නඩු තීන්දු දෙකකින් පෙන්වා දෙන ගැටළුව – පිලිප් දිසානායක

පොලිස් වදහිංසාවන්ට එරෙහිව ඉතා වැදගත් නඩු තීන්දු දෙකක් පිළිබදව තොරතුරු පසුගියදා මාධ්‍ය හරහා වාර්තා විය. ඉන් පළමු නඩුව වුයේ අවුරුදු 14ක දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් මීටියාගොඩ පොලීසියේ නිලධාරිනී 4කට වසර 9 බැගින් වූ සිර දඩුවම් බලපිටිය මහා අධිකරණය විසින් ලබා දීමේ සිද්ධියයි.

වයස 14 ක දරුවෙකුට පහර දී වදහිංසා කලාට වසර 17කට පසු යුක්තිය, මිටියාගොඩ පොලිසියේ 04 කට අවු 09 සිර දඬුවම්.

හොටල් කළමණාකරුවෙකු පැහැරගෙන ගොස් කෘෘර ලෙස පහරදීම හේතුවෙන් එම තැනැත්තා මිය යාමේ සිද්දියක් සම්බන්ධව පොලොන්නරුව පොලීසියේ නිළධාරීන් තිදෙනෙකුට වසර 7 බැගින් වූ බරපතල වැඩ සහිත දඩුවම් පොලොන්නරුව මහාධිකරණය විසින් නියම කිරීම මෙහි දෙවැනි සිද්ධියයි.

පොලීසියේ 3ක් වසර 7ක් හිරේට – නඩුවට අවුරුදු 21යි

මෙම නඩු දෙකෙදීම පෙනී යන්නේ මහජනයාගේ ආරක්ෂාව සදහා ස්ථාපිත කර ඇති පොලීසියේ බරපතල පිරිහීමයි. එමෙන්ම, අපරාධ වැලැක්වීමට කටයුතු කරනු වෙනුවට අපරාධ සිදු කරන තත්ත්වයට සමහර නිලධරයින් පත්ව ඇති අන්දමත් මෙම නඩුව තුළින් පෙන්වා දෙයි. එහි දී දරුවන් ඇතුළු ඕනෑම අකාරයේ පුද්ගලයෙකු වෙත, ඕනෑම ආකාරයක හිංසාවක් සිදු කිරීමට තමන්ට හැකි බවත් මේ සිද්ධි හරහා පෙන්වා දී තිබේ. එමෙන්ම, එසේ සිදු කරන හිංසනය ඒ පුද්ගලයාගේ මරණය දක්වා එම තීවෘර කළ හැකි බවත් මෙම නඩු මගින් පෙන්වා දී තිබේ.

එමෙන්ම, අප අධිකරණ පද්ධතියේ පවතින තවත් ප්‍රධාන දොශයක් ද මෙම නඩු දෙක හරහා අපට පෙන්වා දී තිබේ. එනම්, මෙම නඩු විභාගය අවසන් කර තීන්දුව ලබාදීම සදහා අධිකරණ විසින් ලබා ගෙන ඇති අති විශාල කාලය පිළිබදව ප්‍රශ්ණයයි.

අවුරුදු 14 සිසුවාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය 2008 වසරේ සිදුව ඇති අතර, හොටල් කළමණාකරුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය 2004 වර්ෂයේ වූ සිද්ධියක් විය. ඒ අනුව පළමු නඩුව අවසන් කිරීමට අවුරුදු 17ක් ගතව ඇති අතර, දෙවැනි නඩුව අවසන් කිරීමට අවුරුදු 21ක් ගතව තිබේ. පළමු සිද්ධියට මුහුණ පෑ සිසුවාගෙ මේ වන අවුරුදු 31ක තරුණයෙකි. මෙම නඩු දෙකම ඇපීල් කිරීමට විත්තිකරුවන්ට හැකියාව ඇති අතර, එසේ ඇපීලක් ගියහොත් මෙම නඩු අවසන් වීමට තවත් වසර පහකට ආසන්න කාලයක්වත් ගත වුනු ඇති.

නඩු ප්‍රමාදය

අපරාධ නඩුවක් අවසන් කිරීමට මෙතරම් විශාල කාලයක් ගන්නේ නම්, ඉන් කියා පන්නේ අපගේ අධිකරණ පද්ධතිය තුළ ඇති බරපතල ගැටළු ප්‍රමාණයයි. විශාල අසාධාරණයක ලක්ව අවසානයේ අධිකරණයේ පිහිට පතා පැමිණෙන තැනැත්තෙකුට ඒ සදහා පිහිට වීමට දශක දෙකකට ආසන්න කාලයක් ගත වන්නේ නම්, එවැනි යුක්තියකින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?

අපගේ අධිකරණ ක්‍රියාදාමයේ ප්‍රබලතම සහ ප්‍රධානතම ගැටළුව වන්නේ මෙම යුක්තිය ඉටුවීමේ ප්‍රමාදයි. “යුක්තිය ඉටුවීම ප්‍රමාදය, යුක්තිය වැළහීමක්” බව නීති විද්‍යාවේ පිළිගත් මුලික සංකල්පයක් ලෙස සැලකේ. යුක්තිය ඉල්ලා සටහන් වදින බහුතර ජනතාවක් අද මුහුණ දී ඇති ප්‍රධාන ගැටළුව වී ඇත්තේ යුක්තිය අධික ලෙස ප්‍රමද වීම පිළිබදව ගැටළුවයි.

යුක්තිය අහිමිවීම හෝ යුක්තිය හිමිවීම දැඩි ලෙස ප්‍රමාද වීම හේතුවෙන් ඒදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ගැටලු විසදා ගැනීම සදහා සැලකිය යුතු පිරිසක් මේ වන විට යුක්ති සහගත නොවන වෙනත් ක්‍රියාමාර්ග වෙත තල්ලු වී ගොස් තිබේ. කවදා හෝ යුක්තිය ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටි තවත් කොටසක් මේ වන විට අපේක්ෂා භංගත්වයට පත්වී කම්පනයට හා පීඩාවට පත්ව සිටී. යමක් කමක් ඇති පරපුර ශ්‍රී ලංකාව ඉතා ආනාරක්ෂිත රටක් ලෙස සලකා කෙසේ හෝ විදේශ රටකට ගොස් තව ජීවිතය ගෙවීමට සැලසුම් කර තිබෙන්නේ මේ නිසාය. ඒමෙන්ම, මෙම තත්ත්වය රටේ ආර්ථික සංවර්ධනයට ද විශාල බලපෑම් ඇති කර තිබේ.

නඩු ප්‍රමාදයට හේතු

අපරාධ නඩුවක් විභාග කල හැකි අධිකරණ දෙකක් ස්ථාපිතව තිබේ. ඒ අනුව, සාමාන්‍යෙයන් අපරාධයක් සම්බන්ධව මූලික විමර්ශනයන් ආරම්භ වන්නේ මහේස්ත්‍රාත් අධිකරණය තුළයි. එම මූලික පරීක්ෂණයේ දී සාක්ෂි මෙන්ම, අධිකරණ වෛද්‍ය වාර්තා, රස පරීක්ෂක වාර්තා, ඇගිලි සලකුණු වාර්තා ඇතුළු වාර්තා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන්වා ගැනීම සිදු කෙරේ. දැනට පවතින තත්ත්වය අනුව, සාමන්‍යයෙන් මෙම වාර්තා සමග මූලික විමර්ශනය සදහා මහේස්ත්‍රාත් අධිකරණයට වසරකට වැඩි කාලයක් ගත වේ.

ඉන් පසුව වැඩිදුර උපදෙස් සදහා නඩු ගොනුව නීතිපති වෙත යොමු කෙරේ. නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කිරීමට තවත් වසරකට ආසන්න කාලයක් ගත කරයි. මේ සම්පුර්ණ ක්‍රියාවලිය අවසන් වී මහාධිකරණයේ නඩු විභාගය ආරම්භ වීමට අවම වශයෙන් වසර 1-2ත් අතර කාලයක් ගත වේ.  ඉන් පසුව මෙම නඩුව මහාධිකරණයේ විභාග වී අවසන් වීමට තවත් වසර කිහිපයක් ගත වේ. මේ අතර, විනිසුරුවන් මාරුවන අතර, එය නඩු විභාගය තවත් ප්‍රමාද වීමට හේතුවක් වී තිබේ. ඉහත හොටල් කළමණාකරු ඝාතණ නඩුව විභගයේ දී මහාධිකරණ විනිසුරුවරුන් 11 දෙනෙකු අතට එම නඩුව මාරුවී ඇති බවට වාර්තා වී තිබුනි.

මෙම පද්ධතියේ වේගවත් ප්‍රථිසංස්කරණයක් සිදු කිරීමත්, ඊට නව තාක්ෂණය එකතු කිරීමත්, මෙම පද්ධතිය කාර්යක්ෂම හා විශ්වාසනීය තත්ත්වයකට පත්කිරීමකින් තොරව මෙම ප්‍රමාදය අපට කිසිසේත් වලක්වා ගත නොහැකි වනු ඇත.

එමෙන්ම, නීතිපතිවරයා විසින් පරවන ලබන නඩු වලින් 94%ක පමණ ප්‍රමාණයක් ඉදිරියට ගෙනයාමට නොහැකිව විත්තිතිකරුවන් නිදහස් වන බවද වාර්තාවක පල විය. එම වාර්තාව සත්‍ය නම් එය ඉතා බැරූරුම් තත්ත්වයකි. නඩුවලින් නිදහස් වී අපරාධකරුවන් නැවත සමාජ ගත වීම අපරාධ වර්ධනයටත් හේතුවක් වනු ඇත. අද පවතින නොනවතින අපරාධ රැල්ලට ද එය හේතුවක් විය හැක.

 

Social Sharing
අවකාශය නවතම