
මාර්තු මාසය මුල, ඉරාන යුද්ධය ආරම්භ වූ අලුතම අප විසින් ලියා පළ කළ “දිට්වා හානිය සහ ඉරාන යුද්ධයේ හානිය” ලිපියේ මෙසේ ලියා තිබෙනවා.
“සංචාරක කර්මාන්තයේ ආදායම් අඩුවීම සහ ඉන්ධන ආනයන වියදම ඉහළ යාම පමණක් සැලකුවත් ජංගම ගිණුමට මාසයකට ඩොලර් මිලියන 212ක පමණ අමතර බරක් වැටෙනවා. මේ තමයි ජංගම ගිණුමට දරා ගන්න පුළුවන් උපරිම ආතතිය. පසුගිය මාස වල මහ බැංකුව විසින් සාමාන්‍ය අගයක් ලෙස ඔය ප්‍රමාණයට කිට්ටු විදේශ විණිමය ප්‍රමාණයක් මාසයකට වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙන නිසා, සංචිත විකුණන්නේ නැතිව ඩොලර් මිලියන 212ක අඩු වීමක් දරා ගන්න පුළුවන්. එකම දේ සංචිත එකතු කර ගන්න වැඩේ තව දුරටත් කරන්න වෙන්නේ නැහැ.”
“අපේ ප්‍රාර්ථනාව වන්නේ යුද්ධය ඉක්මණින්ම අවසන් වීම වුවත්, යම් හෙයකින් මාස දෙක පැන්නොත් තත්ත්වය හිතනවාට වඩා ගොඩක් දරුණු වෙන්න පුළුවන්. ”
දැන් මේ ලිපියේ කියපු මාස දෙක පැනලා. යුද්ධය තවමත් අවසන් වී නැහැ. ඒ වගේම අවසන් වන දිනය පිළිබඳව පුරෝකථනය කරන්නත් අමාරුයි. මේ වෙද්දී යුද්ධයේ බලපෑම ලංකාවේ විදේශ අංශය කෙරෙහි බරපතල ලෙස දැනෙමින් තිබෙනවා. පෙබරවාරි 27 දින රුපියල් 309.31ක්ව පැවති ඩොලරයක මැදි මිල ඊයේ මැයි 4 වන විට රුපියල් 319.93 දක්වා ඉහළ ගොස් තිබීම තුළ පිළිබිඹු වන්නේ මෙම බලපෑමයි.
වසරේ පළමු මාස දෙකක කාලය තුළ රටේ විදේශ අංශයේ ඉතා හොඳ තත්ත්වයක් දැකිය හැකිව තිබුණා. මේ තත්ත්වය කණපිට හැරුණේ යුද්ධය ආරම්භ වීමෙන් පසුවයි. මාර්තු මාසය තුළද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී ඇතත්, එය ඩොලර් මිලියන 44.6ක, සාපේක්ෂව අඩු, අතිරික්තයක්. ජනවාරි හා පෙබරවාරි දෙමස තුළ ඩොලර් මිලියන 486.9ක අතිරික්තයක් වාර්තා වී තිබුණා.
මාර්තු මාසයේ අතිරික්තය අඩු වීම නිසා පළමු කාර්තුවේ සමස්ත ජංගම ගිණුම් අතිරික්තය ඩොලර් මිලියන 531.5කට සීමා වී ඇති අතර එම අතිරික්තය 2025 පළමු කාර්තුවේ ජංගම ගිණුම් අතිරික්තය වූ ඩොලර් මිලියන 947.7ට වඩා 43.9%කින් අඩුයි.
ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු තවත් හේතු නිසා මාර්තු මාසයේ ආනයන වියදම පෙර වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 30.3%කින් ඉහළ ගොස් ඇති අතර අපනයන ආදායම් වැඩි වී තිබෙන්නේ 1.0%කින් පමණයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, පෙර වසරේ ඩොලර් මිලියන 395.6ක් වූ වෙළඳ හිඟය ඩොලර් මිලියන 879.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සාමාන්‍යයෙන් ලංකාවේ වෙළඳ හිඟයෙන් සැලකිය යුතු කොටසක් පියැවෙන්නේ සේවා ගිණුමේ අතිරික්තයෙන්. එහෙත්, ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම හැරුණු විට, යුද්ධයේ හානිය වැඩිපුරම බලපා තිබෙන්නේ සේවා ගිණුමටයි. මාර්තු මාසයේ සේවා ගිණුමේ අතිරික්තය පෙර වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 42.4%කින් පහත වැටී තිබෙනවා. ඊට ප්‍රධානම හේතුව සංචාරක කර්මාන්තයේ ඉපැයීම් 36.8%කින් පහත වැටී තිබීමයි.
ඉහත තත්ත්වයන් හමුවේ වුවද, ප්‍රාථමික ආදායම් ගිණුම හරහා පිටතට යන විදේශ විණිමය අඩු වීම සහ ද්වීතියික ආදායම් ගිණුමේ (ශ්‍රමික ප්‍රේෂණ) ලැබීම් ඉහළ යාම නිසා මාර්තු මාසය තුළ ජංගම ගිණුමේ හිඟය පියැවී අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.
මාර්තු මාසය තුළ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වුවද, නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 243.6කින් පහත වැටී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ මූල්‍ය ගිණුම හරහා ඩොලර් මිලියන 288ක පමණ මුදලක් රටින් ගොස් ඇති බවයි. මාසය තුළ විදේශිකයින් සතු වූ භාණ්ඩාගාර බිල්පත් ආයෝජන විකුණා ඩොලර් මිලියන 63.9ක මුදලක් රටින් එළියට ගෙන ගොස් ඇති අතර ඩොලර් මිලියන 10.2ක කොටස් ආයෝජනද එලෙසම විකුණා දමා තිබෙනවා. මෙය රුපියල ඉක්මණින්ම අවප්‍රමාණය වන බව පුරෝකථනය කළ හැකි වූ විට විදේශ ආයෝජකයින් හැසිරෙන සාමාන්‍ය ආකාරයයි. බිල්පත් පොලී අනුපාතික මත යම් පීඩනයක් ඇති වී තිබීමද මෙමගින් පැහැදිලි කෙරෙනවා.
අප්‍රේල් මාසය හා අදාළ සංඛ්‍යාලේඛණ තවමත් ඉදිරිපත්ව නැතත්, ඩොලරයක මිල ඉහළ යාම අනුව, පවතින තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැහැ. අප්‍රේල් මාසය තුළ රටට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය 135,643ක් පමණයි. මෙහි පසුගිය වසරට සාපේක්ෂව (174,608) 28.7%ක අඩු වීමක් දැකිය හැකියි. මැයි හා ජූනි යනු සාමාන්‍ය තත්ත්වයන් යටතේ වුවද ලංකාවට අඩුවෙන්ම සංචාරකයින් පැමිණෙන මාසයි. මෙම තත්ත්වය සමඟ ලෝක තෙල් මිලෙහි වත්මන් ප්‍රවණතාද, රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ආපසු යමින් තිබීමද සැලකිල්ලට ගනිද්දී ඉදිරි දෙමස තුළ විදේශ අංශය තුළ පීඩනය තවත් වැඩි වන ආකාරයක් මිස අඩු වන ලකුණු පෙනෙන්නට නැහැ.
මූල්‍ය අරමුදලේ වාරික දෙකක් එක වර ලැබීමට නියමිතව තිබුණත්, මෙම සතිය තුළද ශ්‍රී ලංකාවේ ණය වාරික පිළිබඳව සාකච්ඡා කිරීම මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල න්‍යාය පත්‍රයට ඇතුළත් කර නැහැ. ආණ්ඩුව විසින් බදු සංශෝධන ඉදිරිපත් කරමින් සිටින ආකාරය නිරීක්ෂණය කරද්දී නිගමනය කළ හැක්කේ මෙම වාරික දෙක ලබා දීමට පෙර රජය විසින් කළ යුතුයැයි නිර්දේශ කර ඇති යම් යම් දේ තිබෙනවා විය හැකි බවයි. අරමුදලේ වාරික දෙක ලැබීමෙන් පසුව ඩොලරයක මිල මත වන පීඩනයේ යම් පාලනයක් සිදු විය හැකියි.
මහ බැංකුව විසින් ඉන්දියාවට, චීනයට හා මූල්‍ය අරමුදලට ගෙවිය යුතුව තිබෙන විදේශ ණයද සැලකිල්ලට ගත් විට, විදේශ අංශය තුළ පවතින හා අපේක්ෂිත අභියෝගාත්මක වාතාවරණය හමුවේ, මෙම වසර තුළ නිල විදේශ සංචිත ගොඩ නගා ගැනීම හා අදාළව ප්‍රගතියක් අපේක්ෂා කිරීම අසීරුයි. ඒ හේතුවෙන්, 2022දී මෙන් ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් සිදු නොවනු ඇති නමුත් දැනට ක්‍රියාත්මක ස්ථායීකරණ වැඩසටහන අවසන් වීමෙන් පසුව ඉදිරි වසරේදී මූල්‍ය අරමුදල සමඟ තවත් අලුත් ගිවිසුමකට ඇතුළත් වීමට සිදු විය හැකි බව දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වයයි.
