යාළුවෙක් එක්ක කෝල් එකක ඉන්න ගමන් Fb එකෙන් දකින්න ලැබුන පල්ලේගම හේමරතන හාමුදුරුවො අටමස්ථානාධිපති බවට පත්වුන බව. ඇත්තෙන්ම මේ ලියන මොහොත වෙද්දිනුත් උන්වහන්සේගේ නව උසස්වීම මුළු ලංකාවම දැනගෙන ඉවරයි. ඒ ගැන තමන්ගේ දෘෂ්ටිකෝණ වලින් කරපු විවේචන මමත් දැක්ක. මට ඒ ගැන විරෝධයක් නැහැ.
මට පල්ලේගම හාමුදුරුවො ගැන විශාල ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක් තියෙනව උන්වහන්සේගේ ගීත මෙහෙවර සම්බන්ධයෙන්. මොකද මේකෙ ජාතිවාදයෙන්, ආගම් වාදයෙන් උමතු වුන අය මිසක්ක සාහිත්‍යයෙන්, කලාවෙන් දැනුමෙන් පෝෂණය වුන සහ කළ අය ඉතා අඩුයි. අල්පයි. දේශපාලනික වශයෙන් උන්වහන්සේ ගැන මම කතා කරන්න සූදානම් නැත්තෙ දේශපාලන වශයෙන් උන්වහන්සේ කළ කී දෑ වලට වඩා ගීතය ඇතුළෙ කරපු වැඩ විශාල වන නිසා සහ මට එය ආදර්ශයක් සපයන නිසා. ඒ වගේම ඒ ගීත දර්ශකයම වෙනත් දේශපාලනික පැතිකඩක් බව අප අමතක නොකළ යුතු කාරණයක්. (අනික ඒ ගැන අපි වෙලාවක කතා කළ යුතු බැරෑරුම් දෙයක් නිසා)
මම පල්ලේගම හාමුදුරුවො ගැන දැනගන්නෙ පත්තරෙන්, ටී.වී එකෙන්. උන්වහන්සේ වෙත ලගා විය හැකි වෙනත් ක්‍රමයක් මට මගේ ජීවිතය තුළ ලැබිල නැති එක ගැන යම් කණගාටුවකුත් නැතුවාම නෙමෙයි. දුරින් ඉදන් මම දැකපු මේ නිර්මාණකාරයාගේ සුවිශේෂී බව සුළු නැහැ. පටු නැහැ. ක්ෂුද්‍ර නැහැ. ඒක මහ විශාලයි. සිංහල ගීත සාහිත්‍ය තුළ බර අඩි තිබ්බ යතිවරු කිහිප දෙනයි අපට ඉන්නෙ. ඒ අතරෙ පළමුව දෙවනුව තැබිය හැකි සුවිශේෂී නිර්මාණ කරුවා පල්ලේගම හේමරතන හාමුදුරුවො. රුවන්මැලි මහා සෑය වගේ ගීත සෑයක් රටට දුන්න යතිවරයෙක් කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. සෙල්ලම් සමුච්ඡයක්.
උන්වහන්සේගේ නිර්මාණ මෙහෙවර සුවිශේෂී එකක්. එක පැත්තකින් 60 දශකයේ අග බාගයේ චූල කවියෙක්. එක පැත්තකින් 70 දශකයේ අග පමණ ඇරඹුම ගත්ත බරසාර ගීත රචකයෙක්. ගත් කතුවරයෙක්. මේ හැමදේම එක්ක පල්ලේගම හේමරතන හාමුදුරුවො කියන්නෙ යතිවර සාහිත්‍යමය මහා සෑයෙ පාදමද, පේසා වලල්ලක්ද, ගර්භයද, දේවතා කොටුවද, කොත් කැරැල්ලද, කොතද, කියල මට හිතාගන්න බැහැ. ඒ කොහොම වුනත් සෑය වටා එතිනු අවශේෂ ලිය වැලක්, හංස පේළියක්නම් නොවන වග මට නිශ්චිතයි. මම හිතන්නෙ පල්ලේගම හාමුදුරුවො කියන්නෙ මේ සියල්ලට. ඒ වගේ මහා බරක්, මහා ශක්තියක්….!
අද උන්වහන්සේ ලිව්ව සමහර ගීත ලංකාවේ Tiktok, Facebook, WhatsApp, වගේ මීඩියාවල ඇනිමේෂන්, කවර් වීඩියෝ ලෙස නිර්මාණය වෙලා තරුණයන් අතර ජනප්‍රිය වෙනව. ලංකාවේ සෑම ව්‍යසනයකදිම එන ටැග් ලයින් එක “සොබා දහමට නොවන අවනත-ලොවේ කිසිවක් නෑ” උන්වහන්සේ ලියූ කරුණාරත්න දිවුල්ගනේ ගයන “අතීතය සිහිනයක් පමණයි” ගීතයේ පද පේලියක් බව රහසක් නෙමෙයි.
නමුත් පරපුරක් වශයෙන් ඒ මහා බර අපිට සමහර තැන්වලදි අමතක වෙලා හෝ හිතාමතා අමතක කරන ස්වභාවයක් සමහර විවේචන වලදි අපි දකිනව.
W.D අමරදේවයන් උන්වහන්සේ ලිව්ව “අතීතය සිහිනයක්” ගේය කෘතියේ පසුවදනෙ මෙහෙම සටහනක් තියනව.
“වාන් දමන උතුරා ගලන මහා වාපියක් සේ උතුරා ගලන මානව භක්තියත්, ඒ තුළින් උපන් උපන් සොඳුරු සිත් රූ මවා සැබෑ මිනිසුන්ගේ සුඛ සෝමනස්සයන් සේම දුක්ඛ දෝමනස්සයන් මගින්ද සහෘද ඇතුළු හද තුළ ගුම් නංවන උන්වහන්සේගේ දුලබ නිසඟ සිදු පිළිබන් අතීතයක් සිහිනයක් වෙතින් අලව් දෙන අයුරු අසිරිමත්ය.”(W.D අමරදේව; අතීතය සිහිනයක් පසුවදන)
“පහන නිවී දොළොස්මහේ”, “සීතල ගගුල වගේ”, “සඳ මඬල වී”, “අතීතය සිහිනයක්”, කියන්නෙ උන්වහන්සේ ගත් කතුවරයෙක් විදියට අප අතර විද්‍යමාන වුන අවස්ථා කිහිපයක්.
උන්වහන්සේ ගීත රචකයෙක් විදියට ආව ගමන් මගේ අපට අමතක නොවන ජනප්‍රිය ගීත සහ ජනප්‍රිය නොවුනු රසවත් ගීත බොහෝමයි.
• උස්මිටිකම් නොබලාවී – ප්‍රේමසිරි කේමදාස/ ටී එම් ජයරත්න/
• සඳ මඬළ වී/ නදීක ගුරුගේ/ නිරෝෂා විරාජිනී
• ලොවේ දුක දැක
• මේ රැයත් දිගු රැයක් / ජානක වික්‍රමසිංහ/ නවරත්න ගමගේ
• බෝධියෙන් වට බෝ පතක්/ W.D අමරදේව
• අතීතය සිහිනයක් පමණයි/ කරුණාරත්න දිවුල්ගනේ
• මව්ගේ උකුලේ නැලැවුනු සමයේ
• එන්න කියලා වසන්තයටත්/ ක්‍රිෂාන්ත එරන්දක/දර්ශන වික්‍රමතුංග
• සිත නිවා පහන් කල සඳ එළිය නිවි නිවී/ ගුණදාස කපුගේ
• පෙම් පිළිසඳරේ / ප්‍රේමසිරි කේමදාස/ H.R. ජෝතිපාල
• සුළඟ වගේ එන කරදර/ අමරසිරි පීරිස්/
• නින්දා ගැරහුම් අවමන්/ සේනානායක වේරලියද්ද/ජානක ෆොන්සේකා
• සත්මුතු පරපුරක් පුරා/ අමරසිරි පීරිස්/තිස්ස සිරි පෙරේරා
මේ උන්වහන්සේ අපට දායාද කරපු ගීත ගොන්නකින් ඉතා සුළු කොටසක්. සමහරවිට උන්වහන්සේට පවා අමතකව ගිය ගීත රැසක් උන්වහන්සේ රචනා කරල ඇති. ඒ තරමටම එය ඉතා දිගු ගීත දර්ශකයක්.
මම හිතන්නෙ නිර්මාණ කරණයේ ඉතාක්ෂුද්ර මොහොතක ඉන්න මට උන්වහන්සේගේ ගේය කාව්‍යය පද්‍ය කාව්‍ය ගැන යමක් කියන්න අවශ්‍යය කෙරෙන්නෙ නැහැ. මොකද ඒවයේ ශාස්ත්‍රීය තත්වයන් ගැන විචාර පූර්වකව සහ රසවින්දනාත්මකව මුළු ලංකාවම විඳල අවසානයි. අපට තියෙන්නෙ පාඩම් ඉගෙන ගන්න පමණමයි. රසවත් වෙන්න පමණයි. කල්පනා කරන්න විතරයි.
උන්වහන්සේගේ ගේය පද රසවත් බව ජනනය කිරීමේදී වැඩියෙන්ම භාවිත කරන්නෙ සරළ බස්වහර සහ සරළ ජීවිත දර්ශනය කියන කාරණා දෙක. උන්වහන්සේගේ භාෂා හැසිරවීම තුළ විශාල පාන්ඩිත්යයක් නැහැ. විශේෂයෙන්ම මිනිස්සුන්ට තේරුම් ගන්න හැකි භාෂාව තමයි භාවිත කරන්නෙ. සංකීර්ණ අද්දැකීම් ඉතා ලුහුඩින් සහ අනුවේදනීයව වගේ ආදරණීයව දක්වන්න උන්වහන්සේ භාෂාව භාවිත කරනව. සංකීර්ණ, ගැඹුරු පදාසයන් මිනිස්සුන්ට සරළව ඒත්තු ගැන්වීම උන්වහන්සේගේ හැම ගීතයකම තිබෙන පොදු ලක්ෂණයක්.
සරළ බස් වහර උන්වහන්සේගේ බොහෝ ගීතවල තියෙන විශේෂ ලක්ෂණයක්.
ඒ වගේම අපට අමතක කළ නොහැකි අනෙක් ලක්ෂණය ජීවන දර්ශනය. ඇතිවීම නැතිවීම මුල් කරගත්ත බුදු දහමක්, අටලෝ දහම, මිනිස් ජීවිත දිහා සාන්දෘෂ්ටික වාදී බැල්මක් හෙළීම ඒ ගීත වල කැපී පෙනෙන ලක්ෂණ. සෑම ගීතයකටම බුදු බණ පදයක තේමාවක හෙවනැල්ල බොහෝ ගීතවල අන්තර්ගත වීමත් ලක්ෂණයක් විදියට දකින්න පුලුවන්.
මිනිසුන් මිනිසුන් ලෙස දකිමින් ඔවුන්ගේ එදානෙදා ජීවිතය හරිහැටි කියවෙගැනීම, ජීවිත ජීවිත ලෙස දකිමින් අනවශ්‍ය සදාචාර විධි යෝජනා කෙරෙන ආගමික හෝ සංස්කෘතික හෙවනැල්ල වෙනුවට දාර්ශනික ආචාරාත්මක පදනමකින් මිනිසුන් දෙස හැරී බැලීම උන්වහන්සේගේ ගීත තුළ අන්තර්ගතයි.
කෙසේවෙතත් උන්වහන්සේ වෙනුවෙන් කෙරෙන අනුස්මරණයක් විදියට උන්වහන්සේගේ ගීත කිහිපයක මගෙ සිත්ගත්ත තැන් මතක් කරන්න කැමතියි.
මධු බදුන් පුරවමින් මසවුළු ද බුදිමින්
සුර සැපම වළඳමින් සිනාසේ ගොපල්ලන්
පීඩිතව පිපාසෙන් තොල තෙමන තරමින්
දිය බිඳක් අයදිමින් හඬයි වහු දරුවන්
•කෝ අපට ගොපල්ලෙක්: නන්දා මාලනී
දන මන පිනවා රඟ දක්වාලා වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටානෝ බෝසත් දම් පුරතේ
•දන මන පිනවා: ගුණදාස කපුගේ
සත්මුතු පරපුරක් පුරා පුන්සඳ වන් වෙළඳ පුරඹරේ
කූඨදන්ත මසුරු වෙළෙන්දෝ වෙළඳ සුරින්දෝ
සිනහ සපිරි මුසා බසින් හිත රවටන්නා
නෙත පුරවා හිත රවටා අත පුරවන්නා
පින් නොළදත් දන් දෙන්නට තරඟ වදින්නා
කූඨදන්ත මසුරු වෙළෙන්දෝ වෙළඳ සුරින්දෝ
•සත්මුතු පරපුරක් පුරා: අමරසිරි පීරිස්
දූගී දෑතට අත්වැළක් වී
දිරිය සවිබල නොපිදුවේ නම්
කුමට සත්සර රාව නංවා
ඉඳිමි ගොළුවී මං
•ලොවේ දුක දැක: ගුණදාස කපුගේ
සුළඟ වගේ එන කරදර
සුළඟ වගෙයි යයි මග හැර
වෙස් පෙරළෙයි එක මොහොතින්
සුළඟ වගේ ජීවිතයම සුළඟ වගේ
මඳ සුළඟින් සැඩ සුළඟට
සැඬ සුළඟින් මඳ පවනට
වෙස් පෙරළෙයි එක මොහොතින්
සුළඟ වගේ
නෙත කඳුළින් හසරැල්ලට
හසරැල්ලෙන් යළි කඳුළට
වෙස් පෙරළෙයි එක මොහොතින්
ජීවිතයම සුළඟ වගෙයි
•සුළඟ වගේ එන කරදර: අමරසිරි පීරිස්
එන්න කියලා වසන්තයටත්
මාවතේ මල් අතුරලා
හැංගිලා නුඹ යන්න ගියෙ ඇයි
හිතේ කඳුළක් රඳවලා
•එන්න කියලා වසන්තයටත්: ක්‍රිෂාන්ත එරන්දක
මේ රැයත් දිගු රැයක්
නින්ද ලග පාත නැති
නොසන්සුන් නුඹෙ හිතත්
තවම නිදි නැතිව ඇති
සංසාර මාවතේ
තනි නොවුන කෙනෙක් නැති
•මේ රැයත් දිගු රැයක්: ජානක වික්‍රමසිංහ
සිත නිවා පහන් කළ – සඳ එළිය නිවි නිවී
සිනා කෙලි කවට බස් – ගනඳුරට මුවාවී
මතක වක්කඩ බිඳී – සෝ සුසුම් රළ නැගේ
ජීවිතේ මදින් මද – මා වෙතින් දුරස් වේ
සෙනෙහසින් වැළඳගෙන නොනිමි දුක් වේදනා
මහ පොළොව සේ නිහඬ ජීවිතේ උසුලනා
දෑත පා විජය ටැඹ යදින මා මිතුරනේ
බැති පෙමින් ඔබ දකිමි මරණයේ කවුළුවෙන්
•සිත නිවා පහන් කළ: ගුණදාස කපුගේ
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියෝවක් නෑ
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ
•අතීතය සිහිනයක් පමණයි: කරුණාරත්න දිවුල්ගනේ
-ගුරුගොඩ සිරිවිමල-