
මම ඔහේ දුවන සහ දුවපු මිනිහෙක්. ඉතිං මෙහෙම දුවන කොට සමහර වෙලාවට මහා තාප්පවලට සෙට් වෙනවා. හෙල වෙන්න බැරි වෙනවා. පැනලා යන්නත් බෑ. පොළව හාරගෙන කිමිදෙන්නත් බෑ. දෙලොවක් අතර හිරවුණ මෙහෙම කාල කෑලි ආවාම පිස්සු හැදුනාම එක තැනකට වෙලා ඔහේ කල්පනා කරන්න හිතුනාම මේක නම් ඉරණම තමයි කියලා හිතුනාම ‘බ්ලූ’ බලන්න හිතෙනවා…
ස්ට්‍රෙස් එකට බ්ලූ එහෙමත් නැත්තං පෝන් හොඳයි කියලා කිව්වට මම මේ කියන බ්ලූ ඇවිත් එහෙම බ්ලූ එකක් නෙවෙයි. ඒක තමයි ක්‍රිස්ටොෆ් කීස්ලොව්ස්කිගේ කලර් ත්‍රිත්වයේ පළවෙනි චිත්‍රපටය, ඒකත් බ්ලූ.. සැමියාගේ සහ කුඩා දියණියගේ ඛේදජනක මරණයෙන් පීඩා විඳින ‘ජූලි’ කියන කාන්තාව තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කරන්නේ. අපි කවුරුත් ආස (බ්ලූවල ඉන්නවා නම් තවත් ආස!) ජුලියට් බිනෝචේ තමයි මේ චරිතය කරන්නේ. මේ චිත්‍රපටිය ගැන කිව්වොත් මට හිතෙන්නේ ඉරණම ගැන ආදරය ගැන නිදහස ගැන ලෝකයේ නිර්මානය වුණ හොඳම හොඳ චිත්‍රපටි බෑග් එකේ, මේකත් උඩින්ම තියෙනවා. අත බෑග් එක අස්සට දාපු ගමන් උඩට ගත්තොත් මේ ෆිල්ම් එක ගොඩක් වෙලාවට අතට අහුවෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතිං මට මේ ළඟකදී අයෙත් මේ ෆිල්ම් එක බලන්න හිතුනා. ඉතිං බැලුවා…ඒක එක කතාවක්..! ඒකත් නිල් පැහැ චිත්‍රපටියක්. නිල් පැහැය පාළුව කාංසිය මහංසිය වගේ දේවල් තමයි දනවන්නේ.
කොහොමහරි අද මම චත්‍රගේ ආයු බලන්න ගියා. ඒකත් බැලූ බැල්මට නිල් වර්ණය මූලික කරගත්ත චිත්‍රපටියක්.. චත්‍රගේ සිනමාවේ ටිකක් දුර පිහිනනකොට මට ආයෙත් අනෙක් පැත්තට ක්‍රිස්ටොෆ් කීස්ලොව්ස්කිගේ කලර් ත්‍රිත්වයේ පළවෙනි චිත්‍රපටය – බ්ලූ මතක් වුණා.
මුලින්ම කියන්න ඕනෑ චත්‍රගේ මේ චිත්‍රපටිය හරි පරිස්සමෙන් කරපු චිත්‍රපටියක්. ඒක චිත්‍රපටිය පුරාම පේන්න තියෙනවා. කැමරාව, සංස්කරණය, වර්ණ සංයෝජනය, ශබ්දය, සංගීතය මේ හැම දෙයක්ම හරියටම බෙලෙන්ඩ් වෙලා හොඳටම රසායනය වෙලා තිබෙනවා. රූප රාමුවක අඩංගුව දිහා බලනකොට ඒක පේනවා. ගොඩාක් අය ඒ ගැන කතාකරලා තිබෙනවා මම දැක්කා. ඒත් මම ආස වෙන පැත්තකින් චත්‍රගේ සිනමාව තේරුන් ගන්න.
සිනමාව කියලා කියන්නේ කාලයට. සංස්කරණය කියලා අපි එකට අමුණන්නේ කාල කෑලි. කාලය කියලා කියන්නේ ගතවෙන දෙයක්. ඒකට හැම වෙලාවෙම නියමිත චලිතයක් තිබෙනවා. නියමිත රිද්මයක් රටාවක් තිබෙනවා. රූප ඛණ්ඩයක් කියලා කියන්නේ එහෙම කාල කෑල්ලකට. චත්‍රගේ මේ ෆිල්ම් එකේ තියෙන විශ්මය තමයි, චත්‍ර මේ කියන කාල කෑලි එකට පුරුද්දනවා අපිට අසීරුවක් නොවෙන්න. අපේ මොළයට සමනැල් ගැටේ නොදා ඉන්න චත්‍ර හැමවෙලාවෙම වගබලා ගන්නවා. මෙහෙම අතීත වර්තමාන අනාගත කාලය එක රේඛාවකට අරගෙන මුසුකරන්න ගියාම ඊට අනන්‍ය රිද්මය සොයාගන්න බැරිවුණොත් නරඹන්නාට හරියට කතාව කියවගන්න බැරිවෙනවා. එහෙම වුණාම කැරකිල්ල හැදෙනවා. එහෙම කැරකිල්ල හැදෙන එක තැනක් චිත්‍රපටියේ තියෙනවා, හැබැයි ටකස් ගාලා චත්‍ර පැනලා ඩයලොග් එකකින් බලන අපිව මුදාගන්නවා. සැහැල්ලුවට ගේනවා.
චත්‍ර මේක අස්සේ ලොකු වැඩක් කරනවා. කැමරාව ඔහේ ගතවෙන කාලය හසුකරගන්නවා නෙවෙයි. කෝච්චියක් ස්ටේෂමට ළඟාවෙනකොට ඔහේ කැමරාව තියලා බලාගෙන හිටියා වගේ කතාවක් නෙවෙයි මේක. හැම සොටෙකක්ම කවියක පදයක් වගේ නිමවලා අනෙක් එකත් එක්ක අමුණලා ලස්සන කවියක් හදන්න චත්‍රට පුළුවන් වෙනවා. සමහර සිනමාකරුවන් කියනවා සිනමාව ගොඩාක්ම ළඟ කවියට කියලා. ඔව් මටත් ඒක ගොඩක් වෙලාවට හිතිලා තිබෙනවා. ඉතිං සිනමා බසින් කවි ලියන එක ලේසි නෑ. චත්‍රගේ ආයුත් කවියක් වගේ. ඒකයි මට මේක බ්ලූ එක්ක නිතරම පැටලෙන්නේ. බ්ලූ එකේ ජූලියා අනපේක්ෂිත ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ජීවිතේ සොයාගෙන යනවා. නිශ්මිත් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ජීවිතේ සොයාගෙන යන්න මහංසි වෙනවා.

චත්‍රගේ ආයු චිත්‍රපටියේ ‘නිෂ්මි’ තමන් කාලයක් තිස්සේ බලාගෙන සිටි සුබ ආරංචිය සැමියාට කියන්න තමයි ඔහු සොයාගෙන යන්නේ. ඒ අතරතුරදී තමයි මේ අනපේක්ෂිත අනතුර සිද්ධවෙන්නේ. කාර් එක කුඩුපටන්ටන් වෙලා හෞතික සරීරයත් කුඩුපට්ටම් වෙලා ඒත් ආශ්චර්‍යකින් වගේ නැවත ජීවත් වෙන්න නිෂ්මි වාසනාවන්ත වෙනවා. ඇයට ජීවිතේ එතනදී ලැබුණත් ඊළඟ මොහොතේ නැවතත් ජීවිතේ විශාල අනතුරක තමයි පැටලෙන්නේ. නිෂ්මිගේ මේ ඉරණම් ගමන තමයි චිත්‍රපටිය වෙන්නේ. මේ ඉරණම අස්සේ වේදනාව ආදරය වගේ දේවල් ලාටු වගේ ඇලිලා තියෙනවා. බ්ලූ කියන ෆිල්ම් එකේ ජූලිට සිය සැමියා ගැන අලුත් තොරතුරු දැනගන්න ලැබෙනවා මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ, ඒවා ජූලි නොදැන හිටියත් ලෝකයම දන්න දේවල්. ඒ අලුත් දැනුමත් එක්ක ජූලි තමන්ගේ අලුත් ඉරණම් ගමන යනවා. හැබැයි නිශ්මි ඊට ටිකක් වෙනස්. ඇය මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ තොරතුරු සොයාගෙන යනවා. තමන්ගේ සැමියා එක්ක එකතුවෙලා මේ ගින්නෙන් ජීවිතේ මුදාගන්න නිශ්මිට අවස්ථාව තිබ්බත් නිශ්මි ගින්න අස්සේ අතුරුදන් වෙන්න තීරණය කිරීම මට මාරයි..!
‘නිශ්මි’ත් මේ අලුත් ඇක්සිඩන්ට් එකත් එක්ක එයා එච්චර කාලයක් නොදැනගෙන හිටිය ලෝකයක් දැනගන්නවා. නිශ්මිගේ ලේ අතේ තවරගන්න නිශ්මිගේ අම්මා පවා ඒවා සොදලා දාන්න ගන්න වෙහෙස නිශ්මි දකිනවා. ඒක නිශ්මිට එච්චර කාලෙකට අහුවුණේ නැති අලුත් ජීවිත සත්‍යක්. ජූලි වගේම නිශ්මිත් ජීවිතෙන් පලායන්න උත්සාහ කරනවා. මරණය තෝරාගන්න උත්සාහ කරනවා. හැබැයි අවසානයේ තමන්ට හිමි ඉරණම වේදනාවෙන් බාර ගන්න මේ දෙන්නම පෙළඹෙනවා. මේ ෆිල්ම්ස් දෙකේ මේ ගෑනු දෙන්නගේ කතාව ගත්තාම එකම වගේ ප්‍රශ්නයකට පෙරදිග සහ අපරදිග කියන බෙදුම අස්සේ විසඳුම් දෙකක් තිබෙනවා නේද කියලා හිතෙනවා. ඔව් ඒක ඇත්ත. සිතුවිලි විශ්වයන් දෙකක්.
එක විදිහකට බලනකොට අපේ ජීවිත ගමන කියලා කියන්නේ අනතුරු මල් මාලයකට. එක අනතුරක් ඉවරවෙලා ගෙදර එනකොට තව අනතුරක් හිනාවෙලා බලාගෙන ඉන්නවා ආ වරෙන්කෝ කියලා. නිශ්මිත් සචින් හොයාගෙන මූදු වෙරළකට යනවා. අන්තිමේ ඇය ඒ මූදු වෙරළේ අතරමං වෙනවා. එතනදී ‘ආයූ’ කියන පොඩි කෙල්ල නිශ්මිගේ ඒ මංමුලා ජීවිත නිමේශය එතනින් ගලවාගන්නවා. ඇය අලුත් ඉරණම් ගමනක් පටන් ගන්නවා. ඒක කොහෙන් කෙළවර ගමනක් ද කියන්න අපි කවුරුත් දන්නේ නෑ. ඔරුව පදින්න විතරයි අපිට තියෙන්නේ. ගමනාන්තය කොහේ හෝ තැනක ලියවෙලා තිබෙනවා.
සමහර තැන්වල පොඩි පොඩි අවුල් තිබ්බත් මේ රේඛීය කතාවේ කාල අවකාශ රේඛාව එහෙන් මෙහෙන් කපලා මික්ස් කරලා අලුත් රාමුවක් නිමවලා ඒක අස්සේ ආකර්ශනීය විදිහට කතාව අපිට පිළිගන්වන්න චත්‍ර මහංසි වෙලා තිබෙනවා. සමහර විට මේ ඡේදනයන් පිළිබඳ අදහස ස්ක්‍රිප්ටුවේ ඉදලා එන්නත් ඇති. කොහොම වුණත් මේ කාල එකට මුහු කිරීම අපේ සිත් සිනමාවට අලෝනවා. ඒකට ඉතිං චත්‍රට වගේම සමනටත් මල් මිටක් දෙන්න ඕනෑ.
සමහර කාල කෑලි අස්සෙන් චත්‍ර තමන්ගේ කවිය තවත් භාවාතිශ්‍ය කරන්න හැඟීම් පුරවාලන්න එක එක මැජික් කරනවා, නිශ්මි හොඳටම බීලා වෙරළේ ඇවිදිනකොට මල් වෙඩි පත්තු කිරීම, මාව පත්තු කරපු තැනක්. සමහර බටහිර සිනමාකරුවන් තමන්ගේ රූප රාමුව අස්සෙන් අශ්වයෝ රංචු යවන අවස්ථා අපි සමහර ෆිල්ම්ස් වල දැකලා තියෙනවා. ඒවගේ ඒවා අපිට එතරම් දැනෙන්නේ නැතිවෙන්න පුලුවන්. හැබැයි මේ ෆිල්ම් එක අස්සේ චත්‍ර දාන මැජික් ගොඩක් චත්‍රගේ කවිය තව තවත් භාවාතිශ්‍ය කරනවා. මනරම් කරනවා. සවුන්දර්‍යාත්මක කරනවා. නිශ්මි බ්ලඩ් බෑන්ක් එකේ දොස්තර හමුවෙන්න එන තැන වැස්ස ඒ රූප ගත හැඟීම තවත් වැඩිකරනවා. අපිව පිස්සු කරනවා. සොලවනවා. දුම්රිය ස්ටේෂමට ළඟාවෙනකොට කැමරාව තියලා ඒක රූප ගත කරපු තැනින් සිනමාව ආරම්භ වුණා කීවට ඒ දුම්රිය එන එකට තව තවත් හැඟීම් එකතු කරන්න පුළුවන් කියන එක තේරුන් ගන්න සිනමාවට ටික කලක් ගියා. චත්‍ර එහෙම කාල කෑලි ගොඩක් විසිතුරු කරලා තියෙනවා එක එක එකතු කිරීම් හරහා. නිශ්මි ජීවත්වෙන එපාට්මන්ට් එකේ වීදුරු අස්සෙන් අපිට තරු පිරි අහසට පනින්න අවස්ථාවක් දෙනවා චත්‍ර. මට ඒ කාල කැබලති ටික හෙමිහිට එකිනෙකට මුහු වෙනකොට ආයෙත් බ්ලූ මතක් වෙනවා. ඒ ෆිල්ම් එකෙත් ඒවගේ ගොඩක් තැන් තියෙනවා. ඒවා අපි තව තවත් ජූලියා එක්ක බඳවනවා. රැහැනි කරනවා. චත්‍රත් එහෙමයි. නිශ්මි එක්ක මුලු ෆිල්ම් එක පුරාම අපිට ඉන්න පුලුවන් වෙන්නේ ඒ නිසා.
මෙහෙම චිත්‍රපටි අපේ සිනමාවේ සුලබ නෑ. කාලෙකට පස්සේ තමයි මෙහෙම හැඟීම් සිනමාවක් අස්සේ ගිලිලා දියවෙලා ගියේ. චත්‍ර, ඉක්මනින් ඉක්මනින් දිගටම චිත්‍රපටි කරහන් මචං..!
බලන්න ඉන්න එවුන්ට අසාධාරණයක් නොකර ලියන්න ට්‍රයි එකක් දුන්නා, ඒක කොයිතරම් සාර්ථක ද කියන්න මම දන්නේ නෑ..! කොහොම වුණත් කමක් නෑ ඉක්මනින් ගිහිං බලහල්ලා ලස්සන චිත්‍රපටියක්..!
