ශ්‍රී ලංකන් එයාර්ලයින් මැදපෙරදිගට දෙයි ද..?

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන හෙයින් තෙල් පවතින රටකට ලබාදුනහොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන නිසා ඒ ගැන මෙසේ වැඩි අවධානය යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ශ්‍රී ලංකන් එයාර් ආයතනය පවත්වාගෙන යන්නේරුපියල් කෝටි තිස් එක් දහස් පන් සියයක ණය කන්දරාවක් යටතේ හෙයින් මේ ආයතනය මේ රටේ ජනතාවට තවදුරටත් බරක් නොවනු පිණිස ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේදීම අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්පයන් හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේ‍ය.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බව පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand )ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බවද ප්‍රකාශ කළේය.

( ලංකාදීප )

Social Sharing
නවතම