සමාජ විපර්යකාරක භූමිකාව, මහා සමාජය සහ විශ්වවිද්‍යාලය යනු කුමක්ද?

– සුදර්ශන සමරවීර –

පරණ අවුරුද්ද හෝ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලියන්නට විශේෂ සැමරුම් සටහනක් නැති මම අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘විශ්වවිද්‍යාලය යනු කුමක්ද?’ කෘතිය මගින් අපේ සංවාදය වෙත ගෙන එන එක් වැදගත් අදහසක් ෆේස්බුක්හි ලියන්න හිතුවා. මහාචාර්ය අමකීර්ති, -විශ්වවිද්‍යාලය යනු කුමක් වීද? කුමක් විය යුතුද?- හිසින් එන සිය කෘතියේ තුන්වන පරිච්ඡේදය ආරම්භ කරන ඉතිහාසඥ බාබරා ටච්මන්ගේ අතිශයාලංකාරික ප්‍රකාශයකින්ම අපිටත් පටන්ගන්නට පුළුවන්.

“විශ්වවිද්‍යාලයෝ ශිෂ්ටාචාරය ඔසවාගෙන යන්නෝ වෙති; විශ්වවිද්‍යාලවලින් තොරව ශිෂ්ටාචාරය වර්ධනය විය නොහැකි දෙයක් වන්නට ඉඩ තිබිණි. ඒවා වෙනසෙහි එන්ජින්ද, ලෝකය වෙත ඇරුණු කවුළුද, කාලය නමැති සාගරයෙහි ඉදිකරන ලද ප්‍රදීපාගාරයද වේ. ඒවා අපේ සහකාරයෝද, ගුරුවරයෝද, ආශ්චර්යමත් උත්පාදකයෝද, මනසට අයත් ධනය රකින බැංකුද වී ඇත්තාහ.” (පි.72, අමරකීර්ති. 2022)

මහාචාර්ය අමරකීර්ති මේ -විශ්වවිද්‍යාලය යනු කුමක්ද?- යන්න ගැන අතිශය අලංකාරික කියමනක් බව කියමින්ම උපුටාදක්වන ටච්මන්ගේ ප්‍රකාශය අපේ රටේ අප දන්නා විශ්වවිද්‍යාල සමග සන්සන්දනාත්මකව කියවන විට නගින උත්ප්‍රාසවත් ධ්වනි ශබ්දයේ කැත විහිළුව අසා වහා පළා නොයා මේ ගැන කතාකරමු කියා මම යෝජනා කරනව.

මහාචාර්ය අමරකීර්තිගෙ උක්ත කෘතිය දැනටමත් අපේ සමාජයේ විවිධ තලවල සංවාද වෙත ආලෝකය ගෙනා කෘතියක් බව පෙනෙනව. සමකාලීන අධ්‍යාපනයේ නව ලිබරල් මුහුණත සහ නිදහස්කාරක අධ්‍යාපනයේ හරයාත්මක වටිනාකම්, ශ්‍රි ලංකා විශ්වවිද්‍යාලයේ ‌ෙඑතිහාසික විකාශනයේ අවවර්ධනය, වැඩ ලෝකය-අධ්‍යාපනයේ උපයෝගීතාවාදී භාවිතය සහ කරණීය තර්කරණය, නිදහස් කලා අධ්‍යාපනයේ ගුරු ශිෂ්‍ය භූමිකා, මානවශාස්ත්‍ර අධ්‍යාපනයේ ව්‍යුහාත්මක ගැටලු සහ පොදුවේ ශාස්ත්‍රාලය සහ ශාස්ත්‍රාලයික බව ගැන අර්ථවත් සංවාදයක් මතු කෙරෙන න්‍යායික සහ ‌ෙඑතිහාසික ප්‍රවේශ ගණනාවක් මේ කෘතිය මගින් පැනෙනව පෙනෙනව. මේ කෙටි සටහන පොතේ එන ඒ සියල්ල පිළිබඳ සාකල්‍යර්ථවත් අවලෝකනයක් නෙමෙයි. එහෙම කරනව නම් ඒක තවත් ග්‍රන්ථ ප්‍රමාණ අභ්‍යාසයක්. මම උත්සාහ කරන්නෙ මේ කෘතිය මගින් පොදුවේ ආමන්ත්‍රණය කරන එක් අදහසක් පමණක් සලකාබැලීමට විතරයි. අනිත් අතට මෙවැනි පොතක් ගැන කරන කතාවක් යනු පොත නොකියවූ අයට කෙටි සාරාංශයක් ඉදිරිපත් කිරීම හෝ පොතෙහි එන විස්තෘත කරුණුවල පටුනක් සේ පෙනෙන පෙළගැස්මක් සැදීම නෙමෙයි. ආධුනික ශාස්ත්‍රකාමියෙකු ලෙස පුද්ගලිකව මම මේ කෘතියෙහි කැමතිම පරිච්ඡේදය තමයි -නිදහස් කලා අධ්‍යාපනය, නිදහස්කරක අධ්‍යාපනය සහ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ- නමැති පරිච්ඡේදය. ඒත් මම ඒ සංවාද දැනට මගහැර යනව.

-විශ්වවිද්‍යාලය යනු කුමක්ද?- කියන කෘතිය සහ ඒ ආශ්‍රිත සංවාදය අපි අභිමුව තියෙන්නෙ සමස්තයක් වශයෙන් රටත්, විශ්වවිද්‍යාලය මෙන්ම ඒ හා සමාන තවත් කුඩා කුඩා ව්‍යුහ සියල්ලම මෙන් අර්බුදයේ ගිලී ඇති සමයක බව අපි අමතක කරන්න හොඳ නෑ. පවුල, ආගම, පාසල, ජාතිය, ජනමාධ්‍යය සහ අනෙකුත් රාජ්‍ය ආයතන වැනි ඒවා සියල්ල ඒ කියන ව්‍යුහ තමයි. සියල්ල සමස්ත අර්බුදයක ගිලෙමින් තියෙන්නෙ. මේ සටහනේ හිස සැදෙන්නෙම ඒ් සමස්ත – පොදු – අර්බුදය වෙත -විශ්වවිද්‍යාලය- ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ඇසීම පිණිස. නමුත් මම කතාකරන්න හදන්නෙ -විශ්වවිද්‍යාලය- නම් ආයතනික ව්‍යුහය සහ ඒ ආශ්‍රිත ගැටලු වෙත මහාචාර්ය අමරකීර්ති එළඹෙන්නෙ කොහොමද? කියන ප්‍රශ්නය ගැන නෙමෙයි. ඒ ප්‍රශ්නය ඉතා වැදත් එකක් බවත් ඒ ආයතනික ගැටලුව ගැන කතාකරන්නට ගොඩක් අය ඉන්න බවත් පුද්ගලිකව මම ඒ ආයතනික ව්‍යුහය ගැන ඒ තරම් දැනුමක් හෝ පළපුරුද්දක් නැති බවත් කියන්න ඔ්නෙ. නමුත් මේ කෘතිය මගින් පොදුවේ ගොඩනැගෙන -ශාස්ත්‍රවන්තයා- පිළිබඳ කතිකාව වෙත යම් අදහසක් එකතු කරන්නයි මට අවශ්‍යය.

Scholar, Academic, ශාස්ත්‍රවන්තයා, විද්‍යාර්ථියා වැනි නොයෙක් වචනවලින් අදහස් කෙරෙන මේ අදහස ගැන සංවාදය සෑහෙන පුළුල් එකක්. ඒ සම්බන්ධ න්‍යායික පැහැදිලිකීරීම් වෙත අවධානය දෙන්න මේ ඉඩහසර නෙමෙයි. මහජන බුද්ධිමතා හෝ Public Intellectual පිළිබඳ සංවාදයත් මේ එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. කොහොමවුණත් අපිට දීර්ඝ සංකථනයකට ඉඩක් නෑ. ඉතාම කෙටියෙන් මට මේ සටහනෙහිලා සිතන්නට අවශ්‍ය වන්නේ මේ ශාස්ත්‍රාලයික බුද්ධිමතා සමාජ ජීවියෙකු ලෙස සුවිශේෂ වන්නේ කෙසේද යන ප්‍රශ්නය ගැන.

ආයතනික වශයෙන් -විශ්වවිද්‍යාලය- තුළ කරන කාර්යය සහ ඒ වෙනුවෙන් ඔහුගේ/ඇගේ මැදිහත් වීමේ කාර්යය වගේම පහුගිය කාලෙ මහාචාර්යවරයා, ආචාර්ය උපාධිධාරියා වගේම පොදුවේ ශාස්ත්‍රවන්තයා පිළිබඳ ෆේස්බුක් එකේ වගේම පොදු සමාජයේ උනන්දුවක් දැල්වී තිබෙන බව පෙනෙනව. කාලයක් පුරා දිවෙන මේ සංවාදය යළි මෙහි සාරාංශ කරන්නට අවශ්‍ය නෑ. ඒ වෙනුවට මහාචාර්ය අමරකීර්තිගෙ කෘතිය වෙත එළඹෙමු.

ශාස්ත්‍රාලයික පර්යේෂකයෙකු යනු ඒක පුද්ගල විමුක්තිය සොයා බවුන් වඩන්නට වනගත වන තවුසෙකු නොව තත් සමාජය විනිවිද දකින්නට සමාජය පරීක්ෂාවට ලක්කරන ඒ ඇසුරින් විකල්ප දැනුම නිර්මාණය කරන්නට තැත් කරන, නව දැනුම බෙදාහරින, ප්‍රායෝගිකව අභ්‍යාස කරන සමාජ-බුද්ධි ජීවියෙක්.ඉහළ ගුණාත්මක බවින් යුතු පර්යේෂණවල යෙදෙන ශාස්ත්‍රවන්තයින්ට ‘සැමන් හුණ්ඩුමය ජීවිත මොහොතින්’ මිදී ඒ ඒ කතිකාව වෙත පුළුල් ලෙස එළඹෙන්නට නෛසර්ගිකව අවකාශය තනාදෙන තැනක් තමයි විශ්වවිද්‍යාලය කියන්නෙ.

මහාචාර්ය අමරකීර්ති සිය කෘතියෙහි ආචාර්ය උපාධිය පිළිබඳ කරන කෙටි හැඳින්වීම මෙන්න.

“යම් තනි විෂයයක් තුළ අත්පත් කරගත් විශේෂඥතාව වූ කලී මනුෂ්‍ය කටයුතුද මනුෂ්‍ය සංස්කෘතිය ක්‍රියා කරන ආකාරයද සම්බන්ධ සුවිශාල චිත්‍රය වෙත එල්ල වූ එක් කවුළුවක් බවට පත් වේ. අප කවර විෂයයකින් උසස් අධ්‍යාපනය ඇරඹුවද ඒ අධ්‍යාපනයෙහි අවසන් අවස්ථාවෙහි අප සියලුදෙනාම දර්ශනසූරී හෙවත් doctor of philosophy උපාධි ලබන්නේ ඒ නිසාය. එනම් අපි යම් තරමක හෝ දාර්ශනිකයෝ බවට පත්වෙමු. එනම්, අවසානයේදී අපි සියලුදෙනාම දර්ශනය වෙත එළඹෙමු. දර්ශනය යනු චින්තනය ගැන චින්තනයෙහි යෙදෙන තැනකි. එවිට අපට අපේ විෂය තුළ සිතීම සිදුවන සැටිද, පොදුවේ මිනිසා සිතීමේ යෙදෙන සැටිද ගැන නැවත සිතන්නට අවස්ථාව ලැබේ. මේ වූ කලී ආචාර්ය උපාධි හෙවත් දර්ශනසූරි උපාධි හැදෑරීමේ සම්භාව්‍ය අර්ථයයි.” (පි.119)

මෙවන් ගමනාන්තයකට නොඑළඹී හුදෙක් ආචාර්ය උපාධි සහතිකය පමණක් අතට ගත් අය අපමණ සිටින බව කතුවරයාම කියනව. නමුත් අපේ ප්‍රශ්නය එය නෙමෙයි. ඒ ඒ ක්ෂේත්‍රය තුළ -දර්ශනශූරීන්- බවට පත් වූ අය විසින් ඒ ඒ ක්ෂේත්‍ර වෙත කරන මැදිහත්වීමත් ඒ ඇසුරින් පොදු සමාජය මුවහත් කරන්නේ කෙසේද යන්නත්.

අපේ සටහනේ මුලදීම උපුටාගත් ඉතිහාඥ බාබරා ටච්මන්ගේ අලංකාරික ප්‍රකාශය එන මහාචාර්ය අමරකීර්තිගේ එම පරිච්ඡේය වෙන් වී ඇත්තේ “විශ්වවිද්‍යාලයෙහි කාර්යභාරය පිළිබඳ විචාරාත්මක ආලෝචනා” වෙනුවෙන්. ඔහු මෙහෙම ලියනව;

“ඉතිහාසය පුරා විශ්වවිද්‍යාලය සමාජ විපර්යකාරක ආයතනයක් වී තිබෙන බව පෙනේ. එම ආයතනය මනුෂ්‍ය බුද්ධිය සහ නිර්මාණක ප්‍රඥාව ක්‍රියාවට දැමීම පිණිස පවතින නිදහස් වූද ලෞකික වූද ආයතනයක් ලෙස පවත්වාගත යුතු බවත් එහි ප්‍රධාන කාර්ය අලුතින් සිතීමට දිරිදීම බවත් විශ්වාස කරමින් විශ්වවිද්‍යාලය අපගේ පරම්පරාව විසින් නැවත තක්සේරු කරනු ලැබිය යුතුව පවතින්නේය යන පදනමෙහි සිට මෙම පරිච්ඡේදය ලියැවේ.”(පි.73)

ඉන්පසු මහාචාර්ය අමරකීර්ති විසින් ප්‍රවේශ කිහිපයක් ඔස්සේ විශ්වවිද්‍යාලය නැවත තක්සේරු කරමින් යයි. අපිට ඒ සියල්ල මෙහි සාරාංශ කරන්නට ඉඩ නෑ. ආයතනයක් ලෙස එහි කාර්යය තක්සේරු කිරීම වෙනුවට අපි මෙහි ගන්න ප්‍රවේශය තමයි මහාචාර්ය අමරකීර්තිගෙ වචනවලින් ඉහත කියැවුණු -දර්ශනශූරියෝ- පොදු සමාජයට අලුතින් සිතන්නට දිරිදෙන්නේ කෙසේද යන්න. අපේ සමාජයේ දැනට ප්‍රසිද්ධ චරිත කිහිපයක් ඇසුරින් ඒ ඒ -දර්ශනශූරියෝ- ඒ ඒ විෂය ක්ෂේත්‍ර සමග සම්බන්ධ වී අපේ පොදු සමාජය වෙත අලුතින් සිතීමට දිරි දෙන ආකාරය විභාග කර බලන්නටත් පුළුවන්. මහජන බුද්ධිමතුන්ගේ තත්ත්වය පරීක්ෂා කරන එවැනි සාකච්ඡාවකට මේ ඉඩ මදි. මම උත්සාහ කරන්නෙ තවදුරටත් මේ ශාස්ත්‍රවන්තයා ඇසුරින් අර ප්‍රශ්නය අහන්න විදිහක් හොයන්නට විතරයි.

සමාජ විපර්යකාරකයෙකුගේ භූමිකාව ශාස්ත්‍රාලයික බුද්ධිමතා මත පිහිටුවන්නෙ කොහොමද? (මහාචාර්ය අමරකීර්ගේ තත් කෘතිය ඒ පිළිබඳවම රූපකයක්ය කියන්නත් පුළුවන්. ඒ්ත් අපි ඊට වඩා මේ අදහස සරල කරන්නට අවශ්‍යයි.) පවතින සමාජය (ක්‍රමය) විවිධ විධිවලින් අර්බුදයක පවතින බව අපි උඩත් කිව්වා. මේ පවතින සමාජය මහජන සුබසිද්ධිමය අර්ථයකින් වෙනස් විය යුතු බව අපි විවිධ විධිවලින් හිතනව. සමාජ ප්‍රජාත්‍රවාදී කණ්ඩායම් හෝ වාමාංශික දේශපාලන කාඩරය නියෝජනය කරන්නෙ ඒ පාර්ශවය. එවැනි සෘජු දේශපාලනික භාවිතයක් නැතිව වුවත් අපේ සාකච්ඡාවේ එන ශාස්ත්‍රාලයික බුද්ධිමතා නියෝජනය කරන්නේද සමාජ ප්‍රජාතන්තවාදී – සමාජය වෙනස් කරන්නට දිරි දෙන අක්ෂයක්. ඒක මැදිහත්කාරක භූමිකාවක් ලෙස වටහාගනිද්දී ඒ ඒ බුද්ධිමය ප්‍රභාවය මතු කෙරෙන ක්ෂේත්‍රයත් අවශ්‍යයෙන්ම බලපානව. ඒ ඒ ක්ෂේත්‍රය පිළිබඳ ඔහුගේ/ඇගේ විශේෂඥතාව පොදු මානව යහපත වෙනුවෙන් අභ්‍යාස කරන්නේ කෙසේද? මං හිතන්නෙ මේක නිර්-පාර්ශවික – මධ්‍යාස්ථධාරී – විදග්ධ භූමිකාවක් හෝ ප්‍රභූ පෙනී සිටීමක් නෙමෙයි කියලයි. මෙහෙම කිව්ව ගමන් මේ විවිධ විධිවලින් මැදිහත් වෙන නම ගිය ශාස්ත්‍රවන්තයෝ සහ ඒ අයගෙ භාවිතයන් අපිට මතක් වෙනව. ඒ් බහුතරයක් ශාස්ත්‍රවන්තයන්ගෙ භාවිතය බැලුවම සාධු සම්මත, ශාස්තෲකාර, ටෙලිබණකාර, ගැලවුම්කාර, සර්වඥ, පුරාජේරුකාර විදිහට සරලාකෘතිකවම කිව හැකි සටකපට මහැදුරු ආලවට්ටම් බවට ඌනනය වෙනව තමයි පෙනෙන්නෙ. බොහෝ අයට සමාජ වියවුල පිළිබඳ අර්බුදය පෙනෙන නමුත් ඒ අර්බුදය වෙනුවෙන් සමාජය මුදාගැනීමේ පුරෝගාමී දැක්මක් හෝ භාවිතයක් වෙනුවට -ශාස්ත්‍රවන්තභාවය- ගලවාගැනීමේ මෙහෙයුමක් තමයි පෙනෙන්නෙ. විෂයික අදහසක් මිස තමාටම කියා මතයක් නැති කෝක වෙතත් ඒ -මැදුම් පිළිවෙත රකිමින්- “බුදු වෙන” ශාස්ත්‍රාලයික බුද්ධිමතුන්ට පහසු අවකාශ තමයි අපේ සමාජයේ ගොඩනැගිල තියෙන්නෙ. ශාස්ත්‍රීය පක්ෂපාතීත්වය සලකුණු කෙරෙන විදිහෙ නොයෙක් ප්‍රශ්න තියෙන බවත් ඇත්ත. කොහොමවුණත් මම දකින්නෙ සමාජය වෙනස්කිරීම සඳහා දැල්වෙන අනුරාගයෙන් යුතු ප්‍රභාමත් පුද්ගලයෙක් තැනීම අධ්‍යාපනයේ විමුක්තිකාරක ගුණයක් විදිහට. අපිට මේ සංවාදයෙදි මහාචාර්ය අමරකීර්තිගෙ කෘතිය තව ටිකක් පුළුල්ව කියවීම වැදගත්.

ඔය අපි කියන ශාස්ත්‍රවන්තයො, ආචාර්ය මහාචාර්යවරු, මහජන බුද්ධිමත්තු තම තම විශේෂඥ ක්ෂේත්‍ර ඇසුරින් පොදු මානව විමුක්තිය වෙත කවුළු විවර කරගත් අයද? මෙතැනදි ශාස්ත්‍රවන්තයන්ගේ ශාස්ත්‍රවන්තභාවයේ ප්‍රාමාණික බව පිළිබඳ ගැටලුව මුණගැහෙනව. එතකොට ඔවුන් ඒ ඒ ක්ෂේත්‍ර ඇසුරින් සමාජයට අලුතින් සිතන්නට ආලෝක එළි දල්වනව වෙනුවට අපේ අර්බුදය හමුවේ ඉන්න ඇතැම් ඉන්ද්‍රජාලික බුද්ධිමතුන්ගේ වෙස් ගන්න ඉඩ තියෙනව. අනිත් එක; ප්‍රාමාණික මහජන බුද්ධිමතුන් – ශාස්ත්‍රවන්තයන් ඇතැම්විට ගැලවුම්කාර ඉසිවරු ලෙසත් – කලකිරුණු – අපිස් – අලස ලෙසත් හැසිරෙන තවුසන් මෙන් වන්නේ ඇයි? තම තම ක්ෂේත්‍රවල තමා ලද පරිචය මහා සමාජයේ පොදු වෙනසක් වෙනුවෙන් ආයෝජනය කරමින් විපර්යකාරකයෙකු ලෙස මැදිහත්වන්නට අවශ්‍ය නැද්ද? මේ ප්‍රශ්නය අහන්නට මේ පොත හරිම වැදගත්. හැබැයි මේ භාරරධූර ප්‍රශ්නය අහනව වෙනුවට තමන්ගෙම සංස්කෘතික ප්‍රාග්ධනය තරකරගන්නට මාන බලමින් -විශ්වවිද්‍යාලය යනු කුමක්ද?- යන මේ පොතත් එහෙ මෙහෙ වණන ශාස්ත්‍රාලයික -උගත්තු- අපට හමුවෙනව.

කොහොමවුණත් මේ පොත ඇසුරින් අද මට මතුකරන්නට අවශ්‍ය වුණ ප්‍රශ්නය තමයි නොයෙක් විධිවලින් අපි යෝජනා කරන -ලස්සන- ලෝකයක් නිර්මාණය කරන්නට – අපේ සමාජය වෙනස් කරන්නට – අවශ්‍ය චින්තනය සහ අනුරාගය දල්වන පූර්වගාමී භූමිකාවක් ශාස්ත්‍රාලයික බුද්ධිමතෙකුට කළ හැකිද? එය කරන්නේ කෙසේද? බුද්ධිමය පාර්ශවික බව සලකුණු කරන්නෙ කොහොමද? මහජන විඥානය පොහොසත් කරන සමාජ විපර්යකාරක භූමිකාවක් අභ්‍යාස කරන්නෙ කොහොමද? දර්ශනශූරින් සතු විශේෂඥතාව සමාජ ප්‍රගමනය වෙනුවෙන් කාන්දු කෙරෙන -ඥානන- ක්‍රියාවලිය කුමන හැඩයක් ගත හැකිද? සමාජයේ ගාමක බලවේගයක් ලෙස විශ්වවිද්‍යාලයේ නැගී සිටීම කෙබඳුද ? පොත කියවපු අයට මේ සංවාදයට එළඹෙන්න පුළුවන්.

කෙටියෙන්ම: තමන්ගෙ බුද්ධිමය පක්ෂපාතීත්වය සමාජය තුළ සලකුණු කිරීම සහ ඒ විදිහ.

ප.ලි. මහාචාර්ය අමරකීර්තිගෙ උක්ත පොත පිළිබඳ ගිය සතියෙ සංවාදයත් මට මගහැරුණා. එහි අදහස් දක්වන්න ප්‍රාමාණික ශාස්තවන්තයෝ කිහිපදෙනෙක්ම සම්බන්ධ වෙලා උන්නු නිසා මම එදා අහන්න උන්නෙත් මේ කෙටි ප්‍රශ්නය විතරයි. මේ තවම මට නිශ්චිත උත්තරයක් නැති ප්‍රශ්නයක්.

 

 

Social Sharing
අවකාශය නවතම