
ලෝකයේ දියුණු රටවල ජනතාවගෙන් මිලියනයකට විනිසුරුවරුන් 40ක් හෝ 60ක් සිටියද ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියනයකට සිටින්නේ විනිසුරුවරුන් 19 දෙනෙක් පමණක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
නඩු ප්‍රමාදයට මෙම තත්ත්වයන් හේතුවක් බවට පත්ව තිබුණද නඩු ප්‍රමාදය අවම කිරීමේ ක්‍රියාවලියේ දී මෙරට විනිසුරුතුමන්ලා විශාල කාර්යභාරයක් සිදු කරන බව ද අමාත්‍යවරයා කීය.
යුක්තිය පසිඳලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 202 ක මුදලක් වැය කරමින් අභිනවයෙන් ඉදිකරන ලද පුත්තලම නව අධිකරණ ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමින් අමාත්‍යවරයා මේ බැව් ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය.
ලෝකයේ දියුණු රටවල ජනතාවගෙන් මිලියනයකට විනිසුරුවරුන් හතළිහක් හෝ හැටක් ඉන්නවා. නමුත් අපේ රටේ මිලියනයකට ඉන්නේ විනිසුරුවරුන් 19 දෙනෙක් පමණයි. නඩු ප්‍රමාදයට මෙම තත්ත්වයන් හේතූන් බවට පත්ව තිබෙනවා. නඩු ප්‍රමාදය අවම කිරීමේ ක්‍රියාවලියේ දී විනිසුරුතුමන්ලා විශාල කාර්යභාරයක් සිදු කරනවා. පසුගිය කාලයේ සිදු වූ ආර්ථිකයේ බිඳ වැටීමත් සමඟ සියලු ක්ෂේත්රයන් කඩා වැටුණා. නතර වී තිබු සියලු ක්ෂේත්රවල කටයුතු අපේ රජය බලයට ඇවිත් නැවත ආරම්භ කරනු ලැබුවා.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල පුරප්පාඩු 6021 ක් පැවතුණා. ඉන් 1024 ක් බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. වත්මන් රජය මහජනතාවගේ බදු මුදල්වලට බරක් වෙන්නේ නැහැ. අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමටයි. ඒ වෙනුවෙන් සිදු කළ යුතු සියලු පියවර ගන්නවා.

පුත්තලම කාති අධිකරණය සඳහා විනිසුරුවරයෙක් ලබාදීමට සහ කල්පිටිය අධිකරණ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කඩිනම් කිරීමට කටයුතු කර තිබෙනවා. අධිකරණ කටයුතු වෙනුවෙන් යටිතල පහසුකම් සැපයීම අධිකරණ අමාත්‍යාංශය සිදු කළත් ඒ ඒ පළාත් වෙනුවෙන් අධිකරණ ස්ථාපිත කිරීමේ කාර්ය සිදු කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂම් සභාවයි. 2022 වසරේ දී සුළු හිමිකම් අධිකරණ හඳුන්වාදී තිබුණත් දැනට සුළු හිමිකම් අධිකරණ ස්ථාපිත කර ඇත්තේ මාතර සහ මහනුවර පමණයි. ඒ අනුව සුළු හිමිකම් අධිකරණයක් වෙනුවෙන්ද පහසුකම් මෙම අධිකරණ ගොඩනැඟිල්ල තුළ ස්ථාපිතයි. 2023 අංක 29 දරන සිවිල් නඩු විධාන සංග්‍රහයට කළ සංශෝධනය මඟින් පූර්ව නඩු විභාග ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවා. එම පූර්ව නඩු විභාග අධිකරණයක් ස්ථාපිත කිරීමේ පහසුකම්ද මේ ගොඩනැඟිල්ල තුළ පවතිනවා.
පුත්තලම අධිකරණ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 202 ක මුදලක් වියදම් කර තිබෙනවා. අධිකරණ පද්ධතිය තුළ යටිතල පහුසකම් ඇතුළු ගැටලු තිබෙනවා. මේ ගැටලු අර්බුද රටේ සෑම ක්ෂේත්රයකම පවතින බව සඳහන් කළ යුතුයි.
නොරොච්චෝල විදුලි බලාගාරයෙන් ඉවත් කරන ලද අළුවලින් සකස් කළ ගඩොල් භාවිත කරමින් අධිකරණ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සිදු කර ඇති අතර, විවෘත කිරීමෙන් පසුව ඉදිකිරීම් සිදු කළ පෙදරේරු මහතා සමඟ හමුවී සුහද කථා බහක ද අධිකරණ අමාත්‍යවරයා නිරත විය. නව අධිකරණ ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පුත්තලම අධිකරණයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක්ද අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
