හිර ගෙවල්වල තදබදයට ඩිජිටල් විසදුමක් – මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2020දී සිදු කළ අධ්‍යයනයේ පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල අවශ්‍ය නිසි ඉඩකඩ, සනීපාරක්ෂාව සහ ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති බවයි. ලෝක බන්ධනාගාර සංක්ෂිප්තයට (World Prison Brief) අනුව, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිරකරුවන් රඳවා ගත හැකි උපරිම ධාරිතාව 13,241ක් වන නමුත් අද වන විට පුද්ගලයින් 32,747 දෙනෙකු බන්ධනාගාරවල රඳවා තබා ඇත. 2025 වසර සඳහා බන්ධනාගාරවල ඇස්තමේන්තු මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන 15.6ක් වන අතර, ඒ අනුව එක් සිරකරුවෙකු සඳහා ඇස්තමේන්තු වාර්ෂික පිරිවැය රුපියල් 477,710ක් වේ.

කෙසේ වෙතත්, සංඛ්‍යාත්මක දත්ත බැලීමේදී පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් තුනෙන් දෙකක්ම චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් නොව, නඩු විභාගයට පෙර රැඳවියන් ලෙස සිටින රිමාන්ඩ් සිරකරුවන් බවයි. ලර්න්ඒෂියා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරන්නේ අධික පිරිවැයක් යොදා බන්ධනාගාරවල රඳවා තබන රිමාන්ඩ් සිරකරුවන් නිසා ඇතිවන තදබදය අවම කරගැනීම සඳහා විකල්පයක් ලෙස ඉලෙක්ට්‍රොනික වළලුකර පැළඳවීමට නියෝග කිරීම පවතින ක්‍රමයට වඩා ලාභදායී, මානුෂික හා කාර්යක්ෂම විසඳුමක් බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ක්‍රමය මගින් රිමාන්ඩ් සිරකරුවන් දුරස්ථව නිරීක්ෂණය කිරීමට, සැකකරුවන් රැඳවුම් කොන්දේසි උල්ලංඝනය කරන විට ප්‍රතිචාර දැක්වීමට සහ අධිකරණය ඉදිරියේ පෙනී සිටීම සහතික කරගැනීමට මෙන්ම බන්ධනාගායේ අධික පිරිවැය සහ තදබදය අවම කර වඩා ශිෂ්ට බන්ධනාගාර පද්ධතියක්ද පවත්වා ගැනීමට අවස්ථාව සලසනු ඇති බවයි.

සම්පූර්ණ සාකච්ඡාව:

Social Sharing
අවකාශය නවතම