ශිෂ්‍ය භික්ෂුවකට ලිංගික අපයෝජන සිදුකිරීමේ වරදට වසර 20කට සිරගත වූ භික්ෂුව අභියාචනාධිකරණයෙන් නිදහස්!

ශිෂ්‍ය භික්ෂුවකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බවට චෝදනා එල්ල වී, මහාධිකරණය විසින් වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට ලක්කර තිබූ හිමිනමක් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (04) නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළව 2023 වසරේදී මහාධිකරණය විසින් අදාළ හිමිනමට වසර 20ක සිරදඬුවමක්, රුපියල් 10,000ක දඩයක් සහ වින්දිත ශිෂ්‍ය භික්ෂුවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට ද නියෝග කර තිබුණි. එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ අදාළ හිමිනමගේ නඩුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සසී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා ඉදිරියේ පසුගිය මාර්තු 24 දින විභාගයට ගෙන තිබේ. එහි තීන්දුව විනිසුරු අමල් රණරාජා විසින්, විනිසුරු සසී මහේන්ද්‍රන්ගේ එකඟත්වයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම නඩුවේදී, 2018 මාර්තු 1 සිට මැයි 31 දක්වා කාලය තුළ ශිෂ්‍ය භික්ෂුවකට ලිංගික අපයෝජනයක් සිදු කළ බවට නීතිපතිවරයා විසින් 2019 වසරේදී අධිචෝදනා ගොනු කර තිබුණි.

අභියාචනා විභාගයේදී චූදිත හිමිනම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අවධාරණය කළේ, පැමිණිල්ලේ සාක්කිය අනුව එවැනි සිද්ධියක් සිදුවීමේ ප්‍රායෝගික හැකියාවක් නොමැති බවයි.

නඩු විභාගයේදී සලකා බැලූ කරුණු අනුව, සිද්ධිය සිදු වූ බව කියන අවස්ථාවේදී එම කාමරයේ තවත් සාමනේර හිමිවරුන් තිදෙනෙකු සිට ඇති බවත්, ඉන් දෙදෙනෙකු අවදියෙන් සිට ඇති බවත් සඳහන් වී ඇත. එවැනි තත්ත්වයක් යටතේ චූදිත හිමිනම විසින් එවැනි අපයෝජනයක් සිදු කිරීමේ හැකියාව පිළිබඳ සැකයක් පවතින බව අභියාචනාධිකරණය නිරීක්ෂණය කර ඇත.

තවද, වින්දිත හිමිනම විසින් පොලිසියට සහ අධිකරණයට ලබා දුන් සාක්ෂි අතර බරපතල පරස්පරතා පවතින බවත්, සිද්ධිය සම්බන්ධ ප්‍රධාන ඇසින් දුටු සාක්ෂිකරුවෙකු අධිකරණයට කැඳවා නොමැති බවත් අධිකරණය විසින් සලකා බැලීය.

ඒ අනුව, සාක්ෂිවල අසංගතතා සහ විත්තියේ සාක්ෂි සලකා බැලීමෙන් පසු, සැකය චූදිතයාගේ වාසියට යොමු විය යුතු බවට නීතිමය මූලධර්මය අනුව මහාධිකරණ තීන්දුව අත්හිටුවමින් අදාළ හිමිනම නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට අදාළ හිමිනම වසර තුනකට අධික කාලයක් බන්ධනාගාර ගතව සිටි බවද සඳහන් වේ.

Social Sharing
නවතම පුවත්