දොස්තර වරයෙක් වායු රයිෆලයකින් පාසල් සිසුවෙකුට වෙඩි තබයි!

මහරගම පොලිස් වසමේ ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිටි ළමුන් පිරිසකගේ බෝලයක් ක්‍රීඩා පිටිය ආසන්නයෙහි ඉඩමකට වැටීමත් සමග එය අහුලා ගැනීම සඳහා එම ඉඩමට ගිය ලමයින් සමග බහින්බස් වූ දොස්තර වරයෙකු වූ ඉඩමේ අයිතිකරු වායු රයිෆල් වර්ගයේ තුවක්කුවකින් ඊයේ (22) දින සවස  වෙඩි තැබීම හේතුවෙන් එක් ළමයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව මහරගම පොලිසිය පැවසීය.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ සමගි මාවත, ඇරැව්වල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි (17) හැවිරිදි අයි.ජී ඕෂධ විමුක්ති නැමැති අයෙක් බවත් තුවාල ලද සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මහරගම පිළිකා රෝහලට අනුයුක්තව සේවය කරන (46) හැවිරිදි පුද්ගලයෙක් බවත් පොලීසිය පැවසීය.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එම  විද්‍යාලයේම ඉගෙනුම සිසුවෙක් බවත් පොලිසිය පවසයි. තුවාල ලද සිසුවා ඔහුගේ සහෝදරයා හා  මිතුරන් කිහිපදෙනකු සමග පෙරේදා  (22) සවස ධර්මපාල ක්‍රීඩාංගනයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට ඇති අතර බෝලය ක්‍රීඩාංගණයට යාබද  සැකකරුගේ  වත්තට ගොස් තිබූ බවත් සෙල්ලම්  කරමින් සිටි කිහිප දෙනෙකු වත්ත අසලට ගොස්   බෝලය  ඉල්ලා  ඇති අතර  එහිදී  සැකකාර වෛද්‍යවරයා එම  පිරිසට  බැන වැදී නිවස තුළට ගොස්  වායු රයිෆල් වර්ගයේ තුවක්කුවක් රැගෙනවිත් ඔවුන් දෙසට වෙඩි තබා ඇතැයි පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණයේදී හෙළි වූ බවද  පොලිසිය පැවසීය.

වෙඩි තබන අවස්ථාවේදී සිසුවා මිතුරකු සමග ක්‍රීඩාංගනයේ තාප්පය මත ඉඳගෙන සිට ඇති අතර වෛද්‍යවරයා විසින් තැබූ වෙඩි ප්‍රහාරය සිසුවාගේ පපු ප්‍රදේශයට වැදී ඇතැයිද පරීක්ෂණ වලදී  හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාර වෛද්‍යවරයා නැවතත් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීමේදී  ඔහු වෙත කඩා වැදුණු  සෙල්ලම් කරමින් සිටි  සෙසු  තරුණයන් වෛද්‍යවරයා  අත දරා සිටි වායු රයිපලය උදුරාගෙන  දෙකට කඩා ඇතැයිද  පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

තුවාල ලද සිසුවා රෝහල් ගත කිරීමෙන් අනතුරුව සුළු ශල්‍ය  කර්මයකට ලක්කළ බවත් සිසුවා ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නුගේගොඩ ගංගොඩවිල අධිකරණය වෙත (23) දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබිනි.

මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච් ජනකාන්ත මහතාගේ උපදෙස් මත මහරගම පොලීසියේ නිලධාරීන් විසින්  පරීක්ෂණ පවත්වයි.

සමීර අබේසිංහ (බොරලැස්ගමුව)  

Social Sharing
නවතම