
2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව ජනප්‍රිය සිනමා නළුවා වූ ජෝසප් විජේගේ නායකත්වයෙන් යුත් තමිලගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය තනි විශාලතම පක්ෂය ලෙස ඉදිරියට පැමිණ ඇත.
ප්‍රාන්තයේ ආසන 234ම සඳහා ප්‍රතිඵල ප්‍රකාශයට පත් වී ඇති අතර, සම්පූර්ණ බහුතරය සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව 118ක් වේ. එම පසුබිම තුළ තමිලගා වෙට්‍රි කසාගම් TVK පක්ෂය සිය මංගල මැතිවරණයේදීම ආසන 108ක් දිනාගෙන තිබීම විශේෂ අවධානයට ලක්වී ඇත.
ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) ප්‍රමුඛ සන්ධානය ආසන 73ක් ලබාගෙන ඇති අතර, සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) ප්‍රමුඛ සන්ධානය ආසන 53ක් දිනාගෙන ඇත. නාම් තමිලර් කච්චි ඇතුළු අනෙකුත් පක්ෂ කිසිදු ආසනයක් ලබා ගැනීමට අපොහොසත් වී ඇත.
මෙම ප්‍රතිඵලය තමිල්නාඩු තුළ නව දේශපාලන බලසම්පන්නයක් ඉදිරියට පැමිණීමක් ලෙස විශ්ලේෂකයින් පෙන්වා දෙති. විශේෂයෙන්ම තරුණ සහ නාගරික ඡන්දදායකයින් අතර TVK පක්ෂයට ලැබුණු සහයෝගය විශාල ලෙස බලපා ඇති බව සඳහන් වේ.
පූර්ණ බහුතරය නොලැබුණද, ආසන 108ක් සමඟ TVK පක්ෂය පශ්චාත් මැතිවරණ සන්ධාන හෝ කුඩා කණ්ඩායම්වල සහය ලබා ගනිමින් රජයක් පිහිටුවීම සඳහා දැඩි අවස්ථාවක සිටී.
ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව ආධාරකරුවන් අමතමින් ජෝසප් විජේ පවසා ඇත්තේ, මෙම ජනවරම “ජනතා ජයග්‍රහණයක්” වන අතර, එය තමිල්නාඩුවේ “නව දේශපාලන යුගයක ආරම්භය” බවයි.
