ඔය නෙක කාඩිනල් වර්ග එන්න කළින් කතෝලික පියතුමෙක් විදිහට අපිට මහා උසට පෙනුනේ ඔබව. ඒ බියකරු යුද්ධය අස්සේ උනත් මනුෂ්‍යත්වය වෙනුවෙන් මනුස්ස හිමිකම් වෙනුවෙන් සක්‍රීයව කළ මැදිහත්වීම් නිසා. පල්ලිය පන්සල පාලකයන්ගේ නිදන කාමරවල බිත්ති සැරසිලි වෙනකොට කුරුසයත් අරං වාටියේ මිනිස්සු වෙත ගිය ඔබ, උතුරට නැගෙනහිරට කවදාවත් අමතක වෙන එකක් නැහැ.
ලේ ගංගා මතින් අවුරුදු 30 කට එහා ඇදුන යුද්ධය තුළ දෙමළ පීඩිතයාගේ පැත්තේ සිටගත් ඔබ යුද්ධය නිසා අවතැන්වූවන්, අතුරුදන්වූවන් ආදී නෙක යුද වින්දිතයින් වෙනුවෙන් නොබියව පෙනී සිටිය එකම ආගමික නායකයා වෙන්නත් පුළුවන්. කොන්දේසි විරහිතව මිනිස්කම පැත්තේ, මනුෂ්‍ය අයිතීන් ආරක්ෂා කරගැනීමේ පැත්තේ, මනුස්ස ප්‍රේමයේ කුරුසිය කරේ තියන් ඔබ දෘඩව සිට සිටියා. මෝටාර්වලට කාලතුවක්කු උණ්ඩවලට අහස සිඹින තල් ගස් බිම දාන්න පුළුවන් උනාට මිනිස්කම වෙනුවෙන් ඔබගේ ප්‍රේම මැදිහත්වීම සිඳලන්න යුද වැදි දෙපාර්ශවයටම නොහැකිවුණා. ඒ ඔබ ප්‍රේමයම අරගෙන කාන්තාර යුද බිමේ පතොක් ගහක් වගේ වාටියේ මිනිස්සුන්ට සිසිලසක් වූ නිසා වෙන්න ඇති.
මේ නිසාම ඔබ උතුරට ද නැගෙනහිරට ද දකුණටද අමතක නොවෙනු ඇති. සුබ ගමන්..!