අපරාධ ස්ථාන වීඩියෝ කර සමාජ මාධ්‍යවල පළ කිරීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්!

අපරාධයක් සිදුවූ ස්ථාන හෝ එහි වින්දිතයන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් දැඩි ඉල්ලීමක් කර ඇත. ඒ එවැනි ක්‍රියා මඟින් අපරාධ පරීක්ෂණවලට බාධා පැමිණෙනවා මෙන්ම වින්දිතයන්ගේ ගෞරවය කෙළෙසන බව අපරාධ ස්ථාන පරීක්ෂණ පුහුණු විද්‍යාලයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර විජේරත්න මහතා පෙන්වා දෙයි. අවසරයකින් තොරව මෙලෙස දර්ශන පටිගත කිරීම හෝ ඒවා සංසරණය කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ඔහු අවධාරණය කර ඇත.

විශේෂයෙන්ම අපරාධයක් සිදුවූ ස්ථානයක ඇති සාක්ෂි පිරිසිදු කිරීම හෝ වෙනස් කිරීම නොකළ යුතු බව පවසන පොලිසිය, කුඩා කෙස් ගසක් හෝ රෙදි කැබැල්ලක් වැනි ක්ෂුද්‍ර සාක්ෂි පවා විමර්ශන සඳහා ඉතා වැදගත් වන බව ඔහු පෙන්වා දෙයි. වරදක් ඔප්පු කිරීමට අවශ්‍ය විද්‍යාත්මක සාක්ෂි විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව පවතින නීතිය යටතේ වසර 7ක් දක්වා සිරදඬුවම් පැමිණවිය හැකිය. මරණ දඬුවම හෝ වසර 10කට වැඩි සිරදඬුවම් නියම කළ හැකි බරපතල අපරාධයක සාක්ෂි විනාශ කළහොත් උපරිම දඬුවම් හිමිවන බව ද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේය.

වර්තමානය වන විට දිවයින පුරා අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකක (SOCO) 44ක් ක්‍රියාත්මක වන අතර නිලධාරීන් 360කට අධික පිරිසක් නවීන විද්‍යාත්මක උපකරණ භාවිතා කරමින් විමර්ශන කටයුතු සිදු කරති. පොලිස් නිලධාරීන් පැමිණෙන තෙක් අපරාධයක් සිදුවූ ස්ථානය කිසිදු වෙනස්කමකට ලක් නොකර පවතින අයුරින්ම තැබීමට සහය වන ලෙසත්, විමර්ශන කටයුතුවලට බාධා නොකර වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උපුටා ගැනීම TTV News

Social Sharing
අවකාශය පුවත්