‘ඊයේ’ ගැන !!!

-මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි-

ඊයේ දිනය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ “වැදගත්ම දිනය“ ලෙස නම්කිරීම හැම අතින්ම අර්ථාන්විතය. මේ සිදුවීම තේරුම් කිරීම නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තේරුම් ගැනීමක්ම වේ. මේ පිළිබඳව විමසා බැලීමට හොඳම ක්‍රමය ඊයේ සිදුවීමේ බුද්ධිමත් විවේචකයින් මේ පිළිබදව කියන දේ විභාග කර බැලීමයි. මේ බුද්ධිමත් විවේචකයින් වනාහී මහින්ද පතිරණ, අජිත් පැරකුම් ජයසිංහ සහ විශේෂයෙන්ම නලින් ද සිල්වා ගේ තරුණ අනුගාමිකයින්ය.

මේ දිනවල මේ අය ලියන දේවල් ප්‍රවේශමෙන් විභාග කර බැලීම ප්‍රජාතන්ත්‍රවාදයේ යුගයේ දේශපාලනය යන්න තේරුම් ගැනීමට හොඳ අභ්‍යාසයකි. පහත සටහන ද ඒ වෙනුවෙනි.

මහජනයාගේ සාමූහික වශයෙන් මැදිහත් වී කරන අරගලවල ප්‍රචණ්ඩත්වය දරා ගැනීමට නොහැකි නම් කළ හැකි එකම දෙය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමයි. අඩුතරමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම මැතිවරණවලදී ඡන්දය දීම යන දේශපාලන ක්‍රියාවට පමණක් සීමා කිරීමයි. නමුත් මේ යුගයේ (මේ යුගය යනු 17වන ශතවර්ෂයේ පමණ යුරෝපයෙන් ආරම්භ වූ නූතනත්වයේ යුගයයි.) දේශපාලනය පොදු ජනයාගේ ඍජු දේශපාලන මැදිහත්වීම ප්‍රතික්ෂේප කර පරිකල්පනය කළ නොහැක්කකි.

පොදු ජනයා දේශපාලන ක්‍රියාවට ඍජුව මැදිහත්වන සෑම විටකම එය සිදුවන්නේ කිසියම් පොදුජන සමූහයක් ඓතිහාසිකව අත්පත්කරගෙන තියෙන සාමූහික පොදුජන මනසේ ක්‍රියාකාරිත්වය හරහා ය.

නිර්ප්‍රචණ්ඩ අරගල යනු ප්‍රචණ්ඩත්වය, එසේත් නැතිනම් හිංසන ක්‍රියා නොමැති අරගල නොව, ප්‍රචණ්ඩ ක්‍රියාව අරගලයේ මූලික අවිය නොවන අරගලයි. උදාහරණයක් ලෙස 87/89 අරගලයේ මූලික දේශපාලන අවිය වූයේ ප්‍රචණ්ඩ ක්‍රියාවයි. එසේම 1983න් පසු උතුරේ ජාතික විමුක්ති අරගලය තුළ ප්‍රමුඛත්වයට පැමිණියේ ද එල්ටීටීඊ සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියාවයි. මෙහි දී අවධාරණය කෙරෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාව හොඳ ද නරකද යන්න නොව, එය කරුණක් ලෙස තේරුම් ගැනීම වැදගත් බවයි. නමුත් ඊයේ වැනි දේශපාලන ක්‍රියා වෙනස්ය. ඒවාට ප්‍රචණ්ඩත්වය පැමිනෙන්නේ ජනයා ගේ සාමූහික දේශපාලන මනසේ ආචරණය නිසාය. රනිල්ගේ නිවසට ගිනි තැබීමට ක්‍රියා කළ පුද්ගලයාගේ හෝ පුද්ගලයින් කීපදෙනාගේ දේශපාලන මනස ක්‍රියාත්මක වූ ආකාරය හා රෝහණ විජේවීරගේ හෝ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේශපාලන මනස ක්‍රියාත්මක වූ ආකාරය ව්‍යුහාත්මක වශයෙන් වෙනස්ය. මේ වෙනස තේරුම් නොගෙන ඍජු ජනතා අරගලවල දේශපාලනය තේරුම් ගත නොහැක.

 

Social Sharing
නවතම විශේෂාංග