ක්‍රිෂ්ණා හෙවත් විෂ්ණු

වසර 40කට එහා දිවෙන අතීතතයක් තියෙන, ඉතාම නිවුණු වර්තමානයක් සහිත මේ සහෝදර ඇසුර තරම මානවීය බැඳීමක් මම ජීවිතයේ අත්දැක නැහැ. අපේ ඇසුරේ අක්මුල් ඇත්තේ පවුල් අතර තිබූ බැඳීමකින් වුවත්, අප දෙදෙන ඉන් පරිබාහිර මිතුරන් බවට පත්වන්නේ පාසැල් බස් රියේ එකට පාසැල් ගිය සමයෙන්.

ඉනික්බිති පාසැල් සමය නිමාකර ලුම්පන් ජීවිත වලට පිවිසෙන අප රැකියා සොයමින් හා සුලු රැකියා කරමින් උසස් අධ්‍යාපනයද ලබමින් එක මොහොතක එකම ආයතනයක රැකියාවට පිවිසී ජීවිතය පටන් ගන්නවා. එකට කවි ලියූ, එකට චිත්‍රපට නැරඹූ, එකම බත් පාර්සලය බෙදාගෙන කෑ, අතේ කීයක් හෝ ගැවසුන මොහොතක මහනුවර ග්‍රීන් කැෆේ හි ඉහළ මාලයේ බීර බී වෙරි වූ, පේරාදෙණිය කැම්පස් වලේ නාට්‍ය නැරඹූ අතීතයක් හරහා කොළඹට සංක්‍රමණය වී සාහිත්‍ය කලා ඇසුර මෙන්ම ජීවිත දිශානතිය ද වෙනස් කරගත් සමයක් අපට තිබුණා. වැටෙමින් නැගිටිමින්, එක්ව කොක් හඬලා සිනාසෙමින්, ඉකිබිඳිමින් කමින් බොමින් ගෙවූ ජීවිතයේ 06වන දශකයට අපි දැන් පිවිසී අවසන්.

මට මගේ ජීවිතයේ දරාගැනීමට අපහසු මොහොතවල් උරහිසින් ගත් සහෝදරයෙක් වෙත් නම් ඒ ක්‍රිෂ්ණා හෙවත් විෂ්ණු පමණමයි. මගේ ජීවිතයේ යම් සාර්ථක වීමක් දුටු සැනින් ඉන්දියානු රාත්‍රී ආහාර වේලක් සකසා වරෙන් අපි අද සමරමු කියා කියා ඇත්තේ ඔහු පමණයි. මගේ ජීවිතයේ ඇදවැටීමක් සිදුවූ මොහොතක මුහුදු වෙරළේ මධුවිතක් තොලගාමින් ඒ ඛේදයන් සිතින් සමහන් කරන්නට සමත්වූ වෙදදුරා ඔහු පමණයි. මගේ පුතාට මටත් වඩා උතුරා යන ආදරයක් ලබා දෙන “ක්‍රිෂ්ණා මාමා” නම් වූ දෙවැනි පියා ඔහුමයි.

මිනිසෙකු තුල නිදන්ගත අසාමාන්‍ය මිනිස්කම දෝතට ගෙන අනෙකාට තිලිණ කලහැකි කෙනෙක් වෙත්නම් ඒ මගේ මේ සහෝදරයා පමණයි. සංගීතයද, සිනමාවද, සාහිත්‍යද, ගැන ඔහුගෙන් මා උගත් පමණ අපමණයි. සෑම විටම පීඩිතයාගේ පස සිටගන්නා අපට වඩා විශ්වීය පීඩිතයාගේ ජීවිතය සිය කැමරා ඇසට හසුකරගත්, සිය පෑන් තුඩට එකතු කරගත් ඔහු අපට වඩා ඉදිරියෙන් සිටගත්තෙක්. Gandhi’ s Children, Butterfly, Handful of Leaves, අම්මා ඔහුගේ සලරූ සටහන් ඒ මාහැඟි උදාහරණ. ඒවා සිනමා කෘති පමණක්ම නොවේ ඒවා කවි.

ඔහු සමග මධුපානීය මොහොතක් යනු දූපතෙන් එළියට අප වීසා නැතිව රැගෙන යන විශ්වීය චාරිකාවක්.

ඉතිං මගේ සහෝදරයා, ඥාතියා, හොඳම මිතුරා බොහීමියානු ගමන් සගයා අද සිය දිවිමගේ සවැනි දශකයට එළඹෙනවා. මචං , මේක අපි කාටවත් සුන්දර කාලයක් නොවුණත්, 60ත් වයසක් ද කියා ඇසිය හැකි සුන්දර ජීවන දශකය මේක. කාලය හා මේ කාලකන්නි පාලක රැහැ විසින් අපව කි.මී 150ක් ඈතට දුරස් කර තැබූවද අප පටන් ගත් නුවරදී අප හමුවිය යුතුයි. ඒ මොහොත ද රසෝඝයක උල්පත් විවර වීමක් බව හොඳාකාරවම දනිමින් එළඹෙන සතියේ ඒ සිහිනය සැබෑවක් වේවා යි පතමි.

මචං ඉතින් අප ජීවත් විය යුතුයි. ගැහැට මැද ජීවත්වීම තරම් සුන්දරත්වයක් තවත් නැහැ. වයස යනු හුදු ඉලක්කමක් පමණයි. උඹට දීර්ඝායු වේවා! කියා පැතියයුතු නෑ. එය එසේ වෙනවා. ඒ උඹ ජීවිතයේ රැස් කළ අනෙකාට පවා නොපෙනෙන මහා වස්තු සම්භාරය තිබෙන බව හොඳාකාරවම දන්නා මෙලොව වෙසෙන මිනිස් ප්‍රාණීන්ගෙන් එකෙක් මා වෙන නිසා.

මගේ ආදරය මේ සමග

කපිල එම්. ගමගේ

Social Sharing
අවකාශය විශේෂාංග