බොරු චෝදනාවලට තවත් හිස නමන්න එපා! – නීතිඥ නලින්ද දිසානායක

“අනේ අපිට නඩු කියන්න සල්ලි නෑ.”  “පොලිසියත් එක්ක හැප්පිලා දිනන්න බෑ.” “බොරුවට හරි චෝදනාවක් දැම්මොත් ඉතින් ඉවරයි.”

මේ, අපේ රටේ බොහෝ සාමාන්‍ය මිනිසුන්ගේ හදවත් තුළ හොල්මන් කරන බියකරු සිතිවිලිය. පොලිසිය විසින් ද්වේෂ සහගතව පටවන, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වැනි බරපතල බොරු චෝදනා හමුවේ අසරණ වී, තමන්ගේ ජීවිතයම අඳුරේ ගිලී යනු ඇතැයි සිතා සුසුම්ලන දහස් ගණනක් අප අතර සිටිති.

නමුත් ඒ අසරණභාවයේ අඳුර පලවා හරිමින්, බලාපොරොත්තුවේ සහ ධෛර්යයේ පහන් තරුවක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා (2025.10.10) ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවක් ගැන ඔබ දැනගත යුතුමය. මෙය, අසාධාරණයට එරෙහිව නැගී සිටින්නේ කෙසේදැයි අප සැමට කියාදෙන අගනා පාඩමකි.

අළු ගසා නැගී සිටි අහිංසකයෙකුගේ කතාව

​නඩු අංකය SC FR 259/2016 මේ කතාවේ ප්‍රධාන චරිතය, කොට්ටාවේ පදිංචි විතානගේ සුනිල් මහතාය මොහු වෘත්තියෙන් බස් රථ රියදුරු මහත්මයෙකි. 2016 ජූලි 09 වන දින, කොට්ටාව පොලිසියේ නිලධාරීන් විසින් ඔහුව අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගන්නා ලදී. එතැන් සිට දිගහැරුණේ පොලිස් කුමන්ත්‍රණයක බිහිසුණු තිරනාටකයයි.

කුමන්ත්‍රණයේ උපත

තමන් සිදුකළ පහරදීම වසන් කිරීම සඳහා, පොලිසිය විසින් සුනිල් මහතා ළඟ හෙරොයින් මිලිග්‍රෑම් 550ක් තිබූ බවට ව්‍යාජ චෝදනාවක් ගොනු කරන ලදී.

යුක්තිය මගහැරීම

පහරදීම නිසා තුවාල ලබා සිටි සුනිල් මහතාව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළත්, පොලිසිය එය මගහැරියේය.

ව්‍යාජ වෛද්‍ය වාර්තාව

ඉදිරිපත් කළ පළමු වෛද්‍ය වර්තාවේ (වෛද්‍ය නවසිවායම් විසින්) සඳහන් වූයේ ඔහුට “කිසිදු බාහිර තුවාලයක් නොමැති” බවයි. (පසුව අධිකරණයේදී එම වෛද්‍යවරයාට තමන් පරීක්ෂා කළේ සුනිල් මහතාවමදැයි හඳුනාගැනීමට පවා නොහැකි විය).

සත්‍ය හෙළිවීම

නමුත් සුනිල් මහතා සහ ඔහුගේ නීතිඥවරයා සටන අත්හැරියේ නැත. මහේස්ත්‍රාත්වරයාගේ දැඩි නියෝග මත නැවත ලබාගත් දෙවන වෛද්‍ය වාර්තාව, කුමන්ත්‍රණය උඩුයටිකුරු කළේය. එමගින් ඔහුගේ මුහුණේ, පපුවේ, නළලේ සහ අත්වල තුවාල පැහැදිලිව තහවුරු විය.

​ඊටත් වඩා වැදගත්ම කරුණ වූයේ, එම වෛද්‍ය වාර්තාවෙන්ම “සුනිල් මහතාට මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ කිසිදු ඉතිහාසයක් නොමැති” බව අධිකරණයට දැනුම් දීමයි.

​යුක්තියේ කඩුව ඔසවමින් ශ්‍රේෂ්ඨාධිකරනය දුන් තීන්දුව

​මෙම සියලු සාක්ෂි විමසා බැලූ ශ්‍රේෂ්ඨාධිකරනය, පොලිසියේ නිරුවත හෙළිදරව් කරමින් ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.

වධහිංසාව තහවුරුවීම

පොලිස් නිලධාරීන්ගේ කෲර පහරදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන් තහනම් කර ඇති වධහිංසාවට එරෙහි මූලික අයිතිය උල්ලංඝනය කිරීමක් බව අධිකරණය තීන්දු කළේය.

නීතියේ රැකවරණය අහිමි කිරීම

සුනිල් මහතාව නිසි වේලාවට වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් නොකිරීමෙන්, 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති නීතියේ සමාන රැකවරණයට ඇති අයිතිය කඩකර ඇති බවට තීන්දු විය.

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම

මෙම අත්අඩංගුවට ගැනීම අත්තනෝමතික බවත්, 13(1) වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් අධිකරණය නිගමනය කළේය.

​යුක්තිය ඉටු කිරීම පමණක් නොව, මෙවන් අපරාධ නැවත සිදු වීම වැළැක්වීම සඳහා වැදගත් පණිවිඩයක් ලබා දෙමින්, අසාධාරණයට ලක්වූ විතානගේ සුනිල් මහතාට රුපියල් මිලියනයක (1,000,000) වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඊටත් වඩා වැදගත්ම දෙය නම්, එම මුදල වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් 1 සිට 6 දක්වා සියලු දෙනා විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින්ම ගෙවිය යුතු බවට නියම කිරීමයි!

හිස නමන්නේ නැතිව සටන් කරන්න! ඔබට අසාධාරණයක් සිදුවුවහොත්, බිය නොවී අධිකරණය හමුවේ එය පවසන්න. වෛද්‍ය වාර්තාව ඔබේ බලවත්ම ආයුධය බව මතක තබා ගන්න. අපගේ ලිපි නිරන්තරයෙන් කියවන්න! දැනුවත් වෙන්න! ඔබේ අයිතිවාසිකම් ගැන, නීතිය ගැන නිරන්තරයෙන් දැනුවත් වෙන්න. වැරැද්දක් නොකර, බොරු චෝදනාවකට හිස නමා, කරබාගෙන සිටිය යුතු නැත.

නීතිඥ නලින්ද දිසානායක, Law guide FB

පහත ලිපි කියවන්න

ලිපිය 01 – පොලිසියෙන් ඔබව බොරු නඩුවක පැටලුවොත් ඔබ කළ යුතු දේ

https://www.facebook.com/share/p/1ZWPoteSzG/

ලිපිය 02 – පොලිසියෙන් ඔබට පහර දුන්නොත් ඔබ විසින් ගත යුතු ක්‍රියාමාර්ග

https://www.facebook.com/share/p/1BBKufjxmT/

 

 

 

 

Social Sharing
අවකාශය නවතම