– ඩිල්ෂානි චතුරිකා දාබරේ –
පැරිසියට ලොකු ම හිම කුණාටුව හමමින් තිබූ දවසක, ගුවනින් නිව්යෝක් යන්න බලන් හිටි එක්තරා මගියෙකුට අහම්බෙන් ගුවන් තොටුපළක හමුවුණු සුන්දර කාන්තාවක් ගැන ලියැවුණු කෙටිකතාවක්, ගබ්රියෙල් ගාෂියා මාකේස්ගේ ‘Strange Pilgrims’ කතා එකතුවේ ඇතුළත් වෙනවා. ආකර්ෂණීය සහ අමුතු ගැළපීමක් තියෙන නමක් නිසා, පටුන කියවද්දි මේ කතාව ළඟ බ්රේක් එක වදිනවා. කතාවෙ නම, ‘Sleeping Beauty and the Airplane’.
මේ කතාව අපිට කියන මගියා ගුවන් යානයෙදි ඇය නිදාගන ඉද්දි ඇයට එහා ආසනේ ඉදගන, ඇගේ මට්ටමට ම ආසනේ පහත් කරගෙන, ඈ දිහා බලාගෙන ඉන්නවා, ඇයට නොදැනෙන්න. එක වචනයක කතාවක් හෝ නොකළත් ඇය ගැන සෙන්ට් සුවඳක් වගේ මතකයක් ගොඩනැගුණු විදිය ගැන, ඇගේ සුන්දර හැසිරීම්, පිළිවෙත්, හුස්ම ගන්න විදිය, කතා කළ විලාසය, ඇඳන් හිටි ඇඳුම්, නියපොතුවල හිසකෙස්වල ස්වභාවය ඇතුළු බොහෝ හාව භාව ලීලා නිරීක්ෂණය කළ විදිය ගැන මාකේස් වසීවුණු බසකින් නමුත් හරි ම පිළිවෙළ සහගත සංයමයකින් කියාගෙන යනවා. මට ඒ තානය මතක් කළේ, මළගිය ඇත්තෝ පොතේ, තාත්ත එක්ක කතාකරන්න නොරිකොගෙ ගෙදරට දෙවෙන්දොරා සං ගිය පළවෙනි දවසෙ, අර ලෑලි දොර පසෙකට කරල, වතාවතක් පුරනවා වගේ ලීලකින් එහා පැත්තෙ තිබ්බ තේ පානයට අවශ්‍ය දෑ අරන් මේ කාමරෙන් තියල දොර වහලා, ඒ පානය වත්කළ මොහොත ගැන සරච්චන්ද්‍ර කියමින් මැවූ මෘදු ලාලිත්වය. එම තානයමයි !
මාකේස් මේ කතාවෙ දි කරන ලස්සන ම දේ තමයි, ආදරය උනන ගුවන්තොටුපළ පර්යන්තයට එහා පැරිසියෙ කාලගුණය වඩවඩාත් හීත කරමින්, හිමකුණාටු ඇතිකරමින්, ගුවන් ගමන් ප්‍රමාද කරමින්, භාව උද්දීපනයට උචිත පසුබිම පියවරෙන් පියවර ගොඩනගන එක. ‘නාට්‍ය ශාස්ත්රයේ’ රස භාව විග්රහයෙ එක්තරා තැනකදි භරතමුණි පරිසරය රස භාව පෝෂණයට බලපාන විදිය ගැන ‘උද්දීපන විභාව’ යටතේ සඳහන් කරනවා. මේ කෙටිකතාව පුරා, මේ සීත පරිසරය – උණුසුම හැඟීම් අතර සිදුවීම් දෝලනය වනවා දැකගන්න පුලුවන්. කොහොම වුණත්, කතාවෙ මං ආස ම වාක්‍යය තියෙන්නෙ, දෙවනි ජේදෙ. වාක්‍යය වෙත ක්‍රමිකව එන්න මං ජේදෙ කොටසක් සාරාංශව සඳහන් කරනවා, මෙහෙම.
උදේ නමය විතර වෙද්දි, නගරෙ ම හිමෙන් වැහිලා තිබුණේ. මුළු රෑ පුරා ම බරපතල හිම වැසි. පාරවල් පුරා රථවාහන තදබදය හොඳට ම වැඩියි. සීත හිමේ ගිලෙමින් වාහන දුම් දමමින් වාස්ප නිකුත් කරමින් තිබුණා. පිටත එහෙම වුණත්, ගුවන් තොටුපළ පර්යන්තයට තවමත් වසන්ත සෘතුව ගතවෙමින් තිබුණේ !
‘එළියෙ හිම වැසි තිබුණත්, ඇතුළෙ තවමත් වසන්තය !’ අර මගියාගෙ හිතේ අර සොඳුරිය ගැන ආදරයක් හටගෙන තිබ්බා කියන එක, කියන්න මීට වඩා රසවත් භාෂා හරඹයක් තියෙන්න පුලුවන්ද ? මාකේස් මේ වාක්‍යය ඇතුළේ මගියාගේ අවංක ආදර හැඟීම හෙළිකරනවා. මං මේ වාක්‍යය ආයෙ ආයෙ ආයෙ ම කියෙව්වා, එතරම් ලස්සන නිසා. කියවන සැරයක් ගානෙ මට මැවිලා පේන්නෙ, හිම වැටෙන සුදු පාට පැරිසියෙ ගුවන් තොටුපළ පර්යන්තයට විතරක් රෝස පාට මල් පෙති ඉහළ සිට හැලෙමින් තියෙන මොහොතක්.
මේ ට්‍රික් එක ම ඔපොසිට් විදියට, ‘කුස දා කවේ’ අලගියවන්න මුකවෙටි කවියට ගන්නවා. පබාවතීගෙන් මිදුණු කුසට සෞම්‍ය සඳ පේන්නෙ අව්කාස්ටෙ ඉර වගේ, ‘සිහිල් සොමි තරිඳු රිවි මෙන් දිසේයා’. ධර්ම ප්‍රදීපිකාවේ සුළි කළිගුදාවතේ, කළිඟු කුමාරයා වනේ ඉද්දි එයාට වැස්ස දැනෙන්නෙ ගිරිස්මෙ වගෙ. ඇත්තට ම මෙතන වෙන්නෙ, අදාළ රස වඩවන්න දැනෙන මුල් රසයට ඉඳුරා විරුද්ධ දෙයක් එක ළඟ ගෙනැවිත් තැබීම. නමුත් මාකේස් කරන්නෙ, මේකෙ අනික් පැත්ත. එයා සිසිරයට ඔපොසිට්ව වසන්ත සෘතුව ගන්නෙ, හැඟීමේ වෙනසක් නොකර, සෝකය නැතිව ප්‍රීති හැඟීම ම ජනනය කරන්නයි.
මේ කතාවෙ Airplane එක වෙන කවුරුත් නෙමෙ මේ පුරුෂයා ම කියලයි මට හිතෙන්නෙ, මොකද පුරුෂාර්ථයක් ඒ වචනය ඉල්ලා සිටිනවා. Sleeping Beauty නාමිකව සුරංගනා කතාවක චරිතයක් වුණත්, මේ කතාවෙ දි ඇය හුදෙක් නිදි කුමරියකගෙන් එහාට කතාව වෙනුවෙන් පෙනී සිටිනවා.
මාකේස්ගේ කෙටි කතාව පුරා ම සීත කාලගුණේ විවිධ විපර්යාස නිසා සිදුවෙන ඇබැද්දි තිබුණත්, අර සිංහ දේනුවක් තරම් පෞරුෂවත්, සුන්දර, ආත්ම විශ්වාසයෙන් හෙඹි කාන්තාව නිසා, සෘණ සහිත බවක් ඔලුවට එන්නෙ නෑ. පැරිසියට නොගියත් පැරිසියේ ස්වභාවය මේ කාන්තාව ගැන කරන වර්ණනයෙන් අපිට මැවිලා පේනවා.
මේ කතාව අපිට කියන මගියාත්, කාන්තාවත් කියන දෙන්න ම කොයිවෙලේ හරි එකිනෙකා එක්ක කතාකරල දැන හඳුනාගනී කියල පාඨකයෝ ආසාවෙන් බලන් ඉන්නව. නමුත් මාකේස් කතාවෙ පීක් එක ගන්නෙ, අවසානයෙ දි. මෙතෙක් වෙලා මොහු වසීවෙලා බලන් හිටි, තමන්ට එහා ආසනෙ හිටි අර Sleeping Beauty මගියාට වචනයක්වත් ගුඩ් බායි දෙයක්වත් නොකියා, යානයෙන් බැහැලා යන්නෙ, කතාව අවසාන වෙද්දිත් ඉන්නෙ මුලදි හිටි යුවතිය ම බව පෙන්වමින්, තමන්ගේ තත්වය තවදුරටත් තියාගනිමින්, කොටින් ම වෙන කිසිම බලවේගයකට තමන්ව හෑන්ඩ්ල් කරන්න ඉඩ නොතබමින්, අවට සිදුවෙන කිසිම දෙයක් තමන්ගේ ඇඟට නොගනිමින්, ඔහු කියල කෙනෙක් ළඟ උන්නද කියලවත් නොදැන, ඒ අලංකාර ප්‍රෞඩ ලීලයෙන් මයි. මේ නොදැනීම ඇතුළෙයි ලස්සන තියෙන්නෙ!
ගාෂියා මාකේස්ගේ කෙටිකතා වැඩිය තියා කොහෙත්ම කියවලා හෝ මතකයේ නොතිබුණු මට, ‘Sleeping Beauty and the Airplane’ කියන්නෙ අලුත් අත්දැකීමක්. අලුතෙන් ම ගත්ත ඇඳුමක් ඒ අලුත් සුවඳ පිටින් ම අඳිනකොට දැනෙන මිහිර දනවන හැඟීමක් !
උපුටාගැනීම : ෆේස්බුක්