‘රෝසා පාක්ස්’ වගේ වෙමු..!!

රෝසා වැඩ කරේ ඇඳුම් මහන ආයතනයක. අපේ වචන වලින් කිව්වොත් ගාමන්ට් එකක.  රෝසා ඉගෙන ගෙන තියෙනවා, හොඳට ලියන්න කියන්න පුළුවන්. ඒ වගේම බුද්ධිමත්.

ඒත් හමේ පාටයි, ජීවත් වුනු නගරෙයි ගැන හිතද්දි තමන්ගෙ හැකියාවට ගැලපෙන රැකියාවක් කරන්න පුළුවන් කමක් එයාට තිබුනෙ නෑ.

උදේ පාන්දර ඇහැරල දවස තිස්සෙම වැඩ කරල ගෙදර යන්න බලාගෙන පාරට එනකොට හොඳටම රෑ වෙලා.

පුරුදු විදිහට  ගෙවල් පැත්තට යන බස් එක ඇවිත් නතර කරනවත් එක්කම, මහන්සියයි, ගෙදර යන්න තියන හදිස්සියයි එක්ක එයා බස් එකට ගොඩ වෙනවා ඉස්සරහා දොරින්.

බස් එකේ ඩ්‍රයිවර් ජේම්ස් බ්ලේක් මහත්තයා. එයා කෑ ගහනව…

“ගෑනියේ උඹට මොළේ හොඳ නැද්ද..  උඹගෙ පොත්ත යාන්තමට   දුඹුරු පාට උනාට  හිතනවද  උඹ සුදු කාන්තාවක් කියල.”

“මහත්තයා මට සමාවෙන්න.. හදිස්සියට නැග්ගෙ.”

ජේම්ස් කෑගහනව…” වහාම බැහැපන් බස් එකෙන්. පිටි පස්ස දොරෙන් ගොඩ වෙයන්.”

තමන්ගෙ වරද තේරුම් ගත්ත මේ තරුණ කාන්තාව බස් එකෙන් බහිනවා. පිටි පස්ස දොරෙන් ගොඩ වෙන්න හිතාගෙන.

එයා බස් එකෙන් බැස්ස ගමන් බස් එක්ක යනව රෝසාව මග තියලා.

ලැජ්ජාවයි, දුකයි, තරහයි එක්ක.. අඬනව ඇරෙන්න මේ තරුණ ගැහැණියට කරන්න දෙයක් නෑ.  හැතැප්ම ගාණක් පයින් යනව කළුවරේ.  ඒ මදිවට එදා හොඳටම වැස්ස දවසක්.

මේ සිද්ධිය වෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්ථයේ. කාල වකවානුව කීවොත් 1940 දශකයේ.

අපි අහල තියනව මේ කාලය තමයි ඇමරිකානු කළු ජාතිකයන් වඩාත්ම දුක් වින්ඳ කාලය.  වහළුන් විදිහට අප්‍රිකාවෙ ඉඳල දම්වැල් දාල අරන් ආපු දවස් වල  ඉඳල අවුරුදු සිය ගාණක් ගියත් කළු ජාතිකයන්ට නිදහසක් තිබුනෙ නෑ.

විශේෂයෙන්ම ඒ අය නිදහස ඉල්ලල හඬ නගන්න පටන් ගන්නවත් එක්කම තත්වය තවත් දරුණු අතට හැරෙනව.

ආණ්ඩුව කරන්නෙ හැම පොදු ස්ථානයක්ම දෙකට බෙදල වෙන් කරන එක. අවන්හල්, හෝටල්, රජයේ කාර්‍යාල විතරක් නෙවේ මහ පාරෙ දුවන බස් පවා වෙන් කරනව කළු හා සුදු මිනිස්සු වෙනුවෙන් වෙන වෙනම.

වඩා පහසු, ඉඩ කඩ, ප්‍රමුඛත්වය සුදු මිනිස්සුන්ට ලැබෙද්දි ඉඩකඩ අඩු, අඳුරු තෙරපෙන අහු මුළු කළු ජාතිකයන්ට වෙන් කෙරෙනවා.

ඒ අතරෙ කළු මිනිස්සු තැන තැන හිංසාවට ලක්වෙනවා. ශර්ලෝක් හෝම්ස් මහත්තයාගෙ රහස් පරීක්ශක කථා කියවපු අපි දන්නව කූ ක්ලුක්ස් කෑන් ( Ku Klux Kan) සංවිධානය ගැන.

මේ කණ්ඩායම  සුදු ජාතික අන්තවාදීන් විසින් නිර්මාණය කරන්නෙ නිදහස ඉල්ලල අරගල කරන කළු ජාතිකයන්ව මර්ධනය කරන්න. කූ ක්ලුක්ස් කෑන් කියන්නෙ පිස්තෝලය වෙඩි තියන්න සූදානම් කරන ශබ්දයට.

මේ සංවිධානය නීති විරෝධී වුනත් කිසිම නීතියක් මේ අයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නෙ නෑ. කළු ජාතික නායකයන්, හඬ නගන කාන්තාවන්, කළු සුදු නීතියට ගරු නොකරන මිනිසුන් හැමදෙනාවම මරා දානවා.

ගිනි ගන්න, ගෙවල් දොරවල්, තැන තැන පිච්චෙන, එල්ලෙන මල සිරුරු, මේ කාලෙ සාමාන්‍ය දේවල්.

අමතක කරන්න එපා, අපි මේ කතා කරන්නෙ 1940/50 දශකය ගැන.

විශේෂයෙන්ම ටෙක්සාස්, ඇලබාමා, ලුසියානා, මිසිසිපි වගේ දකුණේ ප්‍රාන්ථ වල තත්වය බොහොම දරුණුයි.

අමතක කරන්න හොඳ නෑ, කළු මිනිස්සුන්ට වධහිංසා කරන සුදු මිනිස්සු අතරෙ, කළු මිනිස්සු වෙනුවෙන් වැඩ කරන, ඒ අයගෙ නිදහස වෙනුවෙන් සටන් කරපු සුදු මිනිස්සු හිටපු බව.

නමුත් ජාතික හැඟීම, මව්බිම, අපේ රට, උරුමය, දෙවියන්ගේ තේරීම වගේ උදෘත පාඨ වලින් බලවත් වූ බහුතරය ඉස්සරහ ඒ අයට ඒ තරම් හඬක් නගන්න පුළුවන් කමක් නෑ.

මෙන්න මේ වගේ අඳුරු වගේම බය හිතෙන කාලෙකයි රෝසා ජීවත් වෙන්නෙ.

ලෙඩ ගානෙ ඉන්න තමන්ගෙ ආච්චිව බලාගන්නෙත්, තමන්ගෙ සැමියගේ සහෝදරියව නඩත්තු කරන්නෙත් රෝසාම තමයි.

මේ ඔක්කොම මැද්දෙ මේ තරුණ කාන්තාව ඉගෙන ගන්නව,  රටේ ව්‍යවස්ථාව ගැන, නීතිය ගැන, කළු ජාතිකයන්ට රට පුරා වෙන හිරිහැර ගැන. හේතුව තමන්ට වෙන හිරිහැර, මදිපුංචි කම්, ලැජ්ජාව සාධාරණ නෑ කියල එයාට තේරෙනව.

නමුත් තත්වය එන්න එන්නම දරුණු වීම නිසා එයාට පුළුවන් කමක් නෑ හඬක් නගන්න.

බස් එකෙන් එලියට දාපු දවසෙ දැනුනු වේදනාව බොහෝ විට එයාව දිරිමත් කරා වෙන්න පුළුවන්.

අතුරුදන්වීම්, මරා දැමීම්, මර්ධනය කිරීම් මැද්දෙ කාලය ගෙවෙනව.

දැන් අපි ඇවිත් ඉන්නෙ 1950 දශකයට.  හරියටම කිව්වොත් 1955 දෙසැම්බර් පළවෙනිදා. පුරුදු විදිහට දවසම වැඩ කරල හවස හය වෙද්දි රෝසා එනව බස් හෝල්ට් එකට ගෙදර යන්න බලාගෙන.

පිටි පස්ස දොරෙන් බස් එකට ගොඩවෙලා  කළු ජාතිකයන්ට වෙන් වෙච්ච පිටි පස්ස කොටසෙ වාඩි වෙනවා. හැම සීට් එකකම මගියෙක් ඉන්න තරමට බස් එක පිරෙනවා.

මෙන්න මේ වෙලාවෙ බස් එකට ගොඩ වෙනව සුදු ජාතිකයෙක්. මේ වෙද්දි රෝසා ඉඳගෙන ඉන්නෙ කළු ජාතිකයන්ට වෙන්වූ කොටසෙ ඉස්සරහම ආසනේක. මේ කාලෙ තිබුනු පුරුද්ද හෝ නීතිය තමයි සුදු ජාතිකයෙක් බස් එකට නැග්ගොත් කළු ජාතිකයා නැගිටල තමන්ගෙ අසුන එයාට පිරිනමන්න ඕනෙ කියන එක.

මීට කලිනුත් කළු ජාතිකයො කීප දෙනෙක්ම තමන්ගෙ ආසනේ සුදු මිනිස්සුන්ට දීල බස් එකේ පිටි පස්සට ගිහින් හිට ගන්නවා. දැන් තියෙන්නෙ රෝසාගෙ අවස්ථාව.

බස් එකේ රියදුරු මහත්තයා කෑ ගහනව..“ ගෑණියේ උඹට පේන්නෙ නැද්ද.. මේ මහත්තයා හිටගෙන ඉන්නවා. සීට් එක දීල පිටි පස්සට පලයන්.”

අමතක කරන්න එපා…. අවුරුදු දහයක් විතර ගියත්.. බස් එකේ රියදුරා ජේම්ස් බ්ලේක් මහත්තයාම තමයි.

රෝසා බොහොම සන්සුන්ව කියනව   “මහත්තයා මම ඉන්නෙ මා සිටිය යුතු කොටසෙ.

කළු හෝ සුදු වුනත් අපි එකම මිනිස්සු. නමුත්  ඔබලාගේ නීතියට ගරු කරමින් මම ඉන්නෙ කළු මිනිස්සු සිටිය යුතු කොටසේ.”

“ඒ නිසා මට බැහැ නැගිටල පිටිපස්සට යන්න. ඒක සාධාරණ නැහැ මහත්මයා..”   රෝසා උත්තර දෙනව.

මේක හරි බරපතල ප්‍රකාශයක්.  හැමෝම දන්නව මේ වගේ සිද්ධියක් හොඳටම ඇති කෙනෙක්ගෙ ජීවිතේ ඉවර වෙන්න.

එමෙට් ලුයිස් ටිල්ගෙ  ( Emmet Louis Till)  සිද්ධිය වුනේ මීට දවස් කීපෙකට කලින්. ලුයිස් ටිල් අවුරුදු දාහතරක පොඩි එකෙක්.  හරියට කීවොත් පොඩි කළු දරුවෙක්. මිසිසිපි ප්‍රාන්ථයේ තමයි මේ සිද්ධිය වුනේ.

සුදු ජාතික කාන්තාවකට අයිති වෙළඳ සැලකදී නැත්තං කඩේකදි  මිළ ගනන් සම්භන්ධයෙන් ප්‍රශ්ණයක් ඇතිවෙලා මේ පොඩි එකා බනිනව මේ කඩ හිමි කාන්තාවට. ප්‍රථිඵලය එදාම හවස මේ පොඩි එකාගෙ ඔලුවට වෙඩි තියල මරල දාන එක.

මෙන්න මේ වගේ කාලෙකයි රෝසා විරුද්ධ වෙන්නෙ තමන්ගෙ ආසනය දෙන්න.

මේ සිද්ධිය දුර දිග යනව…  බස් රථයේ රියදුරා කෑගහද්දියි රෝසාට මතක් වෙන්නෙ අවුරුදු දහයකට කලින් වෙච්ච සිද්ධිය.

පස්සෙ දවසක රූපවාහිනී සාකච්ඡාවකදී මේ අපූරු කාන්තාව කියනව..

“බස් එකේ ඩ්‍රයිවර් කෑ ගහද්දි මගෙ කකුල් දෙක වෙව්ලුවා..”

“මගෙ ලඟ හිටපු මහත්තයා නැගිටල පිටි පස්සට ගියේ.. උඹට පිස්සුද .. මැරෙන්නද හදන්නෙ… වරෙන් අපි නැගිටල පස්සට යමු කියල.”

“මට ටිල්ව මතක් වුනා… මගෙ ආච්චි අම්මව මතක් වුනා.. මම ගෙදර එනකල් බලන් ඉන්න මගෙ මහත්තයාව මතක් වුනා.

ඒත් මගෙ යටි හිත කීවෙ මැරුනට කමක් නෑ.

හරිදේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා.. නිදහස වෙනුවෙන් කතා කරල මැරුනට කමක් නෑ කියලා.

ඒ හින්ද බය වහගෙන මම කිව්ව.. නෑ මම පස්සට යන්නෙ නෑ.. මේ සීට් එක දෙන්න බෑ මහත්තයා” කියලා.

සුදු මිනිස්සු කෑ ගහන්න ගන්නව… බස් එක නවත්තනව පොලීසිය ඉස්සරහා. රෝසාව අත් අඩංගුවට ගන්නවා.

හැමදෙනාම හිතන්නෙ මේ තමයි එයාගෙ අවසානය .. එයාගෙ මළ සිරුර හන්දියේ කොතැනක හරි අද හවස පිච්චෙයි කියලා.

නමුත් මොකද්දෝ හේතුවකට එයාව මරා දානව වෙනුවට නඩු පැවරෙනව නීතිය කඩ කරපු වරදට.

වැදගත් දේ මේ සිද්ධිය ඇලබාමා ප්‍රාන්තය පුරාම බොහෝම ඉක්මනින් ප්‍රසිද්ධ වෙනවා.

ඒ පලාතෙ ඉන්න කළු ජාතික නීතිඥයන්.. සමාජ සේවකයන් එකතු වෙනව රෝසා වෙනුවෙන්.

ඒ අතරෙ සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න සුදු ජාතිකයනුත් ඉන්න බව මතක් කරන්න ඕනෙ.

ඒ විතරක් නෙවේ… රෝසා ගමන් ගත්ත බස් එක පාවිච්චි කරන හැම කළු ජාතිකයෙක්ම බස් වර්ජනය කරනව. ඒ වර්ජනය මුළු ඇලබාමා ප්‍රාන්ථය පුරාත්.. මිසිසිපි ..ටෙක්සාස් පලාත් පුරාමත් පැතිරෙනවා.

බස් එපා කියන කළු ජාතිකයො තමන්ගෙ රැකියාවට යන්නෙ එන්නෙ පයින්.  දාස් ගණනක් තමන්ගෙ රැකියාවලට යන්න පරක්කු වෙනව. නමුත් මේ අයව රැකියා වලින් අයින් කරන්න බෑ.. හේතුව මේ අය තමයි කර්මාන්ත ශාලා ජීවත් කරවන්නෙ.

මොන්ටිගෝමරි බස් බෝයිකොට් ( Montgomery Bus Boycott)  විදිහට මේ සිද්ධිය ප්‍රථිරෝධයක් විදිහට ඇමරිකා එක්සත් ජනපදය පුරාම ප්‍රසිද්ධ වෙනවා.

දාස් ගණන් ලක්ශ ගණන් කළු ජාතිකයො රැකියාවට යන්න පරක්කු වීමෙන් කර්මාන්ත ශාලා ගැටලු ගොඩකට මුහුණ දෙනව. මේ තමයි ඇමරිකානු ඉතිහාසයේ පලමු වතාවට කළු ජාතිකයන් එකතුවෙලා තමන්ගෙ හැකියාව පෙන්වන්නෙ නිහඬවම.

මේ එකම සිද්ධියෙ නෙවේ, නමුත් ඇමරිකානු කළු ජාතිකයන්ගෙ සාමුහික හැකියාව පෙන්නපු ප්‍රධානම අවස්ථාව කීවොත් වැරදි නෑ.

රෝසා පාක්ස් නඩුව ඇහෙන දවස්වල උසාවිය ඉස්සරහ දහස් ගනන් එකතු වෙනවා.

ස්වේච්ඡාවෙන් එකතු වෙන නීතිඥයෝ පාකර් නෝනා වෙනුවෙන් පෙනී ඉන්නවා. අන්තිමේදී ඩොලර් දාහතරක දඩයක් ගහල ඒ නෝනව නිදහස් කරන්න උසාවියට සිද්ධ වෙනවා.

රෝසාට තමගෙ රස්සාව අහිමි වෙනවා. හැබැයි ඇමරිකාව පුරාම ඉන්න කළු මිනිස්සුන්ගෙ ආදරය හිමි වෙනවා.

මේක ලොකු ජයග්‍රහණයක්…  කළු ජාතිකයන් තේරුම් ගන්නව තමන්ට හඬක් තියනව කියලා.. තමන්ට අයිතියක්.. හැකියාවක්.. ශක්තියක් තියනව කියලා.

මෙන්න මේ කාලෙම තමයි මාටින් ලූතර් කින්ග් ( Martin Luther King), මැල්කම් එක්ස්( Malcolm X) වගේ තරුණ බුද්ධිමත් කළු ජාතිකයන් නිදහස වෙනුවෙන් හඬ නගන්නෙ.

රෝසා පාක්ස් මේ අයත් එක්ක එකතු වෙනව නිදහස හා තමන්ට හිමි තැන ඉල්ලන සටනට.

මාටින් ලූතර්, මැල්කම් එක්ස්ජොනතන් ඩැනියෙල්ස්.. සැමී යන්ග් ජූනියර් වගේ අපූරු මිනිස්සු ඝාතනය වෙනවා.

ලේ වැගිරෙන සටන් වගේම.. උද්ඝෝෂණ.. පෙළපාලි.. සත්‍යග්‍රහ.. වැඩ වර්ජන… අවුරුදු ගණන් ගතවෙන නීති ගැටුම්..  අතරෙ කළු ජාතිකයො සටන් කරනවා.

සම්පූර්ණයෙන්ම නැති වුනත් අන්තිමේදි කළු මිනිස්සු නිදහස ලබා ගන්නවා.  මුලින්ම වහලිය… මෝඩ එළදෙන, විරූපී ගැහැණිය වගේ නම් වලින් හඳුන්වපු රෝසා මුළු ඇමරිකාවට වීරයෙක් වෙනවා.

“නිදහසේ සංඛේතය” විදිහටත් බොහෝ අය රෝසාව හඳුන්වනවා.

රෝසා පාක්ස්ට ඇමරිකානු රජයේ හිමිවෙන ඉහලම සම්මාන ලැබෙනවා.  අවාසනාවකට කළු ජාතිකයෙක් වූ බැරැක් ඔබාමා ඇමරිකානු ජනාධිපති වෙනව දකින්න රෝසා පාක්ස් ජීවත් වෙන්නෙ නෑ.

අවුරුදු 92 ක් ජීවත් වූ රෝසා පාකර් මේ ලෝකෙ අතෑරල යන්නෙ 2005 අවුරුද්දෙ. බැරැක් ඔබාමා ජනාධිපති තනතුරට පත්වෙන්නෙ 2009 අවුරුද්දෙ.

ඔබාමා මහත්තයා කීප වරක්ම කියනවා.. “එදා පාක්ස් නෝනා සීට් එක දීල පස්සට ගියා නම් මට කවදාවත්ම ජනාධිපති වෙන්න පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ” කියලා.

තවත් වැදගත් කාරණයක් තමයි පාක්ස් නෝනගෙ සීය ස්කොට්ලන්ත ජාතිකයෙක් වීම.

මේ ගැන කතා කරද්දි එයා කීවෙ “මගෙ පරපුර නෙවේ වැදගත් මං කවුද කියන එකයි වැදගත්”

“මං සිට ගත යුත්තේ කොතැනද කියන එක මිසක් මගේ සීයගෙ ආච්චිගේ පරම්පරාව හොයන්න තරම් මගෙ ඔළුව පුංචි නෑ.”

“කළුද සුදුද නෙවේ වැදගත්.. ඔබ සටන් කරන අදහස.. ඔබ ගරු කරන ප්‍රථිපත්තියයි වැදගත්.”

අපිට මතකයි මේ සිද්ධිය ගැන පොඩි විස්තරයක් තිබ්බ ඉස්කෝලෙ ප්‍රාථමික පන්ති වල පොතක. ඒ පොතේ තිබ්බ විස්තරේ විදිහට අද තේරෙන්න ඒක සුරංගනා කතාවක් වගේ.

සුඛෝපභෝගී බස් රථයක රිහානා වගේ සුන්දර තරුණියක් බස් රථයෙ රියදුරාට කියනවා.

මේ මේක මගේ සීට් එක… මම කළු වුනාට මම ඔයාට බය නෑ. මේක මට අයිති දෙයක්.. ඒ නිසා නැගිටින්නෙ නෑ කියලා.

රියදුරා බය වෙනවා.. රිහානා දිනනවා.. එතනින් පස්සෙ කළු ජාතිකයන්ට නිදහස ලැබෙනවා.. හැමෝම අත්පුඩි ගහනව වගේ කතාවක් තමයි ඒකෙන් කියවෙන්නෙ.

මේ කතාව කියවන පොඩි උන් හිතන්නෙ මාත් කවද හරි රිහානා වගේ වෙනව කියලා.

නමුත් ඇත්ත තත්වෙ මොකද්ද…  වටේ පිටේ තියන භීෂණය දැන දැනම.. තමන්ව මරල දායි කියන හැඟීම හිතේ තියාගෙනම.. දත් මිටි කාගෙන මේ ගෑනි කියන්නෙ නෑ මහත්තයෝ මම වරදක් කරේ නෑ… ඒ නිසා මට මේ සීට් එක දෙන්න බෑ කියල.

ඒ තිබුනු දහිරියේ.. බය නැති කමේ.. අසාධාරණයට විරුද්ධ වීමේ අයිතිය අපි රෝසාට එදා දුන්නද..?

හිතන්න අමාරුයි.

හැබෑ වීරයො ගැන අපි ඉඳල හිටල කතා කරනවා.. නමුත් ඇත්ත හංගල කතා කරන්නයි අපේ සමාජය උත්සාහ කරන්නෙ.

එදා ඒ කතාව අපි තුල ඇති කරේ සුදු මිනිස්සු ගැන වෛරයක් මිසක්… පාලකයන්ගෙ අසාධාරණයට විරුද්ධව හඬ නගපු ගැහැණියක් ගැන ගෞරවයක්ද.?

අවුරුදු තිස් පහකට පස්සෙ මට එහෙම හිතෙනවා.

එදා මේ කතාව කියවපු ගොඩක් දෙනෙක් හිතන්න ඇති රෝසා පාක්ස් නෝනා වගේ වෙන්න. නමුත් එහෙම වුනේ බොහොම ටික දෙනයි.

ලංකාව වගේ රටවල අද අසාධාරණයට විරුද්ධව නැගිටින්න බොහෝ දෙනෙක් බයයි.

පාරවල් වහගෙන.. රථ පිරිවරාගෙන.. නූගත් මැති ඇමතිවරු මහ පාරෙ යනව, සාමාන්‍ය මිනිස්සු අයින්වෙලා ඉඩ දෙන්න ඕනෙ. රෝසා පාක්ස් අද ලංකාවෙ හිටිය නම් මොකක් කරයිද.

මේ කොහෙ තියන නීතියක්ද.. එයා අහයිද.?

අනුරාධපුරේ පන්සලක ලොකු නාම පුවරුවක් තියනව ප්‍රභූ රථ පමණයි කියල.  මෙහෙම නීතියක් කොහෙද තියෙන්නෙ, රෝසා වගේ කෙනෙක් හිටිය නම් මේ බෝඩ් එක ගලවල වීසි කරාවි.

ගම් නියම් ගම් වලට විදුලි බලය කපද්දි දේශපාලකයො ඉන්න ප්‍රදේශ වලට විදුලිය හැම තිස්සෙම.  රෝසා පාක්ස් හිටිය නම් මොනව කරාවිද?.

අපි වීරයො දකිනව.. පොත් වල.. චිත්‍රපටි වල… කතන්දර වල, අපිත් හිතෙන් ඒ අය වගේ.

නමුත් ඇත්ත ජීවිතේට ආවම අපි ඇත්තටම බයයි.

කොන්දක් ..හඬක් නෑ. පාලකයො ඒව බිඳල පොඩි කරල දාල ඉවරයි.

ඒ අතරෙ ලෝකෙ කොනේ කොහෙවත් ඉන්න  ඒකාධිපති වියරු නායකයන් වර්ණනා කරනව.. තවත් කෙනෙක් අඬ අඬ ඉන්න පෝලිම් වෙනුවට සිංදු කිය කිය ඉන්න පෝලිම් හදන්න කතා කරනවා.. තවත් කොටසක් මැන්ඩරින් ඉගෙන ගෙන රතු රටේ කොලනියක් වෙන එක හොඳයි කියනවා.

මේ වගේ හිස් මිනිස්සු වැහි වැහැල.  නමුත් රෝසා පාක්ස් වගේ ගැහැනුන් අද දකින්න නෑ.

ඒක කාගෙ අවාසනාවද කියන්න අපි දන්නෙ නැහැ.

සමහරෙක්ට හිතන්න පුළුවන් අද මානව අයිතිවාසිකම් ගැන මොර දෙන ඇමරිකාවෙ සැබෑ තත්වය හරිම පහත් කියලා ඒක ඇත්ත.. නමුත්… වහලුන් විදිහට ඇමරිකාවට ආපු කළු මිනිසුන්ගෙන් කෙනෙක් ජනාධිපති විදිහට පත් කර ගන්න ඒ මිනිස්සු සමත් වුනා.

ඒත් සමහර රටවල දෙදාස් පන්සීයෙ ඉතිහාසයක් කරේ තියාගෙන රාවණා හෝ දියසෙන් කෙනෙක් හොයනවා. කවද්ද මිනිස්සු තේරුම් ගන්නෙ වඩා වැදගත් අදහස් අතින් පෝසත් හැකියාව ඇති ගැහැණියෙක් හෝ පිරිමියෙක් මිසක් රජෙක් නොවන බව.

රෝසා පාක්ස් නිදන්නෙ වොෂින්ටන් නගරයේ රොටුන්ඩා අනුස්මරණ ශාලාවෙ. ජෝන් එෆ් කෙනඩි.. ඒබ්‍රහම් ලින්කන් වගේ ප්‍රසිද්ධ මිනිසුන් අතරෙ ඒ ගෞරවය ලබපු ප්‍රථම කාන්තාව තමයි රෝසා පාක්ස්.

Malcolm Sang

 

Malcolm Sang ගේ facebook පිටුවෙන් උපුටා ගතිමු..

 

රෝසා පාර්ක්ස් …1913-2005  ( Rosa Parks)

ස්තුතියි ඔබට… මග පෙන්නුවාට මිලියන ගණනක මිනිස්සුන්ට.

පින්තූර : Wikipedia.

Social Sharing
නවතම විශේෂාංග