ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවකින් හෙළිවේ.


ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් හෙළිකර තිබේ. එම වාර්තාවල සඳහන්ව ඇත්තේ අතීතයේ සිදුකර ඇති ලිංගික හිංසනයන් ප්‍රසිද්ධියේ පිළිගැනීමට හෝ අධිකරණමය නෛතික ව්‍යුහයක් තුළ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීමට රජය කඩිනමින් අවධානය යොමුකළ යුතු බවයි.

මෙම වාර්තාවලට අනුව ලංකාවේ ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනය වර්තමානයේ දැඩිව සිදුවෙමින් පවතින අතර, එමෙන්ම එවැනි සිදුවීම්වලට මුහුණදෙන වින්දිතයින් ඒවා නිහඬව විඳදරා ගනිමින් සිටින බවයි. ඒ අනුව ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනයන් පිළිබඳව කටයුතු කිරීමට නෛතික රාමුවක් තිබීම අනිවාර්යය බවද සඳහන් කර ඇති එහි වින්දිතයින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය අරමුණක් විය යුතු බවට ද අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය බොහෝ දුරට විසඳා නොමැති බවත්, දිවි ගලවා ගත් අයට, පිරිමින්ට සහ කාන්තාවන්ට, දිගු කලක් පුරා යුක්තිය අහිමි වී ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන් වේ.

“අපට සියල්ල අහිමි විය යුක්තිය සඳහා බලාපොරොත්තුව පවා” යන මාතෘකාව යටතේ, මෙම අනාවරණය සිදුකර ඇති අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් දශකයක කාලයක් පුරා සිදුකළ නිරීක්ෂණය කිරීම් මත පදනම්ව මෙම වාර්තාව නිකුත් කර ඇත.

මේ සම්බන්ධයෙන් දේශීය වගවීම ඉදිරියට ගෙන යාමට සහ පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ශ්‍රී ලංකා රජය සිය කැපවීම කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත් විශේෂයෙන් මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද කාලීන අපරාධ සඳහා වගවීම, පිළිගැනීම සහ වන්දි ගෙවීම නොමැතිකම අදටත් දිවි ගලවා ගත් අයගේ ජීවිත හැඩගස්වන දණ්ඩමුක්තියේ උරුමයක් නිර්මාණය කර ඇති බව මෙම වාර්තාවල සඳහන් වේ.

Social Sharing
පුවත්