අනුරගේ කට තමයි කට..!

පසුගිය දෙසැම්බර්  10 පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රට ඉතා වැදගත් හෙළිදරව්වක් කළා. රටේ රාළ ජවිපෙ දේශපාලනයට කිසිම විදිහකට එකඟ නැති කෙනෙක් කියලා ඔයාලා දන්නවා. ඒ එකඟ නැති දේශපාලන කඳවුරක කෙනෙක් උනත් හරි දෙයක් කළොත් ඒක අගයන්න රටේ රාළ දෙපාරක් හිතන්නේ නෑ.

යුගදනව් බලාගාරයේ 40% ක කොටස් ඇමරිකන් සමාගමකට පැවරීමේදී ආණ්ඩුව හා අදාළ සමාගම අතර ඇතිවුණ, ඒ වගේ මෙච්චර කල් ආණ්ඩුව හංගගෙන හිටපු හොර ගිවිසුම ඊයේ අනුර සභාගත කළා. ඇත්තටම ඒක හොර ගිවිසුමක්. තක්කඩි ගිවිසුමක්. ඒ ගිවිසුම අත්සන් කිරීමේ දී විදිමත් කැබිනට් අනුමැතියක් ගත්තේ නෑ කියන චෝදනාව මුදල් ඇමති බැසිල්ට දිගටම එල්ල උනා. ඒ චෝදනාව බැසිල්ට විතරක් අදාළ චෝදනාවක් නෙවෙයි. ඒක කැබිනට් එකේ ප්‍රධානියා විදිහට ජනාධිපතිටත් අදාළයි, ආණ්ඩුවේ ප්‍රධානියා විදිහට අගමැති මහින්දටත් අදාළයි. මේ ගිවිසුම සම්බන්ධව සාකච්ඡාවක් ඉල්ලලා ආණ්ඩුවේ සුළු පක්ෂ සන්ධානය ජනාධිපතිට ලියුමක් යැව්වා. එතනදී ජනාධිපති වෙලාවක් දෙන්න බෑ කියලා ලියුමක් එව්වා විතරක් නෙවෙයි සුළු පක්ෂ සන්ධානය යුගදනව් ගිවිසුම සම්බන්ධයෙන් කියන්නේ බොරු කියලා ලිඛිතව දන්වලා තිබුණා.

ඔන්න දැන් ඇත්ත එළිවෙලා.ඒක නිසා ජනාධිපති අගමැති, බැසිල් කියන රාජපක්ෂ තුන් කට්ටුවම මේ හොර ගිවිසුමේ වගකීම බාර ගන්න ඕනි.

Anura Kumara Dissanayake yugadanavi power plant deal

ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු වෙච්චි වාසු, විමල්, ගම්මන්පිල දිගටම කිව්වා එයාලට ගිවිසුම පෙන්නුවේ නෑ කියලා. හැබැයි ආණ්ඩුවේ ඉන්න අනිත් ඇමතිවරු කිව්වේ ඒකට විදිමත්ව කැබිනට් අනුමැතිය ගත්තා කියලා. ආණ්ඩුවේ සුළු පක්ෂවලට බැසිල්, ඒ වගේම මහින්ද විටින් විට යුගදනව් ගිවිසුම ගැන කරුණු පැහැදිලි කළා. හැබැයි කවදාවත් එයාලට ගිවිසුම පෙන්නුවේවත් නෑ. හැබැයි ඊයේ අනුර එකක් දෙයක් ඔප්පු කළා. ඒ විදිමත්ව කැබිනට් අනුමැතිය ගත්තායි කියන ලේඛණය හොර ලේඛණයක් කියලා එයා පෙන්නුවා. ඒකට නං ජවිපෙ නායක අනුර කුමාරට ස්තූතියි. ඊයේ අනුර ඒ ගිවිසුම සභාගත කරන වෙලාවේ ආණ්ඩුව පැත්තෙන් කවුරුත් කිව්වේ නෑ අනුර අතේ තියෙන්නේ හොර ලියවිල්ලක් කියලා. මොකද ඔය ඇමති මණ්ඩලයේ කාටවත්ම එහෙම කියන්නේ බෑ.

Anura Kumara Dissanayake yugadanavi power plant deal

ඒ කිරි දරුවෝ කවුරුත් ගිවිසුම දැකලා නෑ. ඉතින් නොදැක්ක ගිවිසුමකට ඒක නෙවෙයි කියන්නේ කොහොමද? ඇත්තටම එයාලා අනුමැතිය දීලා තියෙන්නේ නොදැක්කා එකකට. ඒක තමයි අනුර කිව්වේ කැබිනට් ඇමතිවරු පවා ගිවිසුම ඉල්ල ගත්තේ එයාගෙන් කියලා. ඇත්තටම ඔය ගිවිසුම දැකලා තියනවා නං දැකලා ඇත්තේ රාජපක්ෂ තුන් කට්ටුවවයි, තවත් එයාලගේ සුවච කීකරු ලේකම්ලා දෙතුන් දෙනෙක්ම විතරයි. අනුර ලිපිය සභාගත කිරීමෙන් ඔප්පු කළේ මේ කැබිනට් මණ්ඩලය දේශපාලන වශයෙන් නපුංසකයි කියන එක.

යුගදනව් බලාගාරයේ ආණ්ඩුව සතු කොටස් 40 % දෙන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නේ ඇමරිකාවේ New fortress energy කියන සමාගමට. හැබැයි ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ N.F.C Sri Lanka Power Holdings කියන සමාගමත් එක්ක. ඒ කියන්නේ New fortress energy සමාගමට අනුබද්ධ Holding සමාගමක් වෙන්න ඕනි. ඒ සමාගම ලියාපදිංචි ඇමරිකන් ලිපිනයත් තියනවා.

අමු අමුවේ කැබිනට් එකට බොරු කියලා. දැන් කැබිනට් එකේ ඉන්නේ බබාලා නෙවෙයි නං, කැබිනට් එකේ ඉන්නේ අඳ, ගොළු, බීරෝ නෙවෙයි නං, දේශපාලන නපුංසකයෝ නෙවෙයි නං දැන් ඒ ප්‍රශ්නය අහන්න ඕනි. ජනාධිපතිගෙන් අහන්න, අගමැතිගෙන් අහන්න, බැසිල් ගෙන් අහන්න. මතක තියාගන්න මේ රටේ පාර්ලිමේන්තුවේ කොන්ද පණ තියෙන මහජන නියෝජිතයෝ ඉන්නවා නං ඔය විශ්වාස කඩකිරීමම ඇති බැසිල් මුදල් ඇමතිකමෙන් පන්නන්න. විශ්වාසභංගයකින් පන්නන්න.

ඊළඟට ඒ ගිවිසුමේ 13 (1) වගන්තියේ තියෙන්නේ දෙපාර්ශවර එකඟ වෙන තුරු ගිවිසුම සම්බන්ධව මේ රටට ජනතාවට ගිවිසුමේ කරුණු හෙළි කරන්න බෑ කියලා. ඇත්තටම ඒකෙන් කියන්නේ ජනතාවට හංගලා ගහන ගිවිසුමක් මේක. ඇමරිකානු සමාගම අනුබද්ධ ආයතනයක් එක්ක එයාලට ඕනි විදිහට ගහන හොර ගිවිසුමක්. ඇමරිකානු සමාගමේ සියලු එකගතාවන්ට එකඟ වෙමින් ගහන මව්බිම පාවාදීමේ ගිවිසුමක්.

අනික තමයි මෙතනින් එහාට අත්සන් කරන්නේ අදාළ සමාගම් වලට ලබැදියාවන් සහිත ගිවිසුම විතරයි කියලා ඒකේ තියනවා. ඇත්තටම උඩදී අනුර ඔප්පු කළා මේ රටේ කැබිනට් මණ්ඩලය දේශපාලන වශයෙන් නපුංසකයි කියලා. මේ ගිවිසුම සභාගත කරමින් මේ කරුණු උපුටා දක්වමින් අනුර තව විශේෂ දෙයක් ඔප්පු කළා. ඒ තමයි 69 ලක්ෂයක ජනවරමකින් බලයට පත්වුණ මේ රටේ ජනාධිපති, ඒ වගේම ඒ හා සමාන ජනවරමකින් බලයට පත් උන මේ රටේ අගමැති, ඒ කියන්නේ අප්පච්චිලා දෙන්නම පිටරට සමාගම්වල පදයට නටන රූකඩ දෙකක් විතරයි කියලා. ඇත්තටම මෙතන චෝදනාවක් නැත්තේ බැසිල්ට විතරයි. එයා මේ ජනවරමට වගකියන්නේ ඕනි නෑ. එයා අපේ ජනවරම කොල්ලකාපු ඇමරිකන් පුරවැසියෙක් විතරයි. ඉතින් ඇත්තටම එයා තමන්ගේ රටට ජනතාවට වග කියනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික අපි සතු පරම අයිතිය පවා කොල්ල කනවා.

ඇත්තටම එයා තමන්ගේ රට වෙනුවෙන් සේවය කරන අවංක ඇමරිකානු පුරවැසියෙක්. මෙහෙම මුදල් ඇමති කෙනෙක් තියාගෙන ඉන්න ජනාධිපති, අගමැති ඇතුළු එයාව එතනට ගන්ඩ 20 වැනි ව්‍යවස්ථාවට අත උස්සපු ඔක්කොම මෝඩයෝ. හැබැයි බැසිල් කියන්නේ රාජපක්ෂ කෙනෙක්. ඒක නිසා ජනාධිපති, අගමැති ඒ වැඩේ කරන්න ඇත්තේ සහෝදරයාකමට. ඒ අර්ථයෙන් ගත්තම 20ට අත උස්සලා බැසිල් ඇතුළට ගත්ත අය තමයි මෝඩයෝ.

ඇත්තටම හිතන්න මේ ප්‍රශ්නය වෙන රටක උනා නං. වැඩිය එපා අපේ අසල්වැසි ඉන්දියාවේ උනා නම්. එහෙනම් මෙලහටත් ඒ මිනිස්සු පාරට බැහැලා මුදල් ඇමති එලවලා දාලා. අපි ඒ තරම් නිවට ජාතියක්. රටේ රාළ එක දෙයක් ඔයාලගෙන් ඉල්ලනවා මේවා දිහා බලා ඉන්නකොට දේශප්‍රේමය උඩ වාඩිවෙලා බලා ඉන්න කියලා. එතකොට දේශප්‍රේමය තියන තැන ගැන හිතලා හරි හිත හදාගන්න පුළුවන්.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

මීට

රටේ රාළ

(ප්‍රියන්ජිත් විතාරණ)

Social Sharing
නවතම විශේෂාංග