පොලිස් කොමිසමේ නව සභාපති පත්කිරීම සම්බන්ධයෙන් මතභේද තත්වයක්

ශ‍්‍රී ලංකා පොලිස් සේවය යනු රටේ සාමය සහ නීතිය ආරක්ෂා කිරීමේලා ප‍්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරන ආයතනයයි. විශේෂයෙන්ම දැඩි අව් රශ්මිය මධ්‍යයේ වුවද මහමග රාජකාරි කරන පොලිස් නිලධාරීන්ගේ සේවය අගය කළ යුතු අතර පොලිසිය විනාඩි දහයක් හෝ සිය රාජකාරියෙන් බැහැර වුවහොත් රටේ පොදු ජන ජීවිතය දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්වන බව අමුතුවෙන් කිව යුතු නැත. පොලිස් නිලධාරී මහතුන් සහ මහත්මීන් මුහුණ දෙන විවිධ ගැටලූ‍, උසස්වීම්, ස්ථාන මාරුවීම් සහ විනය පරීක්ෂණ සම්බන්ධ කටයුතු ස්වාධීනව විමසා බැලීම සඳහා මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටුවා ඇත. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ පොලිස්පතිවරයාගේ සිට පහළම නිලධාරියා දක්වා වූ පිරිසගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ඔවුන්ට අසාධාරණයක් වූ විට ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩකඩ සැලසීමයි.

කෙසේ වෙතත් වර්තමාන ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ක‍්‍රියාකලාපය බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ එකක් බව සඳහන් කල යුතුය. ඔහු වැනි නිලධාරීන් ස්වාධීන තීරණ ගැනීමට නොපෙළඹෙන අතර පොලිස් දෙපාර්තමේන්තුවේ දියුණුව වෙනුවෙන් හෝ නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ප‍්‍රමාණවත් මැදිහත් වීමක් සිදුකර නොමැති බවද සඳහන් කල යුතුය. 2023 අගෝස්තු 16 දිනැති අංක 2345/45 දරන ගැසට් පත‍්‍රය ප‍්‍රකාරව පොලිස් කොමිෂන් සභාවේ කටයුතු සිදුවිය යුතුය. එහි 8 වැනි ෙඡ්දයට අනුව යම් පොලිස් නිලධාරියෙකු තමන්ට ලැබුණු විනය ක‍්‍රියාමාර්ගයක් හෝ ස්ථාන මාරුවීමක් පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් ඒ පිළිබඳව කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

මෙම නීතිමය රාමුව තුළ ඇති වැදගත්ම කරුණ වන්නේ අදාළ අභියාචනයක් ලැබී දින 30 ක් ඇතුළත ඒ සඳහා පිළිතුරු ලබා දීමට කොමිෂන් සභාව බැඳී සිටීමයි. නමුත් වර්තමානයේ මෙම ක‍්‍රියාවලිය ඉතා මන්දගාමී වී ඇති අතර එය නිලධාරීන්ගේ වෘත්තීය අභිමානයට හානි කරන ‍සුදු අලියෙකු වැනි ආයතනයක් බවට පත්ව ඇති බව කණගාටුවෙන් යුතුව සඳහන් කිරිමට සිදුව තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව මේ වන විට හුදෙක් දේශපාලකයන් සතුටු කරන ආයතනයක් බවට පත්ව තිබිම ගැටලූවකි. කොමිසමේ ප‍්‍රධාන නිලධාරීන් සිය වරප‍්‍රසාද සහ සුඛෝපභෝගී රථවාහන පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවක්ද අපට පෙනේ. පොලිස් නිලධාරීන් ඉදිරිපත් කරන අභියාචනා සඳහා පිළිතුරු ලබා දීමේදී පවතින අසාධාරණ ප්‍රමාදය පිළිබඳව එක් නිදසුනක් මෙහිදී ඉදිරිපත් කල හැකිය. එම නිදසුනට අනුව 2023 අගෝස්තු 20 වැනි දින ඉදිරිපත් කළ අභියාචනයකට පිළිතුරු ලබා දී ඇත්තේ 2026 අප්‍රේල් 08 වැනි දින බව වාර්තා වේ. එසේම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති ලිපි සිය ගණනකට මේ දක්වා කිසිදු පිළිතුරක් ලබා දී නොමැති බවද වාර්තා වේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ වඩාත්ම භයානක පසුබෑම ලෙස පෙන්වා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දු ක‍්‍රියාත්මක නොකිරීමයි. විශේෂයෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් අධිකරණය ලබා දෙන නියෝග පවා කොමිසම විසින් ක‍්‍රියාත්මක නොකරන තත්වයකට පත්ව ඇති අතර ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ට එරෙහි විනය පියවර ගැනීම මඟහැර ඇති බවද පෙනී ගොස් තිබේ. තවද කොමිසමේ මෙම අකර්මන්‍යතාවය හේතුවෙන් සමස්ත පොලිස් සේවයම අද වන විට ‍අකර්මන්‍ය තත්ත්වයකට පත්ව ඇති බවද නිරික්ෂණය වේ. අවංකව රාජකාරි කරන නිලධාරීන්ට අසාධාරණයක් වූ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකු නොමැති වීම නිසා කුඩු ජාවාරම් හෝ පාතාලය මර්දනය කිරීමට ඔවුන් මැළිකමක් දක්වන බව පොලිස් නිලධාරීන්ම විවිධ අවස්ථා වලදී පවසා තිබේ. තමන් තනිවනු ඇතැයි යන බිය නිසා බොහෝ නිලධාරීන් තීරණාත්මක රාජකාරිවලට අත ගැසීමෙන් වැළකී සිටින බවද ඇතැම් අවස්ථා වලදී වාර්තා වී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ වත්මන් සභාපතිවරයා විශ‍්‍රාම යාමෙන් පසු එම ධුරය සඳහා යුද හමුදාවේ විශ‍්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු පත් කිරීමට රජය සූදානම් වන බවට මේ වන විට තොරතුරු ලැබී ඇත. පොලිසිය යනු සිවිල් ආයතනයක් බැවින් එහි පරිපාලන කටයුතු සඳහා හමුදා නිලධාරීන් පත් කිරීම පොලිස් සේවයේ ස්වාධීනත්වයට හා සිවිල් පරිපාලනයට පටහැනි බව මෙහිදී අවධාරණය කල යුතුය. පොලිස් සේවය යනු මහජනතාව සමඟ සමීපව කටයුතු කරන සිවිල් පරිපාලන පද්ධතියක කොටසකි. හමුදා මානසිකත්වයකින් යුතුව පොලිස් කොමිසම මෙහෙයවීමට උත්සාහ කිරීමෙන් රටේ සාමාන්‍ය ජනතාවට පොලිසිය පිළිබඳ පවතින ආකල්පය තවදුරටත් පිරිහීමට ලක් විය හැකි බව සඳහන් කල යුතුය. මේ නිසා යුද හමුදා නිලධාරීන් මෙවැනි තනතුරුවලට පත් නොකරන ලෙස විෂයභාර අමාත්‍යවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් අප ඉල්ලීමක් කර සිටිමු.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ ගෞරවයට පාත‍්‍ර වූ දක්ෂ පරිපාලන පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම ධුරයට පත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කල යුතුය. ඒ සඳහා හිටපු ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා වැනි චරිතයක් සුදුසු බව අපගේ අදහසයි. ඔහු නුවරඑළිය වැනි ප‍්‍රදේශවල රාජකාරි කළ සමයේ පොලිසිය සහ මහජනතාව අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගීමටත් අපරාධ මර්දනයටත් සෘජු නායකත්වයක් ලබා දුන් බව බොහෝ දෙනාගේ අදහසයි.
වත්මන් පොලිස් සේවය පිළිබඳව මහජනතාව තුළ පවතින්නේ දැඩි අප‍්‍රසාදයක් බව අමුතුවෙන් කිව යුතු නැති අතර එම තත්ත්වය වෙනස් කිරීමට නම් පොලිස් කොමිසමට සෘජු සහ අත්දැකීම් සහිත නායකත්වයක් අවශ්‍ය බවද මතක් කල යුතුය. මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන දුෂිත නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට හැකි ශක්තිමත් පෞරුෂයක් සහිත අයෙකු කොමිසමේ නායකත්වයට පත්විය යුතු බව අප අවධාරණය කර සිටිමු.

පටු දේශපාලන අරමුණුවලින් ඔබ්බට ගොස් ශ‍්‍රී ලංකා මාතෘභූමිය ගොඩනැගීමේ අවශ්‍යතාවය රජය මෙන්ම ජනතාවද තේරුම් ගත යුතුය. මෙය හුදෙක් එක් පක්ෂයකට හෝ කණ්ඩායමකට පමණක් කළ හැක්කක් නොවන අතර සමස්ත ජනතාවගේම දායකත්වය ඒ සඳහා අවශ්‍ය වේ. පසුගිය කාලයේ රට පාලනය කළ විවිධ ජනාධිපතිවරුන් හෝ දේශපාලන පක්ෂ පිළිබඳව තවදුරටත් කතා කිරීම පලක් නොවන අතර දැන් කළ යුත්තේ ‍ශ‍්‍රී ලංකා මහ පොළොව ගොඩනැගීම අප සඳහන් කර සිටිමු. වත්මන් රජය රැක ගැනීමට සහ රට ස්ථාවර කිරීමට ජනතාව පෙළගැසී සිටින්නේ කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව බවද පෙන්වා දිය යුතුය.
පොලිස් කොමිසමේ සභාපති ධුරය සඳහා යුද හමුදා මේජර් ජෙනරාල්වරුන් පත් කිරීමට දරන උත්සාහය නැවත වරක් රජය සිතා බැලිය යුතුය. ලැබී ඇති තොරතුරු අනුව නම් දෙකක් මේ සඳහා යෝජනා වී ඇති බව වාර්තා වන අතර එම පත්කිරීම් සිදු වුවහොත් පොලිස් සේවය තුළ විශාල කඩා වැටීමක් සිදු විය හැක. එවැන්නක් සිදුවුවහොත් රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම බරපතල අර්බුදයකට ලක්වීමටද ඉඩ තිබේ. එබැවින් පොලිස් කොමිසම වැනි සිවිල් ආයතනයක නායකත්වයට එම විෂය පිළිබඳ මනා අවබෝධයක් සහ පරිපාලන පළපුරුද්දක් ඇති දක්ෂ පොලිස් නිලධාරියෙකු පත් කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර එමඟින් පමණක් පොලිස් දෙපාර්තමේන්තුව යථා තත්ත්වයට පත් කර මහජන ප‍්‍රසාදය දිනාගත හැකි වනු ඇති බව අපගේ අදහසයි.

උපුටා ගැනීම Cyber news.lk

Social Sharing
නවතම පුවත්