රංජන්ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පසුගිය 12 දින මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා තිබුණි.

“සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් දුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සලකා බැලීමක් සිදුකරනු ලැබුවේ, අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව රන්ජන් රාමනායකට මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ඒමට, ඒ සම්බන්ධයෙන් කටයුතු කිසිදෙයක් කරන්නට හැකියාවක් නැහැ. ඒ අනුව ඔහු අවුරුදු 4කින් පසුව හෝ ඊට පෙර ජනාධිපතිවරයා යම්කිසි සමාවක් දුන්නහොත් පමණක් ඒ පිළිබඳ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ.“ (නිමාව)

ඒ අනුව, රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවන අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවනු ඇති බව ප්‍රකාශ විය.

නමුත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා කියා සිටින්නේ  ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිල වශයෙන් ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග  ගන්නා බවය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අදාළ කි‍්‍රයාමාර්ග ගන්නා තෙක් අහෝසි නොවන බව ද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා කියා සිටියි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ රංජන්ගේ මන්ත්‍රීධුරය අහොසි වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමට හිමිවීමට ඉඩ තිබෙන බවය.

පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී “සමගි ජන බලවේගය” පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ රන්ජන් රාමනායක මහතා මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර මාන්නප්පෙරුම මහතාට මනාප ලැයිස්තුවේ සිව්වන  ස්ථානය හිමිවිය. සමගි ජනබල වේගය පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් හිමිවි තිබුණි.

Social Sharing
නවතම