
පත්තරයක පිටු අතරේ අප ලියූ ලිපිය ද අපගේ නම ද දැකීම අපූර්ව හැඟීමක් ඇති කරනවා. ඒක මුහුණු පොතේ ලිවීමෙන්; තමන්ගේ බ්ලොගයක ලිවීමෙන් ඇතිවෙන්නේ නෑ. අන් බ්ලොගයකට යොමු කර, පළවුනාම සතුටු හැඟීමක් ඇතිවුනත් අර වගේ හැඟීමක් ඇතිවන්නේ නෑ. චිරාත් කාලයක් පත්තර සහ පොත් එක්ක ඇති මුද්‍රිත අකුරු වලට තියෙන ආසාව හා බැඳීම වෙන්න ඇති. අපි ලියන ලිපිය පළවුන පත්තරේ , නැතිනම් මිලට අරගෙන කියවන පත්තරයක් වැහුනාම දැනෙන්නේ මහත් දුකක් කණගාටුවක්.
පත්තරයක් ගහන්න විශාල මුදලක් වැයවෙනවා. ඒ මුදල් පියවා ගන්නේ විකුණුම් හා දැන්වීම් ආදායමෙන්. ලාභයක් ලබන්නත් ඕනේ. ලාභය අරමුණු නොවුනත් අවම තරමින් වියදමවත් පියවා ගන්න ඕනේ. ප්‍රමාණවත් දැන්වීම් ආදායමක් ලැබෙන්නේ නැතිනම් ආදායම හොයන්න වෙන්නේ පත්තරේ විකුණලාම තමයි. ඒක මේ යුගයේ කරන්න හැකි දෙයක් නෙවෙයි. අවසාන කාලයේදී රාවය පත්තරේ මුහුණ දුන්නේත් ඔය ගැටලුවට. විකල්ප දේශපාලන අදහස් මතවාද සහිත පත්තරයකට එහෙම පවතින්න නම් එවැනි අදහස් දරන සියළුම දෙනා ඒ පත්තරේ ගන්න ඕනේ. ඒක එහෙම වෙන්නේ නෑ. එහෙම නැතිනම් වෙනත් අරමුදල් සම්පාදනය වෙන මාර්ග තියෙන්න ඕනේ. එහෙම මූලාශ්‍රත් නැතිනම් පත්තරේකට පවතින්න බැහැ.
අනිත් පැත්තෙන් ආණ්ඩුව විසින් අයකරන විවිධාකාර බදු. වරිපනම් බදු වල ඉදලා පුවත්පත් මුද්‍රණය කරන කොළ වලට අයකරන බදු , වැට් හා ආදායම් බදු ආදී විවිධ බදු පුවත්පතක මිල නියම කරන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ඉහළ යන ඉන්ධන හා විදුලිය ගාස්තු නිසා පත්තරේක වියදම් වැඩිවෙනවා. දැන්වීම් ආදායමක් නැති පත්තරයක් මේසා විශාල වියදමක් සහිතව පවත්වාගෙන යාම නම් ආශ්චර්යයක්. පුවත්පත් සහ පොත් කර්මාන්තය සඳහා පනවා ඇති බදු වලට යම් සහනයක් දෙන්න පුළුවන් ආණ්ඩුවට පමණක් වුනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තියෙන බදු ආදායම සම්බන්ධ එකඟතා සමඟ ඒ අපේක්ෂාවන් ඉටුවේවි යැයි හිතන්න බැහැ.
පත්තරේක පැවැත්ම තියෙන ප්‍රධානතම සාධකයක් පාඨකයා ඒ පත්තරේ මිලට ගැනීම. එයාට එහෙම බැඳීමක් , හැකියාවක් නැතිනම් පත්තරේ ස්වාභාවික මරණයකට යනවා. පුවත්පත් නොකියවන මිනිසුන් තොරතුරු නොදන්නවා නොවේ. ඔවුන් ඒවා ලබාගන්නේ විවිධ ආකාරයට , විවිධ මූලාශ්‍ර වලින්. පරිගණකය , මොබයිල් ෆෝන් එකෙන් ඒ මොහොතේම ලොව පුරා තොරතුරු ලබාගන්න පුළුවන්. අන්තර්ජාලය මගින් අතිවිශාල තොරතුරු ප්‍රමාණයක් ඒ මොහොතේම ලබාගන්න පුළුවන්. ඒ සඳහා පුවත්පතක් මිලට ගන්නවාට වඩා මුදලක් ගෙවන්න වුනත් පුවත්පතකට වඩා විවිධාකාර තොරතුරු රැසක් ලබාගන්න පුළුවන්.
සතිපතා පත්තරයක අන්තර්ගතය ගවේෂණශීලි විග්‍රහාත්මක සමාජ දේශපාලන සංස්කෘතික ආර්ථික ආදී ක්ෂේත්‍ර ඇතුලත් . ඒවා සමඟ ගොඩනගන සමාජ බලපෑම අද සමාජ මාධ්‍ය සමග වෙනස් වෙන්න වෙලා. තවදුරටත් මුද්‍රිත පත්තරයකට පොතකට පුළුවන්ද තියුණු බලපෑමක් සමාජයට කරන්න ? සමාජ මාධ්‍ය විසින් ඒ මොහොතේම පාඨකයා නරඹන්නා කියවන්නා එනම් බාහිර පුද්ගලයා සමග පවත්වන තොරතුරුමය සම්බන්ධතාවය දිනපතා , සතිපතා පත්තරයකට කරන්න බැහැ. ඒ අර්ථයෙන් එවැනි පත්තරයක් යල්පැනගිය එකක්. එනිසාම මිනිස්සු තොරතුරු හොයන්නේ සමාජ මාධ්‍ය අතරින්. නැතිනම් රූපවාහිනි ප්‍රවෘත්ති අතරින්. පුවත්පත්වල තෝරාගත් ප්‍රවෘර්ති රූපවාහිනි නාලිකාවලින් උදේට කියවන එක ඒ තරම්ම බලපෑමක් වෙනවා ද ? පත්තරයක තියෙන හැම ප්‍රවෘර්තියම ඒ වැඩසටහන් වල නොකිය වුවත් පුවත්පතක් අරගෙන ඒ පුවත් යලි කියවන්න පෙළඹවීමක් නම් ඇතිවන්නේ නෑ. රූපවාහිනියෙන් පත්තරය බලලා අහලා ඉවර වෙනවා.
දැන්වීම් ඇති නැති සති අන්ත පත්තරයක මිල රුපියල් දෙසියයක් වෙනවා. මාසයකට අටසියයක්. සිගරට් එකක් සහ ප්ලේන්ටියක් දවසකට බොනවා නම් රුපියල් දෙසීයකට ආසන්නයි. දිනපතා ඒක බොන පුද්ගලයෙක් මාසයකට අඩුම තරමින් රුපියල් හයදහසක් වියදම් කරනවා. ඒ වුනාට එයා රුපියල් අටසීයක් වියදම් කරලා මාසෙකට පත්තර හතරක් ගන්නේ නෑ. රුපියල් දෙසීයක් වියදම් කරලා සතියකට පත්තරයක් ගන්නේ නෑ. මාසයකට ඇඳුම් පැලඳුම් , අරක්කු , පාටි , විනෝද ගමන් , ආදියට වැය කරන ගණන පත්තරයක මිලට වඩා වැඩියි. එහෙම අයත් පත්තරයක් මිලට ගන්නේ නැති අවස්ථා අනන්තයි. පත්තරයක් විතරක් නෙවෙයි පොතක් නොගන්නා අය අපමණයි. කවදාවත් පොතක් , පත්තරයක් නොකියවූ බොහෝ දෙනෙක් ඉන්නවා. පාඨකයන් නොවූ මිනිසුන් තමන්ගේ පාඨකයන් බවට පත් කර ගන්න අද පත්තර වලට වගේම පොත් වලටත් හැකියාවක් නැතිවෙලා. පාඨකයින් නිර්මාණය කරන්න සමත්වීම පත්තරයක පැවැත්මට අවශ්‍ය දෙයක්. අනෙක් අතට පවතින සමාජ දේශපාලන තත්ත්වය පත්තරේ ඉල්ලුමට බලපානවා.
ජේ.ආර්. , ප්‍රේමදාස යුගය නිමාකර චන්ද්‍රිකා යුගයේ රාවය පත්තරේ ඉහලම තැනකට ආවත් මහින්ද , සිරිසේන යුගයේදී අවරට ගියා. එහෙම වෙන්නේ ඇයි ? පවතින දේශපාලන තත්ත්වය විවේචනාත්මකව විග්‍රහ කරන පත්තරයකට තියෙන ජන ආකර්ෂණය , ඒ ආණ්ඩුව පරාජය වෙලා අලුත් ආණ්ඩුවක් ආවාම අර ජන ආකර්ෂණය තවදුරටත් පත්තරේකට පවතින්නේ නෑ. රාජපක්ෂ , රනිල් පාලනයට එරෙහි ජනමතය 2024 ජය ගත්තා. ඒ ජන මතය එළියට පෙන්නපු පත්තරවලට තවදුරටත් විරුද්ධ විකල්ප දේශපාලන මතවාද වෙනුවෙන් ආපහු පෙනී හිටින එක උභතෝකෝටියක් වෙන්න පුළුවන්. පාඨකයා ඒ මතවාද ජයගත් ගොඩට ඇතුලත් වෙන්න පුළුවන්. පවතින මාලිමා ආණ්ඩුවට එරෙහි විකල්ප දේශපාලන මතවාද අදහස් සමාජය තුල රැල්ලක් විදිහට ඇතිවෙලා නෑ. ඒ නිසාම එවැනි මතයක ඉන්න පත්තරේකට ලේසි නෑ ජීවත්වෙන්න.
එක්සත් ජනපදයේ පුවත්පත් කර්මාන්තය දිගුකාලීන අර්බුදයක එනම් වඳවී යාමේ අර්බුදයක පවතිමින් තියෙන බව මම හොයාගත්තේ අන්තර්ජාලය මගින් මේ මොහොතේම. පහුගිය දශක දෙක තුල පුවත්පත් දෙදහසක් පමණ වසා දමා 40000 ක පුවත්පත් කලාවේදීන් හට රස්සාවල් අහිමිවෙලා. ඩිජිටල් මාධ්‍ය සමඟ සමාජ මාධ්‍ය බලපෑම , වෙළඳ දැන්වීම් ආදායම අහිමි වීම වගේම ඒ දැන්වීම් ආයතන අර ඩිජිටල් අවකාශ සමඟ කටයුතු කිරීම , පාඨක ආකර්ෂණය අඩුවීම හා විකුණුම් ආදායම අඩුවීම සහ වියදම් වැඩිවීම ආදී හේතුන් බලපාලා තියෙනවා. ඒ නිසාම විවිධාකාර ඩිජිටල් අවකාශ තුලින් පාඨක සබඳතාවයන් ප්‍රති ව්‍යුහගත කරගන්නේ බොහෝ පුවත්පත් සමාගම් පෙළඹෙනවා . ලෝකයේ දියුණුතම බලවත්ම රටේ තත්ත්වය එහෙමයි.
ලංකාවෙත් පත්තර තමන්ගේ පැවැත්ම ඩිජිටල් අවකාශ හරහා පවත්වාගෙන යමින් පාඨක සබඳතාවයන් ගොඩනඟන්න උත්සහා කරනවා. පැවැත්ම සඳහා වෙනස් වෙන්න වෙනවා. හරියට ජවිපෙ තමන්ව ජාජබ හැටියට වෙනස් කරගෙන බලයට පත්වීම වගේ.
වැසීගිය පත්තරේ ආයෙත් වෙනස් ආකාරයකට උපදින්න පුළුවන්.
තිස්ස කුමාර
