
ගොවියෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී අභූත චෝදනා ගොනු කල නොච්චියාගම පොලිස් නිලධාරින් 05 දෙනෙකුට රු. ලක්ෂ 09 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.
මහ දවල් යතුරුපැදියෙන් සිය ගොවිපළ කරා ගමන් කරමින් සිටි විවාහක දෙදරු පියකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ නොච්චියාගම හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනකුට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් පළමු විත්තුකරුවන් 04 දෙන රු.ලක්ෂ 02 බැගින්ද පස්වන විත්තිකරු රු.ලක්ෂය බැගින් ලක්ෂ 09 වන්දියක් පෙත්සම්කාර ගොවියාට ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 10 වනදා නියෝග කර ඇත.
සිංහරගම, රලපනාව, නොච්චියාගම පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ලක්‍ෂ්මන් තෙන්නකෝන් නමැති ගොවි මහතෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ හා සම්පත් විජේරත්න යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.
එවකට නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයතිලක, අනුරාධපුර කොට්ඨාස අපරාධ මර්දන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක ආර්. එම්. එස්. සී. රත්නායක, පොලිස් සැරයන් රත්නායක, පොලිස් සැරයන් අසේල හා පොලිස් කොස්තාපල් බණ්ඩාර යන නිලධාරීන්ට එලෙස අදාළ ගොවියාට වන්දි ගෙවීමට නියම කෙරිණි.
පෙත්සම්කාර ගොවිපළ හිමිකරු 2020.06.01 වැනිදා දහවල් 12.00ට පමණ සිය යතුරුපැදියෙන් ගොවිපළ කරා ගමන් කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී අභූත චෝදනා නඟා තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය සෙසු විනිසුරු දෙපළගේ එකඟතාව ඇතිව නිකුත් කළ එම තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අරින්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මෙනෙවිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
