දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවටපත් 149,000ක් තවමත් ඥාති නිවෙස්වල – UN වාර්තාවකින් හෙළි වේ.

දිට්වා සුළි කුණාටුව පසුගිය නොවැම්බර් මාසයේදී මෙරටට කඩා වැදීමත් සමග ඉන් ඇතිවූ නායයෑම් සහ ගංවතුර තත්වයන්ගෙන් අවතැන් වූ ජනතාව මේ වනවිට අඩුවී ඇතත්, තවමත් අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 149,000ක් ඥාතියකුගේ, මිතුරකුගේ හෝ තමන්ගේ නොවන කුලී නිවෙසක පදිංචි වී සිටින බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ඒ අනුව සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා පිහිටුවා ඇති ආරක්ෂිත කඳවුරු සංඛ්‍යාව 20 දක්වා අඩු වී ඇති අතර, බදුල්ල, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පවුල් 476කට වැඩි සංඛ්‍යාවක් තවමත් එම කඳවුරු තුළ රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාව අනුව, සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ ජනතාවගෙන් බහුතරයක් වර්තමානයේ වෙනත් පවුල්වල නිවෙස්වල හෝ ප්‍රජාවන් අතර තාවකාලිකව ජීවත් වෙමින් සිටින බව පෙන්වා දේ. ඒ හේතුවෙන් විශේෂයෙන් කාන්තාවන් හා ළමයින් වැනි අවදානමට ලක්වූ කණ්ඩායම් වෙත සහන සැපයීම සංකීර්ණ වී ඇති බවද වාර්තාවේ දැක්වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නව ප්‍රමුඛතා රාමුවක් යටතේ සුළි කුණාටුවෙන් බලපෑම් ලැබූ ප්‍රදේශ ඉහළ, මධ්‍යම සහ අඩු අවදානම් ලෙස වර්ගීකරණය කර ඇති අතර, එම වර්ගීකරණය අනුව අදියර වශයෙන් වන්දි ලබාදීමට සැලසුම් කර ඇත.

එමෙන්ම, එම ආයතනය තවමත් සම්පත් හිඟයකින් පෙළෙන බවත්, ඉඩම් ලබාදීම, ආරක්ෂිත නැවත ඉදිකිරීම් සහ ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් උපද්‍රව සිතියම්ගත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒකාබද්ධ සහාය යෝජනා කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවීන් 96,847 දෙනෙකුට රුපියල් කෝටි 750ක වන්දි ලබාදී තිබුණද, තවමත් පීඩාවට පත් ජනතාවට තවත් වන්දි ලබාදිය යුතු බවද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් යළි ගොඩනැගෙමින් සිටින මෙම අවස්ථාවේදී, මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ පවුල් සුබසාධනයට අමතර බලපෑම් ඇති විය හැක. විශේෂයෙන් ඉහළ විදුලි හා ඉන්ධන පිරිවැය හේතුවෙන් පොහොර සහ ආහාර මිල ඉහළ යා හැකි බවත්, එය පවුල්වල පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීමේ හැකියාවට අවදානමක් බවත් වාර්තාව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාවයෙන් 36%ත් 40%ත් අතර ප්‍රමාණයක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණෙන බව වාර්තාවේ සඳහන් වේ.

දැනට රට තුළ යූරියා ටොන් 100,000 පමණ පවතින නමුත්, යල කන්නයේ වී, බඩ ඉරිඟු, එළවළු සහ වැවිලි භෝග සඳහා අවශ්‍ය පොහොර සැපයීමට එය ප්‍රමාණවත් නොවන බවද පෙන්වා දේ. ලබන මැයි මාසය තුළ අතිරේක යූරියා මෙට්‍රික් ටොන් 50,000ක් ලබාගැනීමට රජය සහ පෞද්ගලික අංශය උත්සාහ කරමින් සිටින බවද සඳහන් වේ.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් 658,000 ජනතාවට සහන සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් ඉල්ලා තිබූ අතර, මේ වන විට ඩොලර් මිලියන 23.9ක් ලැබී ඇත. එමෙන්ම, තවත් ඩොලර් මිලියන 11.4ක් අවශ්‍ය බවත්, මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 364,000කට සහන ලබා දී ඇති බවත් වාර්තාවේ සඳහන් වේ.

Social Sharing
නවතම පුවත්