“නිදහස” ජය ගත්තේ සියලු ජාතීන් එක්ව! – ඉමිතියාස් බාකීර් මාකර්

අද ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළාට එදා ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කළේ සහිරා විදුහලේ දෙමළ ගුරුවරයෙකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි.

එම ගුරුවරයා නවාර් නැමැති අයෙකු බවත් ඔහු තම පියාගේද ගුරුවරයා බව හෙතෙම කියා සිටියි.

ඔහු මේ බව පැවසුවේ රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.  මෙම මාධ්‍ය හමුවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉමිතියාස් බාකීර් මාකර් හා මයන්ත  දිසානායක සහභාගි වී සිටියහ.

මෙහිදී  තවදුරටත් අදහස් දැක්වූ ඉමිතියාස් බාකීර් මාකාර් මහතා  1948 දී විවිධත්වයෙන් තිබෙන සමාජය එක්වී එක්සත්ව නිදහස ලබා ගත් බව  පෙන්වා දුන්නේය. නිදහස පිළිබඳව අභියෝගය ජය ගත්තේ සියලු ජාතීන් එකමුතු කරගෙන බවත්  එක්සත් ජාතික පක්ෂයේ දිගුවක් ලෙස බිහිවූ සමගි ජන බලවේගය කටයුතු කරන්නේ එම ප්‍රතිපත්තියේ සිට යැයිද ඔහු පැවසුවේය.

එහිදී සියලු දෙනා එකට සිට ප්‍රශ්නයට මුහුණ දිය යුතු බව සඳහන් කළ ඔහු කියා සිටියේ  අප රට තුළ ගැටුම් වැඩි කර ගැනීම තුළින් අන්‍යයන්ට එයින් වාසි අත්වන බවය. රටේ ප්‍රශ්න රට තුළ විසඳා ගත යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් එක මගට ආ යුතු බවද පටු අදහස් වලට, විවිධ වෙළඳ අරමුණු වලට යට නොවී සිටිය යුතු යැයිද ඔහු පෙන්වා දුන්නේය. මේ රටේ කිසිදු ජන කොටසක් ජාත්‍යන්තරයට යාමටවත්, වෙනත් අන්තයකට යාමටවත් තල්ලු කළ යුතු නැති බවද මෙරට ප්‍රශ්න මෙරටදීම විසඳා ගත යුතු බවද හෙතෙම පවසයි.

මෙහිදී ඔහු නිදහස් දින ජාතික ගීය ගැයීම පිලිබඳ ලංකාදීප පුවත්පතේ පළ කර තිබු කතු වැකිය උපුටා දක්වමින් කියා සිටියේ විවිධත්වය අගයන පිරිසක් එකට එක් විය යුතු අතර එය ජාතියකට පමණක් සීමා නොවිය යුතු බවය. සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගැයීම පිලිබඳ මෙහිදී ඔහු ලංකාදීප කතු වැකිය ගෙන හැර දක්වමින් කියා සිටියේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද අතීතයේ සිට පවතින බවය.

අද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බල අරගලයකට මැදිව සිටින බවත් ශ්‍රී ලංකාව ලෙස අපට වැරදිච්ච තැන් තේරුම් අරගෙන රජය ක්‍රියා කළ යුතු යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Social Sharing
නවතම