
ගෝලීය සහ දේශීය වශයෙන් ස්ත්‍රීත්වයේ අභිමානය හා ජයග්‍රහණ උත්කර්ෂයට නැංවෙන මෙම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් මධ්‍යයේ, උතුරු-නැගෙනහිර මහමඟ දින 3300+කට අධික කාලයක් පුරා තම අතුරුදහන් වූ දරුවන් උදෙසා යුක්තිය ඉල්ලා සිටින මව්වරුන්ගේ අඛණ්ඩ අරගලය, ශිෂ්ටසම්පන්න සමාජයක හෘදසාක්ෂිය හමුවේ පවතින සදාචාරාත්මක සහ මානුෂීය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රබලතම සළකුණකි. එම ප්‍රභලත්වය අමතක කර රටක් පොහොසත් හෝ ලස්සන වීම වචනවලට පමණක් සීමා විය හැකි තත්ත්වයකි.
“අපි වැදුවේ ගල් ද…?” යන ඔවුන්ගේ ප්‍රශ්නාර්ථය, හුදු මූල්‍යමය වන්දිවලින් සමනය කළ නොහැකි, ‘සත්‍යය, යුක්තිය සහ වගවීම’ කේන්ද්‍ර කරගත් පරම මානුෂීය අයිතිවාසිකමකි. දශකයකට ආසන්න කාලයක් පුරා ඔවුන්ගේ මෙම නොසැලෙන අධිෂ්ඨානය, මාතෘත්වයේ සෙනෙහසත් සමග, දේශපාලනික සහ සමාජීය ස්ත්‍රී ශක්තියේ සැබෑ අර්ථය ලොවටම පසක් කර දෙයි.
කාලය වේගයෙන් ගලා ගිය ද, රාජ්‍ය යාන්ත්‍රණයේ මන්දගාමීත්වය සහ දේශපාලන උනන්දුවක් නොමැති වීමත් හේතුවෙන් යුක්තිය පෙනෙන මානයක නොමැති වීම ජාතික ඛේදවාචකයකි. එපමණක් ද නොවේ, සත්‍යය දැකීමේ අපේක්ෂාවෙන් අරගල බිමේ සිටියදීම මව්වරුන් සිය ගණනක් මෙලොව හැර යාම, මෙම සටනේ ඇති දැවෙන සුළු ස්වභාවය අවධාරණය කරයි. ඔවුන්ගේ අනුස්මරණය යනු හුදු ශෝකී මතකයක් නොව, වගවීම ඉටු වන තෙක් බලධාරීන් වෙත යොමු කරන නොනිමෙන සාමූහික බලකිරීමකි. යුක්තිය වෙනුවෙන් වන සාමූහික අධිෂ්ඨානයේ හෘදසාක්ෂියකි.
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන ඊයේ (මාර්තු 08) වැනි දිනක, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සියලු දරුවන් සහ ආදරණීයයන් පිළිබඳ සත්‍යය අනාවරණය වන යුක්තිගරුක හෙටක් වෙනුවෙන්, එම ධෛර්යවන්ත මව්වරුන් සමඟ අපි කොන්දේසි විරහිතව පෙළගැසෙමු.
උපුටා ගැනීම විකල්ප වෙබ් පිටුවෙනි
