(අතුරුදහන්වූවන් සිහිකිරීමේ 35 වන වාර්ෂික සැමරුම වෙනුවෙනි)
ශ්‍රී ලංකාව අතුරුදහන්කරවීම් සම්බන්ධව දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. 1970 දශකයේ සිට 2009 වසරේදී අවසන් වූ සිවිල් යුද්ධය දක්වා කාලසීමාව ශ්‍රී ලංකාවේ අතුරුදහන්කරවීම් බරපතල ලෙස වාර්තා වූ කාල පරිච්ඡේයක් ලෙස සදහන් වේ. එම ප්‍රමාණයන් පිළිබදව නිල සංඛ්‍යාලේඛන නොමැති වුවත්, එය ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකි.
විටෙක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස ජීනීවා සමුළුව අමතමින් ප්‍රකාශ කලේ 88/89 කාල වකවානුවේදී පමණක් දකුණේ අතුරුදහන්වුවන් ප්‍රමාණය හැටදහස ඉක්ම වූ බවයි. පසුව ඒ පිළිබදව සොයා බැලීමට රජය විසින් පත්කළ කොමිෂන් සභාවක් වෙත අතුරුදහන්කරවීම් පිළිබදව පැමිණිලි 28,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා විය. එම කොමිසම් සම්බන්ධව සමහර දෙමාපියන් මේ ලියුම්කරු සමග පවසා සිටියේ බිය, සැකය හා අවිශ්වාසය නිසා එම කොමිසම් සඳහා තම පැමිණිල්ල ඉදිරිපත් නොකල බවයි. එවැනි දෙමාපියන් සැලකිය යුතු කොටසක් පසුව අපට හමු විය.

ලෝකයේ වැඩිම අතුරුදහන්කරවීම් සිදු වූ රට
එම කාලවකවානුවෙන් පසුව සිවිල් යුද්ධය පැවති සමයේ නැවතත් විශාල අතුරුදහන්කරවීම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. ඒ හේතුවෙන් 2009 වර්ෂය ලෝකයේ වැඩිම අතරුදහන්කරවීම් ප්‍රමාණයක් වාර්තා වූ රට ලෙස ශ්‍රී ලංකාව පත් විය. ඒ කාලයේ අප දෙවැනි වුයේ බරපතල පුද්ගල අතුරුදහන්කරවීම් සිදු වූ නැ.ටිමෝරය, බොලීවියාව හා මියන්මාරය වැනි රටවලට පමණි.
ඒ අනුව, දූෂණ, වංවාවලට අමතරව, බලහත්කාරයෙන් සිදු කරනු ලැබූ අතුරුදහන්කරවීම් හා පැහැරගෙනයාම්, නීතියට පිටින් සිදු කරනු ලැබූ ඝාතන හා කෘෘර වදහිංසාවන් ශ්‍රී ලංකාවේ පසුගිය ඉතිහාසය තුළ ප්‍රධාන ලක්ෂණයකි. එය ශ්‍රී ලංකා රජය තුළ තවමත් පවතින නොවිසඳුන බරපතල සමාජ ගැටලුවක් බව අමතක නොකළ යුතුය.
අතුරුදහන්වුවන් සඳහා යුක්තිය මෙන්ම, නැවත මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පිළියම් ඉල්ලා මුලින්ම දකුණේ දෙමාපියන් පෙළගැසුණු අතර, කොළඹ-කතරගම පාද යාත්‍රාව, ජනඝෝෂා වැනි දැවන්ත උද්ඝෝෂණයන් එහි ප්‍රතිඵලයන් ලෙස හැදින්විය හැක. මේ හේතුවෙන් එවකට පැවති ආණ්ඩු වෙනස් කිරීමට ද එම බලවේගයන්ට හැකි විය. සූරියකන්ද වැනි ස්ථානයන්හි පිහිටි සමූහ මිනීවළවල් හඳුනා ගැනීමටත් අතුරුදහන්කරවීම්වලට එරෙහි ප්‍රබල මතයක් දකුණේ සමාජගත කරන්නටත් ඉන් හැකි විය.
උතුරේ යුද්ධයත් සමග දකුණේ විරෝධය හීන විම
නමුත්, උතුරේ සිවිල් යුද්ධය ටිකෙන් ටික වර්ධනය වෙමින් පැමිණ විට දකුණේ පැවති එම විරෝධය ක්‍රමයෙන් හීන විය. එපමනක් නොව අතුරුදහන්කරවීම්වලට එරෙහිව කටයුතු කිරීම ත්‍රස්තවාදයට සහාය දැක්වීමක් ලෙස නිර්වචනය විය. දකුණේ අතුරුදහන්වූවන්ගේ බොහෝ පවුල්වල සාමාජිකයින් ආරක්ෂක අංශවලට සම්බන්ධ වී කටයුතු කිරීමත්, යුද හිතකාමී පරිසරයක් දකුණේ නිර්මාණය වීමත් එයට හේතු විය.
එහි අවසාන ප්‍රතිඵලය වූයේ දකුණේ අතුරුදහන්වීම් මෙන් කිහිප ගුණයකින් වැඩි අතුරුදහන් කරවීම් ප්‍රමාණයක් සිදු වී ලොව වැඩිම නොවිසඳුන අතුරුදහන් වීම් සහිත රටවල් අතර ශ්‍රී ලංකාව ඉරාකයට පමණක් දෙවෙනි දෙවන ස්ථානයට පත්වීමයි. එමෙන්ම, දකුණේ පිහිටා තිබූ සුරියකන්ද, විල්පිට, බොල්ගොඩ, හෝකන්දර වැනි ස්ථානයන්හි පිහිටා තිබූ සමූහ මිනිවළවලට අමතරව තවත් සමූහ මිනීවළවල් ප්‍රමාණයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි තනා ගැනීමට හැකි වීමයි. මෑතකදී කොළඹ වරාය භූමියෙන් සොයාගත් සමූහ මිනීවළ සමග මේ වන විට ලංකාවේ සොයාගෙන තිබෙන සමූහ මිනීවළවල් සංඛ්‍යාව විස්සකට අධිකය.
එක්තරා යුගයක මෙම ගැටලුවෙන් බරපතල ලෙස පීඩා විඳි, සැලකිය යුතු පිරිසක් එහි වින්දිතයින් බවට පත්ව සිටි පක්ෂයක් වර්තමානයේ ආණ්ඩු බලය ඉසිලීම මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වූවන්ගේ අස්වැසිල්ලට හේතු වී තිබේ. එහෙත්, ශ්‍රී ලංකාවේ ජීවත් වන ප්‍රධාන ජන වර්ග දෙකකට සම්බන්ධ තරුණ තරුණියන් එකිනෙකට වෙනස් දේශපාලන අරමුණු දෙකක් වෙනුවෙන් රජයට එරෙහිව සටන් කිරීම හේතුවෙන් සිදු වූ මෙම ව්‍යසනය සඳහා සාධාරණ විසඳුමක් වර්තමාන රජය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවක් නිර්මාණය වී තිබේ.

දකුණු කොරියානු අත්දැකීම්
මෙවැනි ආකාරයේ ටිකක් වෙනස් අත්දැකීමක් දකුණු කොරියානුවන්ට අනූව දශකයේදී අත්විඳීමට හැකි විය. ඒ දකුණු කොරියාවේ ක්වාන්ජු නැගිටීමට මූලිකත්වය දුන් දේශපාලන කණ්ඩායමක් මහජන ඡන්දයෙන් රාජ්‍ය බලයට පත් වීමයි. පත්වූ නව රජය, ඉතා කෙටි කාලයක් තුළ වින්දිතයින්ට යුක්තිය ලබා දීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ අතර, අදාළ නඩු විභාග කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම, එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග හා හානිපූර්ණය සඳහා සැලකිය යුතු වැඩ පිළිවෙලක් ද රටතුළ ක්‍රියත්මක කරන ලදී. ඊටත් වඩා එහි විශේෂත්වය වුයේ අතුරුදහන්වූවන් සිහිකිරීම සඳහා විශාල ස්මාරක ක්වන්ජු නගරය පුරා ස්ථාපිත කිරීමත්, එදා පැවති වධකාගාර ස්මාරක බවට පරිවර්තනය කිරීමත්, රාජ්‍ය අනුග්‍රහයෙන් අතුරුදහන්වූවන් සිහිකර විශාල වාර්ෂික සැමරුම් පැවැත්වීමත්ය. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් අද දකුණු කොරියාව එම අතීත අවමානයෙන් මිදී ලෝකයේ වේගයෙන් දියුණුව කරා යන රාජ්‍යයක් බවට පරිවර්තනය වී තිබේ. 1980 වසරේ ඇති වූ ක්වන්ජු සිදු වීමෙන් පසුව එවැනි කිසිදු සිදුවීමක් මෙතෙක් දකුණු කොරියාවෙන් වාර්තා වී නැත.
දකුණු කොරියාවේ මෙන් නොවුණත්, ශ්‍රී ලංකා රජය ද මෙම ගැටලුවට විසඳුම් ලෙස දශක ගණනාවක් තිස්සේ විවිධ පියවර ගෙන තිබේ. ඒ සියල්ල සිදු කර ඇත්තේ විවිධ බලපෑම්වලින් බේරිම සඳහා බව පෙනේ. විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑම් හමුවේ ජාමෙ බේරා ගැනීම සඳහා කළ ප්‍රතිසංස්කරණ ලෙස ඒවා හැඳින්විය හැක. එක රජයක් මේ සම්බන්ධව සුළු හෝ ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවත් ඊළඟට එන රජය එය මගහැර සිටීම සිය ප්‍රතිපත්තිය කර ගෙන තිබුණි.

අතුරුදහන්කරවීම් නැවත සිදුවීම වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග
මින් වැදගත්ම ප්‍රතිසංස්කරණය වූයේ, ශ්‍රී ලංකාව කාලයක සිට මගහරිමින් සිටි, අතුරුදහන් කරවීම්වලට ඒරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රඥ්ඥප්තියට අත්සන් තැබීමයි. යහපාලන රජය පත්වීමෙන් පසුව 2015 වසරේ දෙසැම්බර් මාසයේදී ඊට අත්සන් තබන ලද අතර, 2016 වසරේදී එය අපරානුමතික කිරීමත්, 2018 වසරේදී 2018 අංක 05 දරණ බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමත් සමග අතුරුදහන්කරවීම ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් බවට පත් විය. එය අපගේ නීති පද්ධතියේ එතෙක් තිබූ විශාල සිදුරක් වසා දැමීමක් ලෙස සැලකිය හැක.
ඊට අමතරව අතුරුදහන්කරවීම් සම්බන්ධව තොරතුරු සොයා බැලීමේ කාර්යාලය (OMP) හා අදාළ පවුල් වෙත හානිපුර්ණය කිරීම සඳහා පිහිට වූ හානිපුර්ණ කාර්යාලය වැදගත් සාධක ලෙස සැලකිය හැකිය.
මෙම කාර්යාලයන් පිහිටුවීම සඳහා දකුණේ අතුරුදහන් වූ ඥාතීන්ගේ යම් සහායක් ලබා ගැනීමට හැකි වුවත් උතුරු හා නැගෙනහිර පළාත් තුළ ඥාතීන්ගේ සැලකිය යුතු සහායක් ලබා ගැනීමට මෙතෙක් කිසිදු රජයකට නොහැකි විය. ඔවුන් ප්‍රකාශ ර්න්නේ වන්දි ප්‍රදානය කිරීමෙන් සිදු කරන්නේ අපරාධ වසා දැමීමක් වන බවයි. තමන්ට අවශ්‍ය වන්නේ වන්දි නොව යුක්තිය බව ඔවුන්ගේ ඉල්ලීමයි.
උතුර හා දකුණ මත දෙකක
මේ සම්බන්ධව දකුණේ දෙමාපියන්ගේ යම් හෝ සහායක් ලබා ගැනීමට හැකි වුයේ තම අතුරුදහන් වූ ඥාතීන් වෙනුවෙන් යම් වන්දි ප්‍රදානයක් හෝ මාසික දීමනාවක් එම පවුල් වෙත ලබා දෙන බවට ප්‍රකාශ වූ නිසාය. යහපාලන රජය එම පවුල් වෙත රු. 6000 ක මාසික දීමනාවක් ලබා දෙන බව ප්‍රකාශ කළේය. දශක ගණනාවක සිට තම අතුරුදහන් වූ ඥාතියා වෙනුවෙන් සාධාරණය ඉල්ලා විවිධ දේශපාලන පක්ෂ හා පුද්ගලයින් පසු පස ගොස් හෙම්බත්ව, අසරණව සිටින මෙම වියපත් ඥාතීන් මෙසේ ලබාදෙන වන්දිය පිළිබදව බලාපොරොත්තු තබා තිබුණි.
දකුණේ දෙමාපියන් ආර්ථික සහන බලාපොරොත්තු වුවත්, උතුරේ මව්වරුන් මෙන්ම, දෙමළ සමාජයත් අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය සඳහා යුක්තිය ලබා ගැනීමටත්, දීර්ඝකාලීන දේශපාලන විසඳුමක් බලාපොරොත්තුවෙන් තවමත් කටයුතු කරයි. ඒ අරමුණෙන් තවමත් විවිධ ක්‍රියාමාර්ග ජාතිකවත්, ජාත්‍යන්තරවත් ගනිමින් තිබේ. එවැනි එක් ක්‍රියාමාර්ගයක් ලෙස කිලිනොච්චි ප්‍රදේශයේ දෙමාපියන් ඇරඹි අඛණ්ඩ සත්‍යග්‍රහයට මේ වන විට දින 3000 ඉක්මවා ගොස් ඇති අතර, සමහර විට එය ලෝකයේ දිගම සත්‍යග්‍රහය වීමට ද ඉඩ ඇත.
මීට අමතරව උතුරේ අතුරුදහන්වූවන් සිහිකිරීම සඳහා සැමරුම් පැවැත්වෙන අතර ස්මාරක කිහිපයක් ද ඉදි කර තිබේ. පැවති සමහර රජයන් මේ සමහර ස්මරාක කඩා බිඳ දැමූ අතර, අහිමි වූ ඥාතීන් සිහිකිරීමේ උත්සව පැවැත්වීම ද කඩා කප්පල් කරනු ලැබීය. නමුත්, නව රජය පත්වීමෙන් පසුව ඊට අවස්ථාව ලබා දීම අගය කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ යෝජනා සම්මතය
මෙවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවේ මෙම ගැටලුව පිළිබදව නැවතත් බරපතල ලෙස අවධානය යොමු විය. එහිදී මෑතකදී හමුවූ සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සම්බන්ධව රජයට ප්‍රසංසාව හිමි වූ අතර, එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බව පෙන්වා දී තිබුණි.
එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරිම, මූලික නිදහස සීමා කෙරෙන අනෙකුත් මර්දන නීතී අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳ සිය කනස්සල්ල පළකරන බව ද ප්‍රකාශ කර තිබුණි.
අවසානයේ පසුගියදා පැවති එ.ජා 60 වන මානව හිමිකම් කවුන්සිලයේදී, ශ්‍රී ලංකාවට එරෙහිව සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් (A/HRC/60/L.1/Rev.1) ඒකමතිකව සම්මත විය. එහෙත්, ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්ෂේප කර තිබුණි.
දශක හතකට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ අතුරුදහන්වුන්ගේ ප්‍රශ්නය පිළිබද මහජන අවධානය යොමු කිරීමේ අරමුණෙන් 1990 දශකය අග භාගයේදී දකුණේ අතුරුදහන්වූවන් සිහිකිරීම සඳහා ස්මාරක දෙකක් ඉදි කරන ලදී. ඉන් පළමුවැන්න රජ්‍ය අනුග්‍රහයෙන් ඉදි වූ අතර, දෙවැන්න ඉදි වූයේ සිවිල් සමාජය අනුග්‍රහයෙනි. රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදිවූ ස්මාරකය 1999 දෙසැම්බර් 10 වන දින පාර්ලිමේන්තු වටරවුම අසල ඇඹිලිපිටියේ ශිෂ්‍ය ඝාතන සිහි කිරීම පිණිස අහිසංකයින්ගේ ආරාමය නමින් ආරම්භ විය. දකුණේ අතුරුදහන්වූවන්ට සාධාරණය ඉල්ලා පාදයාත්‍රා, ජනඝෝෂා පැවැත්වීමට නායකත්වය සැපයූ, ඒ සම්බන්ධව ජීනීවා වෙත ගොස් කරුණු ඉදිරිපත් කළ මහින්ද රාජපක්ෂ රජය විසින්ම පසුව එම ස්මාරකය පොළවට සමතලා කරන ලදී.
එහි දෙවැනි ස්මාරකය 1989 ඔක්තෝබර් 27 වන දින කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ රංජිත් හා ඔහුගේ නීති උපදේශක ලයනල් ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම අතුරුදහන්වූවන් සිහිකිරීම පිණිස අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් සීදුව රද්දොළුව මන්සංන්ධියේ ඉදි කරන ලදී. ප්‍රවීන චිත්‍ර හා මූර්ති ශිල්පී මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතාගේ නිර්මාණයක් වූ එම ස්මාරකය 2000 වර්ෂයේ පෙබරවාරි 4 දින විවෘත කරන ලදී. එම ස්මාරකය ඉදි කිරිමට පෙර සිට, එනම්, 1991 වසරේ ඔක්තෝබර් 27 වන දින සිට එම ස්ථානයේ අඛණ්ඩව අතුරුදහන්වුවන් සිහිකර උත්සවයක් පැවති අතර, 2025 ඔක්තෝබර් 27 දින පැවැත්වෙන්නේ එහි 35 වන සැමරුමයි.
– පිලිප් දිසානායක, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

