
ශ්‍රී ලංකාවට නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටි පිරිසක් සම්බන්ධ වීම ජාත්‍යන්තර වශයෙන් රටට මහත් අපකීර්තියක් ගෙන දී ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා අවධාරණය කරන්නේ, මෙවැනි ශාසනික විලෝපනයන් වැළැක්වීම සඳහා අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ කාරක සංඝ සභාවන්ට නෛතික බලය ලබා දෙන ‘ථේරවාදි භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත’ නොපමාව නීතිගත කළ යුතු බවයි.
ජාත්‍යන්තර අපකීර්තිය සහ නීතිය ක්‍රියාත්මක කිරීම:
විසි දෙදෙනෙකුගෙන් (22) සමන්විත භික්ෂු ප්රතිරූපකයන් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට පත්වීමේ පුවතින් තමන් මහත් කම්පනයට පත්වූ බව ජයසූරිය මහතා සඳහන් කළේය. ශ්‍රී ලාංකේය සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ මූලික පදනම වූ භික්ෂූන් වහන්සේලාගේ ගෞරවයට මුවා වෙමින් සිදුකර ඇති මෙම බැරෑරුම් අපරාධය සම්බන්ධයෙන් තරාතිරම නොබලා තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
නෛතික රාමුවේ අවශ්‍යතාවය:
වත්මන් නීති පද්ධතිය හරහා අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට හැකි වුවද, ශාසනික පාරිශුද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී මහානායක ස්වාමීන් වහන්සේලා හමුවේ පවතින නෛතික බාධා ඉවත් කිරීම ජාතික වගකීමක් බව නිවේදනය මගින් අවධාරණය කෙරේ.
මේ සඳහා, මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ඇතිව රජයට ඉදිරිපත් කර ඇති යෝජනා අතර:
ථේරවාදි භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත සම්මත කිරීම.
විහාර හා දේවාලගම් පනතෙහි 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම ප්රමුඛ වේ.
2015 සිට ප්‍රමාද වන පනත:
මෙම අරමුණු වෙනුවෙන් සකස් කරන ලද පනත් කෙටුම්පත 2015 දෙසැම්බර් 11 වන දින ගැසට් පත්‍රයේ පළ කර තිබුණද, එය බලාත්මක කරගැනීමට මේ දක්වා නොහැකි වීම කණගාටුවට කරුණක් බව කරු ජයසූරිය මහතා පවසයි. එවැනි නෛතික බලයක් තහවුරු වන තුරු ශාසනය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට මහා සංඝරත්නයට බලයක් හිමි නොවන බව ඔහු පෙන්වා දෙයි.
එබැවින්, ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින්නේ, මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ථේරවාදි භික්ෂු කතිකාවත් පනත වහාම සම්මත කර, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රාජ්‍යයේ වගකීම ඉටු කරන ලෙසයි.
උපුටා ගැනීම Lakvahini
