධාර, අනුබල දුන් බවට, කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂිවලින් සනාථ වී නැත. ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ද බවට කිසිදු සාක්ෂියක් එම කොමිෂමට ඉදිරිපත් ව නැත. එවන් පසුබිමික, සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතිවෙන අවස්ථාවකි.

මෙය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. පසුගිය ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රමුඛ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයන් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වෙනුවෙන් සහය පළ කළහ.

-ශානි-

Social Sharing
නවතම