ඩොලරයක මිල රුපියල් 310ක් වුනේ ඇයි?

ජනවාරි හතවන දා ඩොලරයක මැදි මිල කලකට පසු රුපියල් 310 සීමාව ඉක්මවා ගියා. රටේ නිල විදේශ සංචිත ඉහළ යද්දී මෙහෙම වෙන්නේ ඇයි කියලා කිහිප දෙනෙක්ම අහලා තිබුණා.
පළමුව, රටේ නිල විදේශ සංචිත ඉහළ යාම හෝ පහළ යාමත්, ඩොලරයක මිල ඉහළ යාම සහ පහළ යාමත් අතර සෘජු සම්බන්ධයක් නැහැ. බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් මිල පහළ යනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් මිල ඉහළ යනවා. සාමාන්‍යයෙන් මහ බැංකුව වෙළඳපොලෙන් ඩොලර් මිල දී ගන්නේ බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් සැපයුම ඉල්ලුමට වඩා වැඩි දවස් වලටයි. එවැනි දවස් වලට ඩොලරයක මිල පහළ යනවා. මහ බැංකුවේ මැදිහත් වීම නිසා මිල පහත වැටෙන එක සීමා වෙනවා. නමුත් යම් තරමකින් හෝ පහත වැටෙනවා.
උදාහරණයක් විදිහට පසුගිය සිකුරාදා (ජනවාරි 2) ඩොලරයක මිල පෙර දවසට වඩා ශත 46කින් අඩු වී තිබෙනවා. ඇතැම් විට එදින මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගත්තා වෙන්න පුළුවන්. නමුත් අද (ජනවාරි 7) ඩොලරයක මිල ශත 17කින් ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුම සුළු වශයෙන් වැඩි වීම. මේ වගේ අවස්ථාවක ඩොලරයක මිල ඉහළ යනවා.
කිසියම් දවසක් ඇතුළත බැංකු පද්ධතිය ඇතුළේ විශාල ඩොලර් හිඟයක් ඇති වී ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යමින් ඇති බව පෙනී ගියොත් මහ බැංකුව යම් ඩොලර් ප්‍රමාණයක් විකුණලා මිල ඉහළ යාම පාලනය කරනවා. එසේ කරද්දී සංචිත අඩු වෙනවා. නමුත් දවසක් ඇතුළත ඔය වගේ ශත ගණනකින් ඩොලරයක මිල ඉහළ ගියා කියලා මහ බැංකුව විසින් එවැනි මැදිහත්වීමක් කරන්නේ නැහැ.
ආර්ථික අර්බුදයෙන් පසුව මහ බැංකුව ඉන්නේ විදේශ සංචිත වැඩි කරගැනීමේ දිගුකාලීන ඉලක්කයක. ඒ නිසා, පුළුවන් හැම වෙලාවකම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා නමුත් ඩොලර් විකුණන්නේ එසේ නොකරම බැරි දවස් වල පමණයි. ඉල්ලුමට වඩා ඩොලර් සැපයුම වැඩි දවස් වල මහ බැංකුව විසින් අනිවාර්යයෙන්ම මෙන් ඩොලර් මිල දී ගන්නවා. නමුත් ශත කිහිපයකින් ඩොලරයක මිල ඉහළ ගියා කියලා මහ බැංකුව ඩොලර් විකුණන්නේ නැහැ. ඒ නිසා ඩොලරයක මිල එදිනෙදා ඉහළ වගේම පහළද යන නමුත් අවසාන වශයෙන් හෙමින් හෙමින් ඉහළ යනවා.
ඩොලරයක මිල රුපියල් 310ක් වීම ගැන ගොඩක් අය ප්‍රශ්න කර තිබෙන්නේ මේ කරුණ මාධ්‍ය විසින් බර තබා වාර්තා කර තිබෙන නිසා. කරුණක් ලෙස ගත්තොත් මෙය නිවැරදියි. නමුත් මේ විදිහේ මාධ්‍ය වාර්තා දකින බොහෝ දෙනෙක් ඩොලරයක මිල රුපියල් 310 වුනේ කීයේ ඉඳලද කියන එක හොයා බලන්නේ නැහැ.
පසුගිය වසර අවසානයේ, දෙසැම්බර් 31 දින, ඩොලරයක මැදි මිල රුපියල් 309.99යි. ඊයේ (ජනවාරි 7) වන විට මෙය රුපියල් 310.02ක් වී තිබෙනවා. වසර තුළ, මේ දක්වා, ශත තුනක සුළු වැඩිවීමක්. දශම ගණන් බැලුවොත් ශත දෙකහමාරක වැඩි වීමක්.
සතියක් ඇතුළත ඩොලරයක මිල ශත තුනකින් වැඩි වෙලා කියලා වාර්තා කළොත් එහි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැහැ. හැම දවසකම ඩොලරයක මිල යම් තරමකින් අඩු වැඩි වෙනවා. නමුත් ඩොලරයක මිල කාලයකට පසු රුපියල් 310 සීමාව පන්නලා කියලා වාර්තා කළාම එය ගොඩක් අයගේ අවධානයට ලක් වෙනවා. වැඩි වූ ශත තුනට ඊට වඩා වැඩි ප්‍රවෘත්තිමය වටිනාකමක් ලැබෙනවා. නමුත් ඇත්තටම මෙහි කනස්සළු විය යුතු තරමේ දෙයක් නැහැ.
පසුගිය අවුරුද්දම සැලකුවොත් ඩොලරයක මිල 5.6%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව උත්සාහ කරන්නේ දිගුකාලීනව උද්ධමනය 5% මට්ටමේ තියාගන්න. එයින් අදහස් වන්නේ දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන රට ඇතුළේ විකුණන අයට ලැබෙන නාමික ආදායමද වසරකට 5%කින් ඉහළ යනවා කියන එකයි. දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන අපනයනය කරන හෝ වෙනත් විදිහකින් විදේශ විණිමය උපයන අයටත් ඒ හා සමාන ආදායම් වැඩිවීමක් වෙන්නනම් ඩොලරයක මිලද අවශ්‍ය පමණ ඉහළ යා යුතුයි.
Social Sharing
ආර්ථික පුවත්