‘චිචී’ ළමයට සිංහල උගන්නන කතාවට හැමෝම වගේ නක්කලේ දානවා මං දැක්කා. ඔය පවුලෙ මං ආසම එකා චිචී. ඌ තමයි හරියටම ලංකාව නියෝජනය කරන්නෙ. චිචී හරියටම අපි ඉස්සරහ අපේ හෙළුව පෙන්න පෙන්න ඇවිදිනවා කියල මට හිතෙනවා. ලංකාවෙ සිංහල ජාතිය ගැන, භාෂාව ගැන ලොකුවට කතා කරන අය හැමෝමත් තමන්ගෙ දරුවට උගන්නන්න හදන්නෙ ඉංග්‍රීසි. ඒක නලින්ද සිල්වා, ගුණදාස අමරසේකරලාගෙ ඉඳන්ම ඇත්තක්. චිචී ඒක කියනවා. ඒ කියද්දි බොරුව අපිට පේනවා. අපි ඌට හූ කියනවා. ඇත්තටම අපි කාටද හූ කියන්නෙ?
චිචීගෙ හරිම ලස්සන දෙයක් තියෙනවා. ඌට එක එක දේවල් කරන්න ආසයි. හැබැයි ආස ඒ කිසිම විෂයකට නෙමෙයි. ඒකෙන් ලැබෙන තත්වෙටයි මිනිහා ආස. ගණිතයෙන් පීඑච්ඩියක් ගන්න ඕනෑ මිස චිචී ගණන්වලට ආස නෑ. ගගනගාමියෙක් කියලා කියන්න ආස මිසක් චිචී අභ්‍යවකාසෙට යන්න ආස නෑ. කොටින්ම ලංකාවෙන් එළියටවත් යන්න එයා ආස නෑ.
අපේ අනිත් බහුතරයත් එහෙම නෙමෙයිද? උපාධියට ආස මිසක් ඒ විෂය ගැන ඇති ඇල්මක් දකින්න තියෙනවද? දොස්තර පට්ටමට ආස මිසක් වෛද්‍ය විද්‍යාවට ආස බවක් දකින්න තියෙනවද? නලාව දාගෙන ඉන්න තමයි බහුතරයකගෙ ආසාව තියෙන්නෙ.
ඒ ගොල්ලො නලාව දාගෙන දේශපාලනය කරනවා. සිංදු කියනවා. ඒත් අපි චිචීට විතරක් හිනාවෙනවා (මහන්සි වෙලා වැඩකරන කීපදෙනා හිත් රිද්දගන්න එපා).
චීචී කාර් රේස් පදිනවා, ක්‍රිකට් ගහනවා, රගර් ගහනවා, ඒ අතරෙ ඉතාම ආදර්ශමත් තාත්තා කෙනෙකුත් වෙනවා. මේ ඔක්කොම ෆොටෝ වලට කරන්න තමයි එයා ආස. ඒකෙන් ලැබෙන අවසාන ඵලයට ආස මිසක් ඒ කිසි දෙයක් ගැන ඇත්ත ආසාවක් එයාට නෑ. මේක ලංකාවෙ ජාතික ගුනයක්.
හැම දෙයක්ම නිෂ්පාදනය කරලා අපිට ලැබෙනවා මිසක් අපි කිසි දෙයක් අලුතෙන් නිෂ්පාදනය කරන රටක් නෙමෙයි. අපිට හැමදාම ඕන වුනේ ඒ තනතුර, තත්ත්වය විසින් ලබාදෙන ආතල් එක.
චිචී ඒකෙ පැරඩිය අපිට ලයිව් පෙන්නනවා. අපි හිනාවෙනවා. ඒත් අපි හිනාවෙන්නෙ චිචීටද ඇත්තටම ?
චින්තන ධර්මදාස