භාණ්ඩාගාරයේ සිදු වූ මුදල් සොරකම සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සිදු වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහය ඇතිව සිදු කරමින් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම සොරකමෙන් අහිමි වූ මුදල් නැවත අය කර ගැනීම සඳහා කළ හැකි සියලු පියවර මේ වන විට ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාව විදේශයන්ට ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා තාක්ෂණික සහ නීතිමය උපදෙස් ලබා ගැනීමට පත් කර ඇති අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහය මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන්ද ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් අංශ දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකු ඇතුළු නිලධාරි කමිටුවක් පත් කර සිද්ධිය පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කර ඇති අතර, එහිදී හඳුනාගත් වගකිව යුතු පුද්ගලයන්ට නීත්‍යනුකූලව විනය පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

තවද, මෙම සයිබර් අපරාධය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කළ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට භාර දී ඇති බව ද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම පුවත්