
ඔක්තෝබර් 27 යනු සීදුව, රද්දොළුව මංසන්ධියේ පිහිටි අතුරුදන් වූවන්ගේ ස්මාරකයට අතුරුදන්වූවන්ගේ පවුල්වල උදවිය පැමිණ හඬා වැටෙන දසුන් බොහෝ දෙනකු දැක තිබුණ ද, එවැනි ස්මාරකයක් එවැනි ස්ථානයක ඉදිකිරීමට හේතුව දන්නේ අතලොස්සක් පමණි. තවත් දින කිහිපයකින් යළිත් වරක් රද්දොළුවේ අනුස්මරණයක් පැවැත්වීමට නියමිතවය. මේ ලිපිය අතුරුදන් වූවන්ගේ ස්මාරකයේ පසුබිම් කතාව ගැනයි.
ඒ 1991 ඔක්තෝබර් 27 වැනිදා ය. ඒ වන විටත් ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාධරයකු වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාත්, ජයන්ති දන්දෙණිය නම් කාන්තාවකුත් ඇතුළු සුළු පිරිසක් විශේෂ අනුස්මරණ වැඩසටහනක් සීදුව, රද්දොළුව හංදියේ පල්ලිය අසලදී සිදු කළේය. 1991 ඔක්තෝබර් 27 වැනිදා පිරිසක් එක්ව අනුස්මරණයක් පැවැත්වීමේ කතාව ආරම්භ වන්නේ 1989 වසරේදීය. අද මානව හිමිකම් ක්‍රියාකාරිනියක් සහ අතුරුදන් වූවන්ගේ පවුල්වල සහ සිරකරුවන්ගේ සුබසාධනය ගැන වැඩ කරන ක්‍රියාකාරිනියක් වන ජයන්ති දන්දෙනිය එවකට කටුනායක වෙළෙඳ කලාපයේ ආයතනයක රැකියාව කළ තරුණියකි. ඇගේ පෙම්වතා එච්. එම්. රංජිත් ය. රංජිත් කටුනායක වෙළෙඳ කලාපයේ සේවය කළ අතර සේවක අයිතිවාසිකම් ගැන පෙරමුණේ සිටි කෙනෙකි.

“88-89 කාලයේ භීෂණය ඉතාමත් දරුණු විදිහට තිබුණා. වෙළෙඳ කලාපේ හා ඒ අවට බොහෝ අවස්ථාවල කම්කරුවෝ හැටියට ආයතනවල වැඩ කරපු අය සමහර දේවල්වලට පාවිච්චියට ගත්තා එයාලගේ ප්‍රශ්න විසඳා ගන්න. මමත් වෙළෙඳ කලාපේ වැඩ කළේ. සමහර වෙලාවට අපි වැඩට යනවා, පොඩි චිට් එකක් එනවා, පැයකින් දෙකකින් ආපහු අපි බෝඩිමට එනවා. රංජි අයියා වැඩ කළේ කොරියන් සමාගමකට අයත් ආයතනයක. ඒක මල් හදන සමාගමක්. එයා කියන විදිහට, ඒකේ ඉතාම දරුණු විදිහට ආයතන ප්‍රශ්න තිබුණා. රංජි අයියා තදින්ම ඒවාට විරුද්ධව මැදිහත් වුණා.” ජයන්ති තම පෙම්වතා ගැන අතීතය ආවර්ජනය කළේ එසේය.
එම කාලේ ආයතනවල වෘත්තීය සමිති සංස්කෘතියක් තිබී නැති අතර එසේ වුවද ආයතනික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා රංජිත් විශේෂ මැදිහත්වීමක් කළේය. ඔහු ලයනල් මහතා ළඟින්ම ඇසුරු කළේය. ලයනල් මහතා ඒ වෙනකොට නීති උපදේශකවරයකු ලෙස කටයුතු කළේය. වෙළෙඳ කලාපය තුළ තිබෙන බොහෝ ආයතනවල සේවකයන්ගේ ප්‍රශ්නවලට අවශ්‍ය නීතිමය උපදෙස් හා සහයෝගය ලබා දුන්නේ ලයනල් මහතාය. දෙදෙනෙක් අතර සිදු වූ ආරවුලක් නිසා, 1989 වසරේ දී රංජිත්ගේ වැඩ තහනම් විය. ආයතනයට සම්බන්ධ කිසිම තැනකට ඇතුළු නොවන ලෙස සඳහන් කරමින් රතු පාටින් ලියන ලද ලිපියක් රංජිත්ට ලැබිණි. ඔහු ඒ වනවිටත් ඔහුගේ බෝඩිමේ රැඳී සිටිමින්, ලයනල් මහතාගේ උපදෙස් පරිදි, අවශ්‍ය ලිපි ලේඛන සකස් කරමින් සිටියේය. 1989 ඔක්තෝබර් 27, හවස 4ට ආයතනය විසින් පවත්වනු ලබන විමර්ශනයට නීති උපදේශක කෙනෙකු සමග පැමිණෙන ලෙස දන්වමින් රංජිත්ට තවත් ලිපියක් ලැබිණි. ඒ අනුව අදාළ පරීක්ෂණයට තමා නීති උපදේශකයකු සමග පෙනී සිටින බව හැඳුනුම්පත් පිටපත් ද සමග රංජිත් ආයතනයට ලිඛිතව දැනුම් දුන්නේය. එම පරීක්ෂණයට ආයතනය පැත්තෙන් නීතිඥයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පෙනී සිටින බව රංජිත්ට දැන ගන්නට ලැබිණි.
“එදා සිකුරාදා. එදා උදේම මාව ෆැක්ට්‍රි එකට දාලා රංජි අයියා ගියා. හවසට විමර්ශනයට යනවා කියලයි ගියේ. එච්චරයි, ඉන් පසු ඔහු නැවත ආවේ නෑ. මං හොයනවා එයාව, ඒත් හොයා ගන්න බැහැ. මගේ බෝඩිමේ එහා පැත්තේ හිටපු නංගි දැකලා තියෙනවා රංජි අයියා තව කෙනෙක් එක්ක මඟට එනවා පාපැදියෙන්. එයා යන්ඩ ඉස්සෙල්ලා මට කිව්වා, පරක්කු වුණොත් ලයනල් අයියව බස් එකට දාලා එන්නේ කියලා. මගේ යාළුවා එයාව දැක්කා කියල කිව්වත්, මං හිතුවා ලයනල් අයියාව දාලා එන්න තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා. කොහොම වුණත් මෙයා ආවේ නැහැ.” ජයන්ති කීවාය.
ජයන්ති පසුදින උදෑසනම ඔහු වැඩ කරන ආයතනයට ගියද, ඒ වනවිටත් ආයතනය වසා තිබුණු නිසා ඇය රංජිත් සමග වැඩ කරන හිතවතකු වූ චන්ද්‍රා දේවනාරයනගේ බෝඩිමට ගියාය. රංජිත් හා ලයනල් දෙදෙනාම ආයතනයේ පැවති විමර්ශනයට ගියත් නැවත නොපැමිණි බව ඔහුගෙන්ද ඇයට දැනගන්නට ලැබුණි. ඉන්පසු දෙදෙනාම ලයනල් මහතාගේ ඒකල පිහිටි නිවස බලා පිටත් වූයේ ඔවුන් දෙදෙනා එහි ඉන්නවාද කියා දැන ගැනීමටය. ලයනල් මහතා ගෙදර ආවේ නැති බව ඔහුගේ බිරිඳ ද පැවසුවාය. ඒ වනවිට ලයනල් මහතාට කුඩා දියණියන් දෙදෙනකු ද සිටියහ. ජයන්ති නැවත බෝඩිම් වෙත පැමිණෙන විට ඒ අවට සියල්ලෝම මේ දෙදෙනාගේ අතුරුදන් වීම ගැන දැන සිටියහ.
“ඇත්තටම අපි ප්ලෑන් කරලා තිබ්බේ රංජි අයියා ඉන්ක්වරී එකට යනවා, ඒක ඉවර වෙලා ඇවිල්ලා එයාගේ අම්මව බලන්න යන්න. අපේ අම්මට ලියුමක් දාල තිබ්බේ, කිරියි, මාළුයි අරන් එන්න කියල එයාගේ අම්මට ගෙනියන්න, අම්මා එනවා මාතර ඉඳලා ඒවත් අරගෙන 28 වෙනිදා, එතකොට මෙයා නැහැ. ඒ වෙනකොට සිස්ටර්ලත් ඇවිල්ලා හිටියේ මගේ බෝඩිමට. අම්මව බෝඩිමේ තියලා සිස්ටර් මාව කටුනායක කොන්වන්ට් එකේ තියාගෙන හිටියා. ඒ වෙනකොට සරත් ඉද්දමල්ගොඩ පියතුමාත්, ක්‍රිස්ටී කන්‍යා සොයුරියත් මේක දැනගෙන. සිස්ටර් මට සුරවීර කියල කෙනෙක්ව හඳුන්වලා දුන්නා. සුරවීර හොඳට දන්නවා ලයනල් අයියලව. සුරවීර කිව්වා, මෙහෙ බ්‍රිටෝ කියලා අයියා කෙනෙක් ඉන්නවා එහෙට යමු කියල. අපිට කියන්න වෙන කෙනෙකුත් නැහැනේ.” ජයන්ති ඒ කීවේ බ්‍රිටෝ ප්‍රනාන්දු ගැනය. බ්‍රිටෝ ප්‍රනාන්දු මානව හිමිකම් ක්‍රියාධරයකි. විශේෂයෙන්ම අතුරුදන් වූවන්ගේ අයිතිවාසිකම් ගැන වසර ගණනක් තිස්සේ හඬ නගන අව්‍යාජ මිනිසෙකි.

පොලිසියෙන් බැණුම්
බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ නිවසට සුරවීර සමග ජයන්ති ඔක්තෝබර් 30 වෙනිදා උදේ 6 පමණ වනවිට ගියහ. සුරවීර සිද්ධිය මුල සිට බ්‍රිටෝට පැවසීය. වාසුදේව නානායක්කාර මහතාට දුරකතනයෙන් මේ සිදුවීම ගැන බ්‍රිටෝ දැනුම් දුන්නේය. ඉන් අනතුරුව ඔහුගේ ජාඇල පදිංචි අයියාට දුරකථන ඇමතුමක් ගෙන කතා කළේය. ඔහුගේ සහෝදරයා වෑන් රථයකින් ජාඇල සිට කටුනායක වෙළෙඳ කලාපය දක්වා සේවකයන් ප්‍රවාහන කටයුතු සැපයීම කළේය. ඔහුගේ වෑන්රථය ඔක්තෝබර් 27 වෙනිදා එස්. අයි. උඩුගම, පොලිස් නිලධාරියා විසින් රැගෙන ගොස් ඇති බව දැනගන්නට ලැබිණි. ඒ අනුව ලයනල් හා රංජිත් දෙදෙනා නැති වූ වෙලාවත් මෙම වාහනය පොලිසියෙන් ගත් වෙලාවත් සමග බලද්දි යම් සැකයක් තිබෙන බව බ්‍රිටෝ පැවසීය.
දවස් කිහිපයකට පසු, ජයන්ති ඉද්දමල්ගොඩ පියතුමා සහ ක්‍රිස්ටි කන්‍යා සොයුරිය සමග පැමිණිල්ලක් දැමීම සඳහා කටුනායක පොලිසියට ගියාය. නමුත් පොලිසියෙන් පැමිණිල්ල ලියාගන්නවා වෙනුවට කර ඇත්තේ ජයන්තිට බැණ වැදීමයි. පොලිසියේ හැසිරීම ගැන ජයන්ති මෙසේ ප්‍රකාශ කළාය.
“මට හොඳට මතකයි, මට බැන්නා. තමුසෙගෙ මිනිහා අපිට උස්සාගෙන යන්න වුවමනාවක් නැහැ. අතුරුදන් කරන්න ඕනේ නැහැ. තමුසෙගෙ මල්ලිත් නැතිවෙලානේ, එයාලම මේක කරන්න ඇති. අපි එහෙම්ම ආවා, ඇවිල්ලා ගියා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ ගෙදර. එතන ඉඳන් කතාව එන්නෙ ජෙයරාජ් ඇමැතිතුමාගේ කට උත්තරයත් එක්ක. එයා සීඅයිඩී එකට සහ ඒඑස්පී ඔෆිස් එකට මේක ගැන කටඋත්තර දුන්නා. ඒ සියලු කටඋත්තරවල ඉතාම පැහැදිලිව, මෙයාලගේ නම්ගම් එක්ක, මෙයාලා අරගෙන ගිය හේතුව තියෙනවා.” ජයන්ති කීවාය.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ලබා දුන් කටඋත්තරයට අනුව, විමර්ශනය සිදු කර ඇත්තේ, රංජිත් සේවය කළ ආයතනයේ පිරිස් කළමනාකාරිනියයි. රංජිත්ගෙන් ප්‍රශ්න අසන සෑම වෙලාවකදීම ඇය මඟ හැර ගිය බවත්, හවස 4.30 පමණ පටන් ගත් විමර්ශනය 7.15 පමණ වෙනකන් පැවැත්වුණු බවත්, විමර්ශනය ප්‍රමාද කරන ලෙසට අදාළ කළමනාකාරිනිය තමාට උපදෙස් දුන් බවත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබේ. ඇය විමර්ශනය අවසන් වූ සැනින් ඇගේ කාමරය වෙත ගොස් දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. “කටුනායක පොලිසියෙන් ද කතා කරන්නේ, මගේ වැඩේ ඉවරයි. උඩුගමට කියන්න කියලා” ඇය පවසනු ජෙයරාජ්ට ඇසිණි. සාමාන්‍යයෙන් වෙළෙඳ කලාපයේ ආයතනයක විමර්ශනයක් සිදු කිරීමට නම් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතු වුණත් මෙම විමර්ශනයේදී එසේ අවසර ගැනීමක් සිදුවී නොමැති බව ද කියැවිණි.
“විමර්ශනය අතරතුර ජෙයරාජ්ගේ කකුල වැදිලා තියෙනවා අර දෙන්නගේ එක්කෙනෙකුගේ කකුලක. මේසය යටින් බලද්දී, ඔහුගේ සපත්තු දෙකට සමාන සපත්තු දෙකක් තමයි එක්කෙනෙක් දාගෙන ඉඳලා තියෙන්නේ, ඇත්තටම රංජිත්ට සපත්තු දෙකක් නැතුව, එදා දා ගෙන ගියේ යාළුවෙකුගේ කැන්වස් සපත්තු දෙකක්.” ජයන්ති තවදුරටත් විස්තර කළාය.
බාගෙට පිළිස්සුණු මළසිරුරු
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ රද්දොළුව නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ලේකම් කෙනකු ඔක්තෝබර් 28 වෙනිදා උදෑසන බාගෙට පිච්චුන මළසිරුරු දෙකක් රද්දොළුව හන්දියේ තිබෙන බව ජෙයරාජ්ට දුරකථන ඇමතුමකින් දැන්වීය. ඉන් එක් අයකු ජෙයරාජ්ගේ සපත්තුවලට සමාන සපත්තු දෙකක් දාගෙන ගෙන ඇති බවත් ලේකම් පැවසීය. ඒ අනුව සීදුව රද්දොළුවේ තිබුණු මළසිරුරු දෙක ජයන්තිගේ පෙම්වතාගේ සහ පෙම්වතාගේ නීති උපදේශකගේ බව ජෙයරාජ් දැනගත්තේය.
“මෙයාලව අත්අඩංගුවට අරගෙන සීදුව පොලිසියට අරගෙන ගිහිල්ලා, එළිවෙනකන් පොලිසියේ කොට්ටම්බා ගහක් යට තියාගෙන ඉඳලා තියෙනවා. එතන ඉඳලා උදේ පාන්දර මෙයාලව අරගෙන ගිහිල්ලා රද්දොළුව පල්ලිය ඉස්සරහා මරලා දාලා තියෙන්නේ. මෙයාලව අරගෙන ගිහිල්ලා, මෙයාලට බහින්න කියලා, ඉස්සරහට දුවන්න කියල තමයි වෙඩි තියලා තියෙන්නේ. එතකොට බාගෙට තමයි මැරිලා තියෙන්නේ. ටයර් දාලා පුච්චලා මෙයාලව. එතන තියෙනවා පලතුරු කඩයක්, ඒකෙ තියෙන ලෑලිත් දාලා, පෙට්‍රල් දාලා ගිනි තියලා තියෙන්නේ. ඒකත් බාගෙට. මෙයාලා අතුරුදන් වුණේ නැහැ. මැරුවා මරලා මිනිය අරං ගියා. මිනිය කොහෙද කියලා තාම දන්නේ නැහැ. මිනීමරුවෝ තවම ඉන්නවා. ජෙයරාජ්ගේ කටඋත්තරයේ පැහැදිලිව මේ ගැන තියනවා.” වසර ගණනක් තිස්සේ තම පෙම්වතාට යුක්තිය සෙවූ ජයන්ති පැවසුවාය.
බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා, ජයන්ති මහත්මිය ඇතුළු පිරිස් එකතු වී බොහෝ දෑ සිදු කළ ද අඩුතරමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක්වත් සිදු කළේ නැත. “අපිට ඕනේ වුණේ මෙයාලව උසාවියකට හරි දාන්න. කතා කරවන්න. අපි පෝස්ටර් ගැහුවා. පඹයි හැදුවා. උඩුගමගේ, කළමනාකාරිනියගෙයි ෆොටෝ අරන් පඹයි හදල එයාර්පෝර්ට් පාරේ පිච්චුවා.” ජයන්ති කීවාය.
රංජිත් සහ ලයනල්ට පමණක් නොව තවත් ලොකු පිරිසකට යුක්තිය ඉල්ලමින් සිටි බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් රංජිත් සහ ලයනල් සිහිකරමින් 1991 ඔක්තෝබර් 27 වැනිදා සීදුව රද්දොළුවේ පල්ලිය අසල මේ දෙදෙනා පණපිටින් පිළිස්සූ ස්ථානයට ගොස් අනුස්මරණයක් පැවැත්වීය. එදා ඊට සහභාගි වූයේ ඉතා සුළු පිරිසකි. රද්දොළුව පල්ලියට ගොස් මල් තියා ආගමික වතාවත්වල නිරත වූ බ්‍රිටෝ, ජයන්ති ඇතුළු පිරිස ඉන් අනතුරුව රංජිත් හා ලයනල් අත්අඩංගුවට ගත් කටුනායක 18 කණුව අසලදී ද ආගමික වතාවත්වල නිරත වූහ. සුසන්ත පියතුමා හා සමිත ස්වාමින් වහන්සේ ආගමික කටයුතු කිරීමට මුල් වී තිබිණි. එතැන් පටන් සෑම වසරකම විවිධ වෙනස් කටයුතු සිදු කරමින් අනුස්මරණ වැඩසටහන මේ වනතුරු පවත්වන්නට බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිස කටයුතු කරති. තවද ඔවුන් විසින් “නිවේකා” නමින් පුවත්පතක් ද මුද්‍රණය කරමින් ඔවුන් සිදු කරන කටයුතු පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කෙරේ.
වසර 36ක අරගලය
එදා රංජිත්ගේ පෙම්වතිය වූ ජයන්ති දන්දෙණිය 1989 වසරේ සිට මේ වෙනතෙක් වසර 36 කට ආසන්න කාලයක් පුරාවට අතුරුදන් වූවන් වෙනුවෙන් යුක්තිය ලබා ගැනීම වෙනුවෙන් අරගල කරන්නීය. දකුණු කොරියාවේ, මැයි 18 පදනම මඟින් 2003 වසරේ “මානව හිමිකම් සම්මානය” ජයන්ති මහත්මියට ලබා දුණි. තම කාර්යයන් තුළින් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය ප්‍රවර්ධනය කිරීමට සහ ඉදිරියට ගෙන යෑමට දායක වූ කොරියාවේ සහ විදේශයන්හි පුද්ගලයින්, කණ්ඩායම් හෝ ආයතන අගය කිරීමට මෙම සම්මානය වාර්ෂිකව පිරිනමයි. ජයන්ති මහත්මියට මෙය ලැබීමට පෙර 2001 වසරේදී මෙම සම්මානය නීතිවේදියෙක්, දක්ෂ ලේඛකයෙක්, කවියෙක්, මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නීතිඥ ඩබ්ලිව්. ජේ. බැසිල් ප්‍රනාන්දු මහතාට හිමි වී ඇත. 2018 වසරේ මෙම සම්මානය රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ වින්දිතයින්ට උපකාර කිරීම සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් නන්දන මනතුංග පියතුමාට පිරිනමා ඇත. 2024 මානව හිමිකම් සඳහා වූ ග්වාංජු ත්‍යාගය ශ්‍රී ලංකාවේ දෙමළ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන සුගන්තිනී මතියමුතන් තංගරාසා වෙත පිරිනමන ලදී. මැයි 18 අනුස්මරණ පදනම විසින් පිරිනමන ලද මෙම සම්මානය, ප්‍රචණ්ඩත්වය සහ මර්දනයෙන් පීඩාවට පත් වූ කාන්තාවන්, විශේෂයෙන් ලිංගික හිංසනයෙන් සහ මුල්ලිවයික්කාල් ජන සංහාරයෙන් දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඇයගේ කාර්යය අගය කර ඇත. ජයන්ති ඇගයීමට ලක්වුණේ එලෙසිණි.
එදා බ්‍රිටෝ ප්‍රනාන්දු, ජයන්ති දන්දෙණිය ඇතුළු පිරිසක් ආරම්භ කළ මෙම ඔක්තෝබර් 27 අතුරුදන්වූවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනෙහි සන්ධිස්ථානයක් 2000 වසරේ දී සනිටුහන් විය. ඒ අතුරුදන්වූවන් ලොකු පිරිසකගේ ඡායාරූප සහිතව ‘කඳුළු බිත්තිය’ නමින් ස්මාරකයන් රද්දොළුවේ ඉදි කෙරිණි. මරණයට පත්වූවන් වෙනුවෙන් සොහොන්, ස්මාරක ඉදි කළ ද අතුරුදන්වූවන් වෙනුවෙන් මෙවැනි ස්මාරකයන් නිර්මාණය වූ පළමු අවස්ථාව එය විය. එතැන් සිට ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට අතුරුදන් වූවන්ගේ පවුල්වල උදවිය ඔක්තෝබර් 27 වැනිදා රද්දොළුවට පැමිණ තම අතුරුදන් වූවන් සමරති.
අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව මඟින් මෙවර පැවැත්වීමට සූදානම් කර තිබෙන්නේ 35 වැනි අනුස්මරණ වැඩසටහනයි. ඊට සහභාගි වන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඊ මේල් ඔස්සේ ඔක්තෝබර් 7 වැනිදා එම සංවිධානයේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ආරාධනා කර ඇත.
1988 වසරේ සිට වසර දෙකක පමණ කාලයක් තුළ ලංකාවේ විශාල පිරිසක් අතුරුදන් කෙරිණි. රංජිත් සහ ලයනල් යනු එයින් දෙදෙනකු පමණි. රංජිත් සහ ලයනල්ට මෙන්ම එලෙස අතුරුදන් කෙරුණු බොහෝ පවුල්වලට තවම යුක්තිය ඉෂ්ට වී නැත. බ්‍රිටෝ ප්‍රනාන්දුලා, ජයන්ති දන්දෙනියලා තවමත් අතුරුදන් වූවන්ට යුක්තිය සොයමින් සටන් කරති. දැන් ආණ්ඩු කරන්නේ 88/89 කාලයේ වැඩියෙන්ම බැට කෑ දේශපාලන පක්ෂයකි. එසේ හෙයින් එම කාලයේ බලහත්කාරයෙන් අතුරුදන් කළවුන්ට යුක්තිය ඉටු කිරීම සඳහා වර්තමාන ආණ්ඩුවට ඇත්තේ අත්හළ නොහැකි වගකීමකි. වසර 30කටත් වැඩි කාලයක සිට ඔක්තෝබර් 27 වැනිදා සීදුවට පැමිණ කඳුළු සලන සියලු දෙනාටත්, සීදුවට නොපැමිණිය ද ගෙවල්වල සිට කඳුළු සලන සියලු දෙනාටත් යුක්ති ඉටු කිරීම කඩිනම් කිරීම බලාපොරොත්තු විය හැකි අවසන් ආණ්ඩුව ද වර්තමාන ආණ්ඩුවම බව පිළිගත යුතුය. යුක්තිය යනු හුදු අකුරු හතරක් පමණක් නොවේ.
තරිඳු ජයවර්ධන, දිලිණි රණේපුර – දිවයින
