ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත්තා යැයි චෝදනා කරමින් පුද්ගලයන් අට දෙනෙකු සියඹලාණ්ඩුව පොලීසිය ඉදිරිපිට මාරාන්තික උපවාසයක

සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු තමන්ට විරුද්ධව ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමේදී අසාධාරණ ලෙස කටයුතු කර ඇති බව පවසමින් අට දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, සියඹලාණ්ඩුව පොලිසිය ඉදිරිපිට දී පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් පෙරේදා (28) සිට මාරාන්තික උපවාසයක නිරත වී සිටිති.

මෙම උපවාසයට සියඹලාණ්ඩුව විජිතාරාම විහාරස්ථානයේ විහාරාධිපති හා ශ්‍රී පුඥානන්ද පිරිවෙන් අධ්‍යක්ෂ උඩගංගොඩ ධම්මානන්ද හිමියන්ද එක්ව සිටින බව වාර්තා වේ. උද්ඝෝෂණකරුවන් පවසා ඇත්තේ, තමන්ට අත්තනෝමතික ලෙස නඩු පවරමින් වැරදිකරුවන් ලෙස පෙන්වමින් ජීවිත වලට තර්ජනය කරමින් කටයුතු කරන බවයි. එම තත්ත්වය හේතුවෙන් තම බිරිඳෝවරුන් සහ දරුවන් ද මානසික පීඩනයට ලක්ව ඇති බව ඔවුන් සඳහන් කර ඇත.

තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසත්, පොලිසිය මගින් සිදු වූ බව කියන අපහසුතාව සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ අනෙකුත් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර ඇති බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිසියේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී සඳහන් කර ඇත්තේ, උපවාසයට එක්ව සිටින පිරිස මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, අලෙවි කිරීම සහ භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පුද්ගලයින් බවයි. එම පිරිස අතර ඇතැම් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඬුවම්ද නියම කර ඇති බවද එම නිලධාරියා සඳහන් කර ඇත. උපවාසයේ නිරත වීමට ඔවුන්ට ඇති අයිතියට පොලිසිය ගරු කරන බවත්, උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම පුවත්