
ඉකුත් දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ පර්‍යේෂන හා මාද්‍ය අංශය මගින් ගුරුදා සංවාද 03 වැඩ සටහන පැවැත්වූ අතර එහිදී “සමාජ සාදාරණත්වය උදෙසා සිදු කළ යුතු නීති ප්‍රතිසංස්කරණ” යන සුවිශේෂී මාතෘකාව ඔස්සේ කතිකාවතක් පැවැත්වීය. රටක නීති සම්පාදනයේදී සියලු ජන කොටස් වෙත මූලික පහසුකම් සහතික කරන පරිසරයක ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමක් නීති ප්‍රතිසංවිධානයකදී ඉතා වැදගත් වන අතර එලෙස මූලික අයිතිවාසිකම් තහවුරු කරන, ශක්තිමත් කරන අලුත් නීති සම්පාදන හා සංශෝධනයන් කළ යුතුද? මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපනය මානව අයිතිවාසිකම් ලෙස අලුතෙන් ව්‍යවස්ථාගත කල හැකිද යන්න නැගූ පැනයන්ට නීතිඥ සුදර්ශන ගුණවර්ධන (හිටපු අධ්‍යක්ෂ ජනරාල්, ස්වාධීන රූපවාහිනී සංස්ථාව) ලබා දුන්නේ හරවත් පිළිතුරකි.
එහිදී ඔහු අවධාරණය කළේ මේ රාමුව තුළ මේ අවස්ථාවේ විශාල වශයෙන් ප්‍රතිසංස්කරණයන් පිළිබද අප කතා නොකළ යුතු බවත් පෙර ගෙන ආ ප්‍රතිසංස්කරණ වර්තමානයේ ඇත්තටම ක්‍රියාත්මක වෙනවාද යන්න ගැටලු සහගත බවත්ය. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය ප්‍රකාරව, නීතියේ සමාන ආරක්ෂාව යටතේ මෙන්ම නඩු තීන්දු හරහා ඉහත අයිතිවාසිකම් නිසගයෙන් විග්‍රහ කරන බැවින් අලුතෙන් නැවත ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම හරහා මහජනයාගේ ජීවන තත්වය වඩාත් යහපත් වනවාද යන්න ප්‍රශ්නයක් මතු කරන බවයි. මෙම අයිතිවාසිකම් සම්බන්ධ නීති ප්‍රතිසංස්කරණ වලට වඩා අපි විවිධ කරුණු දිහා අවධානය යොමුකළ යුතු බව පවසමින් ඔහු පෙන්වා දෙන්නේ අධිකරණ ක්‍රියාවලිය තවත් ශක්තිමත්ව ගොඩනැගිය යුතු බවයි. ඒ යටතේ නඩු ප්‍රමාද වීම නිසා සිදුවන යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට තවාකලික ප්‍රතිකර්මයක් වශයෙන් වර්තමානයේ “නඩු අහලා ඉවර කරනවා” වැනි තත්වයක් පැමිණියත් ඊට අවශ්‍ය යටිතල පහසුකම් හා සූදානමක් නොමැති බව නිසා යුක්තිය ඉටු නොවීම සිදුවන බවයි. ඔහු එය පවසන්නේ Justice delay is Justice denied ලෙසත් Hurried is Justice buried ලෙසත්ය.
කෙසේ නමුත් නිශ්චිත වශයෙන්ම විසදුම් වලට අවධාරණය යොමු කළොත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවට ස්වාධීන අභිචෝදක කාර්‍යාලයක් පිහිටුවීම වර්තමානයේ සාකච්ජාවට ඇවිත් තිබෙන බවත් එහි පවතින ගැටලු ප්‍රථමයෙන් නිරාකරණය කළ යුතු බවත් ඔහු පවසයි. අවුරුදු 150 ක් පමණ පරණ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් කාර්‍යන් 03 ක් ඉටු කරන බවත් ඒ යටතේ ප්‍රධාන වශයෙන් රජයේ නීති නිලධාරියා ලෙස කටයුතු කරමින් නීති උපදෙස් ලබා දෙන බවත්, අභිචෝදකයා වශයෙන් අර්ධ අධිකරණමය කාර්‍යක් ඉටු කරන බවත්, අවසාන වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ නීති සම්පාදනය සම්බන්දයෙන් රජයට උපදෙස් ලබා දෙන බවත් දක්වයි.
එහිදී මේ කාර්‍යයන් ඉතා විශාල වපසරියක පැතිරෙන බැවින් ඒවා ඉටු කිරීමේදී ඒ අතර වන ගැටුම් අවම කරගැනීමට අභිචෝදක කාර්‍යාලයක් වෙනම පිහිටවිය යුතු බවත් රජයේ නීති නිලදාරියාගේ කාර්‍යයන් ඉටු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙනම පැවතිය යුතු බවත් ඔහු අවදාරණය කරයි. තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥ කාර්‍යමන්ඩලයේ පවතින හිගය පිළිබදවත් සමාජ මාද්‍ය තුළින් අනීතිකව කරනා නඩු ඇසීම පිළිබදවත් සදහන් කරමින් මොහු පවසන්නේ මේ නිසා එම ආයතන දුර්වල වන බවත් එම නිසා අභිචෝදක කාර්‍යය ශක්තිමත් කළ යුතු බවත් ය. ඒ සදහා නිලදාරීන්ගේ සහභාගීත්වය ලබා ගත යුතු අතර වැටුප් විශමතා නිසා එය මදක් දුර්වලව පවතින බවයි. 2018 යහපාලන ආණ්ඩු සමයේ විනිසුරුවරුන්ගේ හා නිතීඥවරුන්ගේ වැටුප් වැඩි කළද වර්තමනයේ මෙම කාර්‍ය්‍යයන් ඉටු කිරීමට එය ප්‍රමාණවත් නොවන බවත් ඔහු සදහන් කරයි. පවත්නා තත්වය යටතේ එළෙස වැටුප් වැඩි කිරීම අපහසු නම් ප්‍රතිපත්තිමය තීරණයක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් යම් කිසි විටෙක නඩු පැවරීමේ කාර්‍යේදී එම කටයුතු කරගෙන යාමට පැවරුම් පදනමක් මත පෞද්ගලික නීතීඥවරුන් යම්කිසි කොටසක් බදවා ගත යුතු බවටද ඔහු යෝජනා කරයි.
නීතිපති දෙපාර්තමේන්තුව අභිචෝදක කාර්‍යාලය වශයෙන් ක්‍රියාත්මක කිරීමට අමතරව රජයේ ආයතන හා දෙපාර්තමේන්තු වලද කටයුතු කරන බැවින් යුක්තිය පසිදලීමේ කාර්‍යයන් තවත් සීමා වී විෂම චක්‍රයක් ලෙසින් මෙය ක්‍රියාත්මක වන ආකාරය ඔහු එහිදී පෙන්වා දෙන අතර මේ නිසා රජයේ ආයතන වෙන වෙනම ශක්තිමත් කළ යුතු බව පවසමින්, අවසාන වශයෙන් ඉහත කාර්‍යයන් ඉටු කර ගැනීමට නීතීඥ වෘත්තියේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබදවද මෙම සංවාදයේදී ඔහු අවදාරණය කරයි.
