මැතිවරණවලට බය කවුද? ඒ ඇයි?

ලබන මාර්තු මාසයේ අවසානයට කලින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුව තිබේ. එහෙත් ඒවා කල් දැමීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුවේ පාර්ශ්වයට ඇති බවක් වටින්ගොඩින් ඇසෙයි. සමූපකාර ඡන්ද කිහිපයක් පසුගිය සති කිහිපයේ පැවැත්වුණි. ඒවා ජයගත්තේ විපක්ෂයයි. ඒ සෑම තැනකම එතෙක් බලය හොබවනු ලැබුවේ වර්තමාන පාලක පක්ෂය හෝ ඊට සම්බන්ධ පාර්ශ්ව විසිනි.
සමූපකාර ඡන්ද සහ පළාත් පාලන/පළාත් සභා හෝ පාර්ලිමේන්තු/ජනාධිපති ඡන්ද අතර කර්තව්‍යමය සමානත්වයක් නැතත්, ඒ සෑම ඡන්දයකම ජයග්‍රහණය හෝ පරාජය, ඊළඟට පැවැත්වෙන වෙනත් ඡන්දයක ජයග්‍රහණය හෝ පරාජය පිළිබඳ යම් ආකාරයක ඉඟියක් ඇති කරගැනීමට ආධාර කරගත හැකිය. ඒ අර්ථයෙන් ගත් විට, ප්‍රාථමික ගණයේ ලා සැලකිය හැකි සමූපකාර ඡන්දයක් පවා පොදුවේ සැලකෙන්නේ, ඉන්පසුව එළැඹෙන ඡන්දයක ප්‍රතිඵලයේ ස්වභාවය බොහෝදුරට නිවැරදිව දක්වන පෙරනිමිත්තක් වශයෙනි.
දැන් මේ ඉඟිය ආණ්ඩුවට ලැබී තිබේ. ස්වකීය පරිහානිය ඔවුන් ඉදිරියේ දිනපතා දර්ශනය වීමට පටන්ගෙන තිබේ. එබැවින් ඒ අවසාන මූසල මොහොත හැකිතාක් කල් දමාගැනීම කොයි අතිනුත් ඔවුන්ගේ අභිමතය වනු ඇත. වැඩියත්ම, එසේ කල්දමා ගැනීම විසින්ම පරාජය අවම කරගැනීමට හෝ සමහරවිට පරාජය ආපස්සට හරවා ගැනීමටත් යම් මොහොතක ඉඩක් පෑදෙන්නට ඇති ඉඩකඩ ඔවුන්ගේ හිතේ වැඩ කරන්නට පුළුවන.
ඉතිං, මැතිවරණයකට බය කවුද යන ප්‍රශ්නය ඇසුවොත් මේ මොහොතේ කවුරුත් එකහෙලා එකඟ වන පිළිතුර වන්නේ, රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන රාජපක්ෂවාදී පොහොට්ටු ආණ්ඩුව යන්නයි. ඔවුන්ගේ අභිමතය පරිදි යම් ඡන්දයක් කල් දැමුණොත්, ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා මතය ප්‍රකාශයට පත්වන ක්‍රියාවලියකට වඩා, ජනතා මතය යටපත් කරන හෝ සඟවන ක්‍රියාවලියක් බවට පත්වෙයි.
ඇත්ත, ජනතා මතය උරගා බැලීමේ හෝ ජනතා මතයට සවන්දීමේ, පිළිගත් ක්‍රමවේදයක් තිබිය යුතු තමයි. ඒ අනුව, අවුරුදු පහකට සැරයක් පමණක් මැතිවරණයක් පැවැත්වීමයි පිළිගත් සම්ප්‍රදාය. එහෙත්, ඊට කලින් පාර්ලිමේන්තුවක්, පළාත් පාලන ආයතනයක් හෝ පළාත් සභාවක් විසුරුවා හැරීමේ විශේෂිත අවස්ථා සඳහා වන අවකාශය සෑම ක්‍රමයක් තුළම අන්තර්ගත කර තිබීමෙන් පෙනී යන්නේ, එවැනි විශේෂිත අවස්ථා ප්‍රජාතන්ත්‍රවාදය තුළ සැලකිල්ලට ගත යුතු බවයි. අනිත් අතට, විශේෂිත අවස්ථා යනු කවරේදැයි නිර්වචනය කිරීමේදී, යම් පාර්ශ්වයක පටු අවශ්‍යතාවන් ප්‍රමුඛත්වයට පත්වීමට ඇති ඉඩකඩ ගැන පරිස්සම් විය යුතු බවත් ඇත්ත. ඒ අනුව, වර්තමාන විපක්ෂය ඡන්දයක් ඉල්ලන්නේ, බොර දියේ මාළු බෑමට හෝ කල දුටු තැන වළ ඉහගෙන කෑමට බව ආණ්ඩුව කියන්නට ඉඩ තිබේ.
ඒ නිසා, මැතිවරණයක ඇති සැබෑ අවශ්‍යතාව දෙස අපට බැලීමට සිදුවන්නේ, අප ඉදිරියේ ඇති සිද්ධිමය දත්ත මත පදනම්වයි. ලබන මාර්තුවේ පැවැත්විය යුතුව ඇති පළාත් පාලන මැතිවරණය එම වකවානුවේම පැවැත්වීමට නම්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කොට ලබාගන්නා නිර්දේශ අනුව එය කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා මෑතකදී කර ඇති ප්‍රකාශය ඊට අගනා fදාරටුවක් සපයයි.

මැතිවරණ ප්‍රතිසංස්කරණවල අසාර්ථකත්වය
පාලකයන්ගේ මිස ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ

මැතිවරණ පැවැත්වීමේ ක්‍රමය පිළිබඳ ඒකමතිකත්වයක් 1978 ට කලින් තිබුණි. ඉහත කී පළාත් පාලන මැතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වූයේ එම ක්‍රමයටයි. එහෙත්, ඒ ඡන්ද ක්‍රමය තුළ සැබෑ ජනතා නියෝජනයක් ප්‍රකාශයට පත්නොවෙතැයි යන චෝදනාව මතු වුණි. උදාහරණයක් වශයෙන් 1970 දී සිරිමා බණ්ඩාරනාක මැතිනිය ප්‍රමුඛ කඳවුර තුනෙන් දෙකක ආසන සංඛ්‍යාවක් ලැබ ආණ්ඩු බලය පිහිටෙව්වද, ප්‍රකාශයට පත් සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා තිබුණේ පරාජය වූ එක්සත් ජාතික පක්ෂයයි. එවැනිම තත්වයක්, 1956 එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ජයග්‍රහණය කළ මැතිවරණයේදීත් දක්නට ලැබුණි. ඒ නිසා, ඊට විසඳුමක් වශයෙන් 1978 පටන් සමානුපාතික ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කෙරුණි. එදා සිට අද දක්වාම, මේ සමානුපාතික ඡන්ද ක්‍රමය ගැනත් ප්‍රශ්න රාශියක් උද්ගතව තිබේ. ඒ ප්‍රශ්න දඩමීමා කරගෙන, ඇතැම් මැතිවරණ කල්දැමීමට විටින්විට පාලකයන් ගත් උත්සාහයන්ද ඉතිහාසයේ තිබේ.
කෙසේ වෙතත්, මෙකී ප්‍රශ්න නිරාකරණය කොට ලංකාවට සුදුසු ඡන්ද ක්‍රමයක් යෝජනා කිරීම සඳහා 2003 දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කෙරුණි. එහි සභාපතිත්වය දැරුවේ වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධනයි. මේ තේරීම් කාරක සභාවේ අවුරුදු 10 කට ආසන්න කාලයක ඇති වූ සියලු වාදවිවාදවලින් පසු, මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පිළිබඳව අවසානයේදී කවුරුත් එකඟ වුණි. එනම්, 1978 ට කලින් තිබුණු ආසන ක්‍රමය සහ 1978 න් පසු ඇති කරගත් සමානුපාතික ඡන්ද ක්‍රමය යන දෙකේ මිශ්‍රණයකි. මේ අවසාන එකඟත්වය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමට, තේරීම් කාරක සභාව පත්කිරීමේ සිට අවුරුදු 15 ක් ගත විය. ඒ අනුව, එකී මිශ්‍ර ක්‍රමය යටතේ පළමු වරට 2018 දී පළාත් පාලන ඡන්ද පැවැත්වුණි. ඊළඟට, මේ විෂය අරභයාම තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් 2021 දී පත්කෙරුණි. එහි සභාපතිත්වය දැරුවේද දිනේෂ් ගුණවර්ධනමයි. එහි අවසාන වාර්තාව මීට මාස කිහිපයකට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
දැන් අප ඉදිරියේ මතු වන ප්‍රශ්නය මෙයයි: මේ විෂය අරභයා පළමු තේරීම් කාරක සභාව පත් කරගත් 2003 පටන් පාර්ලිමේන්තුව නියෝජනය කළ පිරිසම, අඩුවැඩි වශයෙන්, තවමත් පාර්ලිමේන්තුවේ සිටිති. එදා පටන් රටේ පාලනය හෙබවූ ප්‍රධාන පක්ෂ දෙකම තවමත් පාලනය හොබවයි. කිහිප විටක්ම තේරීම් කාරක සභා පත්කරගෙන මෙම විෂය හැදෑරුවේ සහ අධ්‍යයනය කළේ ඔවුන් ය. එහෙත් මේ දක්වාමත්, රටට ගැලපෙන ඡන්ද ක්‍රමයක් අවසානාත්මක වශයෙන් සකස් කරගැනීමට ඔවුන් අසමත්ව ඇත්නම්, ඒ අසමත් භාවයට වන්දියක් වශයෙන්, ලබන මාර්තුවේ ලැබිය යුතු ජනතාවගේ ඡන්ද අයිතියක් එම ජනතාවට නොදී කල් දැමීමට කිසි අයිතියක් එම පාලකයන්ට ලැබෙන්නේ නැත. මේ කාලය තුළ රට කරවා ඇත්තේ, අද පාලනය හොබවන ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඇතුළු නායකයන් මිස වෙනත් ග්‍රහ ලෝකයකින් ආ පිරිසක් නොවන හෙයිනි.

ඡන්ද අයිතිය: ජනතා පරමාධිපත්‍යයේ පදනම

එබැවින් ඡන්ද කල්දැමීමට අරඇඳීම පසුපස ඇති සැබෑ හේතුව වන්නේ, මේ ලිපියේ මුලින් කී පක්ෂ-දේශපාලනික අවශ්‍යතාවන් බව පැහැදිලියි. වර්තමාන තත්වය තුළ ඕනෑම ඡන්දයක් විසින් හෙලිදරව් කෙරෙනු ඇත්තේ එකම කාරණයකි. එනම්, පාලක පොහොට්ටු කඳවුරේ පරිහානියයි. එම පරිහානියම, විපක්ෂයේ සාර්ථකත්වයක් බවටත් පරිවර්තනය වෙනු ඇත. පළාත් පාලන ඡන්දයටත් වඩා මේ තත්වය තුළ පාලක කඳවුර අර්බුදයට යනු ඇත්තේ, පාර්ලිමේන්තු මැතිවරණයකිනි. එම ඡන්දයත් ඊළඟ මාර්තුවේ පැවැත්වීමේ ව්‍යවස්ථානුකූල හැකියාව තිබේ.
කරුණු එසේ වුවද, ජනාධිපතිවරයාට තව අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ව්‍යවස්ථානුකූලව අනභිභවනීය විය හැකිය. ජනාධිපති ක්‍රමය අහෝසි වීමක්වත්, ජනාධිපතිවරණයක්වත් 2024 ට කලින් නොපැමිණෙන බැවිනි. එම වරප්‍රසාදය, පොහොට්ටු කඳවුරේ වෙන කිසිවෙකුට නැත. ඊට කලින්, ඉදිරි කෙටි කාලය තුළ පැමිණිය හැකි -සමූපකාර ඡන්දයක් වේවා, පළාත් පාලන හෝ පළාත් සභා ඡන්දයක් වේවා, පාර්ලිමේන්තු ඡන්දයක් වේවා- ඒ සෑම අවස්ථාවක්ම පොහොට්ටුවට අන්තිම මාරක ය.
ඒකාධිපතියෝ ඡන්ද නොතියති. තිබ්බොත්, තරගකාරීත්වයකින් තොරව ය. එහි අදහස වන්නේ, ජනතා කැමැත්ත විසින් තමන් ප්‍රතික්ෂේප කරනු ලැබීම දරාගැනීමට එවැනි පාලකයන්ට ඇති නොහැකියාවයි. මොන තරම් අධිකාරීවාදී සහ ප්‍රජාපීඩක මාවත් ඔස්සේ අප ගමන් කොට ඇතත්, සැබෑ ඒකාධිපති මාවතක මෙතෙක් අප ගමන් කොට නැත. ඉදිරියටත් එවැනි මාවතකට අවතීර්ණ වෙතැයි සිතිය නොහැක. එහෙත්, ඉන් මෙහා ඇති විවිධ ප්‍රජාපීඩක ඉසව්, ව්‍යවස්ථානුකූලත්වය සහ නෛතිකත්වයේ කඩතුරා ඔස්සේ භාවිතයට ගත් ඉතිහාසයක් අපට තිබේ. පසුගිය දා ගෙනෙන්ට තැත් කළ ‘පුනරුත්ථාපන’ කෙටුම්පත එවැනි අවස්ථාවකි. වාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුණි.
රනිල් වික්‍රමසිංහ ලවා පළාත් පාලන ඡන්ද කල් දමා ගැනීමට බලන රාජපක්ෂ පවුල සහ ඊට අනුබද්ධිත රාජපක්ෂ කඳවුර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීමට 2005 සිට මේ දක්වා ප්‍රදානය කළ කිසිවක්ම නැත. හැම විටෙකම, හැම අඟලකදීම ඔවුන් බැලුවේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් එළියට අඩියක් හෝ තියාගන්නේ කෙසේද යන්න ගැනයි. මේ දක්වා ඔවුන් ගෙනා සෑම ව්‍යවස්ථා සංශෝධනයක්ම ඊට සාක්ෂි දරයි.
මෙතෙක් කල් තමන් විසින්ම කළ එම රාජකාරිය වෙනත් කෙනෙකු ලවා කරවා ගැනීමට දැන් ඔවුන්ට සිද්ධ වී තිබේ. ඒ වෙනුවෙන් යම් මට්ටමක කැප කිරීම්ද ඔවුන් කරනු ඇත. පසුගියදා 21 වැනි සංශෝධනය සඳහා ඔවුන්ගේ සහාය ලබා දීම එවැනි එක් අවස්ථාවකි. ඒ සියල්ල කෙරෙනුයේ එක ඉලක්කයක් පෙරදැරිවයි. එනම්, රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය අවසන් වන තෙක්, තමන්ගේ පාර්ලිමේන්තු බහුතරය ආරක්ෂා කරගැනීමයි. එම කාලය තුළ රටේ ජනතාවගේ මනෝභාවයේ වෙනසක් වෙනු ඇතැයි ඔවුන් ගණන් බලනවා ඇති. බලයෙන් වීසි වී හිරේ ගිය බ්‍රසීලයේ ලූලා ද සිල්වා ඉතා කෙටි කාලයකින් නැවත බලයට පැමිණීම, වෙන කාටත් වඩා රාජපක්ෂලාට අහ්ලාදජනක සිද්ධියක් වී ඇති බවක් පෙනේ. පිලිපීනයේ මාකෝස්ලා පවා, කල් ඇවෑමෙන් යළි බලයට ආ බවත් ඔවුන් දන්නවා ඇති.
පසුගිය මාස කිහිපයේ ලංකාවේ සිදු වූ මහා පෙරළිය වනාහී, අඩු වශයෙන් ඊළඟ මාර්තු මාසයේදීවත් පැවැත්විය යුතුව ඇති පළාත් පාලන ඡන්දය වැනි කල-වයස සපිරෙන මැතිවරණ ව්‍යාජ අවසරයන් යටතේ කල් දැමීමට නොව, ඉදිරි අවුරුදු දෙකකට එහායින් ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණය පවා හැකිතාක් මෑතට ගැනීමේ අවශ්‍යතාව මතු කොට ඇති පෙරළියකි. එය නැවත නැවතත් පාලකයන්ට ඇඟිල්ලෙන් ඇන හෝ මතක් කර දිය යුතුව තිබේ.

ගාමිණී වියන්ගොඩ

Social Sharing
නවතම විශේෂාංග